ගණේමුල්ල සංජීව ඝාතනය: රැඳවුම් නියෝග කාලය අවසන් කළ ඉෂාරා සෙව්වන්දිට අධිකරණය දුන් නියෝගය

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝ: 10) නියම කළේ ය.

මෙම සැකකාරිය නේපාලයේ සැඟවී සිටියදී මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් එරටට ගොස් ඉකුත් වසරේ ඔක්තෝබර් මස අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආවේ ය.

ඉන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සැකකාරිය රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා ගනිමින් ප්‍රශ්න කිරීම සිදුකෙරිණි.

ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකාරිය අද (අගෝ: 10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන හමුවට පමුණුවමින් දැනුම් දී තිබුණේ, මෙම සැකකාරියට අදාළ රැඳවුම් නියෝග මේ වන විට අවසන් වී ඇති බව ය. ඒ අනුව සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය දැනුම් දී ඇත.

වීඩියෝව නරඹන්න

මෙම සැකකාරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් සවිස්තර වාර්තාවක් ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී පොලිසිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, මෙම සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම සැකකාරිය ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස නියෝග කළ අතර, එදින විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.

2025 වසරේ පෙබරවාරි මස 19 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 5 ශාලාව තුළ නඩු විභාගයක් සඳහා ඉදිරිපත් කර තිබූ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගණේමුල්ල සංජීව නමැත්තා අධිකරණ ශාලාව තුළ විත්තිකූඩුවේ සිටියදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළේ යැයි මෙම ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අදාළ නඩුකරයේ සැකකාරියක වශයෙන් නම් කර තිබිණි.