නිදා සිටියදී වවුලෙකු මුහුණේ වැසීම නිසා ජලභීතිකාව වැළඳී කැනඩාවේ 11 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

ඡායාරූප මූලාශ්‍රය, MyLoupe/Universal Images Group via Getty Images
- Author, සරීන් හබේෂියන්
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
කැනඩාවේ 11 හැවිරිදි පිරිමි දරුවෙකු නිදා සිටියදී ඔහුගේ මුහුණ මත වැසූ වවුලෙකු නිසා ඔහු ජලභීතිකා රෝගය වැළඳීමෙන් පසු මිය ගොස් තිබේ.
Canadian Medical Association Journal නමැති වෛද්‍ය සඟරාව සඳුදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, 2024 වසරේදී එම දරුවා සිය පවුලේ අය සමග ඔන්ටාරියෝහි නිවාඩුවක් ගත කිරීමට ගොස් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා ඇත.
වාර්තාවේ නම සඳහන් කර නැති එම දරුවා, සිය මුහුණ මත වවුලෙකු වැසීමෙන් පසු නින්දෙන් අවදි වූ ඔහු වවුලා ඉවතට ගසා දමා ඇති අතර, ඉන්පසු ඔහුගේ පියා එම වවුලා භාජනයක් ආධාරයෙන් අල්ලා පිටතට නිදහස් කර යවා ඇත.
එම දරුවාගේ පිටතින් පෙනෙන ආකාරයේ තුවාල කිසිවක් නොතිබූ අතර, වවුලාගේ අසාමාන්‍ය හැසිරීමක් දක්නට නොලැබුණු හෙයින්, දරුවාගේ දෙමාපියන් වහා ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උත්සහ නොකළ බව එම සඟරාව සඳහන් කරයි. එහෙත් දින 19කට පසු, දරුවාගේ මුහුණේ සංවේදන අඩුවීම සහ ඉදිමීම ආරම්භ වී ඇත.
දරුවාගේ පවුලේ සාමාජිකයින් ඔහු හදිසි ප්‍රතිකාර සඳහා රැගෙන යාම, සායන සහ රෝහල් වෛද්‍යවරුන් රෝග ලක්ෂණ හඳුනා ගැනීමට උත්සහ කළ ආකාරය පිළිබඳව The Canadian Medical Association Journal සඟරාවේ දීර්ඝ ලෙස වාර්තා කර තිබේ.
මුලදී, හදිසි ප්‍රතිකාර සායනය මගින් ඔහුට හර්පීස් වෛරස් හේතුවෙන් ඇතිවන ආසාදන සඳහා භාවිත කරන ප්‍රතිවෛරස් ඖෂධ නියම කර තිබුණේ, ඔහුට Bell's palsy, නැතහොත් මුහුණේ එක් පැත්තක මාංශපේශීන් තාවකාලිකව අංශභාගයට පත්වන තත්ත්වයක් ඇති වී ඇති බවට සැක කළ බැවිනි.
පසුව ඔහු අඛණ්ඩව රෝහලට ප්‍රතිකාර සඳහා ගොස් තිබේ. පළමු වරට ඔහුට මුඛය සහ විදුරු මස්වල වෛරස් ආසාදනයක් වන herpes gingivostomatitis ඇති බවට අනුමාන කර රෝග විනිශ්චයක් ලබා දී ඇති අතර, ඊළඟ දිනයේ ඔහුගේ මුහුණේ දකුණු පැත්ත දුර්වල වීමෙන් පසු නැවත රෝහලට පැමිණ ඇති බව එම සඟරාව සඳහන් කරයි.
රෝහලට ඇතුළත් කිරීමට බලා සිටියදී සෙල්සියස් අංශක 39ක් දක්වා (ෆැරන්හයිට් අංශක 102ක) ඔහුගේ ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් තිබූ අතර, ගිලීමේ අපහසුතාව, ව්‍යාකූලතාව සහ දෘශ්‍ය මායාවන් ද ඇති වී තිබේ. එදින ඔහුගේ තත්ත්වය ශීඝ්‍රයෙන් අයහපත් වී තිබිණි. ඔහුට ආධාරක ශ්වසන නලයක් ඇතුළත් කර ළමා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව සඟරාව සඳහන් කරයි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කැනඩාවේ University of Manitobaහි ළමා රෝග හා ළමා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් ජලභීතිකා රෝගය වැළඳී ඇති බවට දැඩි ලෙස සැක පළ කළහ.
දින කිහිපයකට පසුව සිදු කළ පරීක්ෂණයකින් එය තහවුරු විය. කැනේඩියානු ආහාර පරීක්ෂණ ඒජන්සිය ද වවුලන්ගෙන් සෑදෙන ජලභිතිකා වෛරසයේ ප්‍රභේදයක් හඳුනාගෙන ඇත.
රෝහලට ඇතුළත් කිරීමෙන් දින 17කට පසුව එම දරුවා මියගොස් තිබිණි.
ඔහුට අසාත්මිකතා, රෝගී පුද්ගලයන් සමග සම්බන්ධතා, කිනිතුල්ලන් සපාකෑම් හෝ මෑතකදී රටින් පිටත සංචාරය කිරීම පිලිබඳ ඉතිහාසයක් නොතිබිණි.
කැනඩාවේ ජලභීතිකා ආසාදන දුර්ලභ ය. කැනේඩියානු පශු වෛද්‍ය සංගමයට අනුව, 1924 සිට රට තුළ ජලභීතිකා රෝගය හේතුවෙන් මිනිස් මරණ සිදුව ඇත්තේ, 28ක් පමණි.
"ජලභීතිකා අනුපාතය අඩු වීමට හේතුව පුළුල් ලෙස ක්‍රියාත්මක වන එන්නත් කිරීමේ වැඩසටහන් වන අතර, මෙම වැඩසටහන් අඛණ්ඩව සිදු කරගෙන යාමට අපොහොසත් වීමෙන් රෝගය නැවත හිස එසවිය හැක," යනුවෙන් එම සංගමයේ වෙබ් අඩවියේ සඳහන් වේ.
වවුලෙකු සමග සිදුවන ඕනෑ ම ඍජු මිනිස් ස්පර්ශයක්, ජලභීතිකා රෝගය වැළඳීමේ අවදානමක් සහිත සතෙකුට නිරාවරණය වීමෙන් පසු වහා ම ලබා දෙන වෛද්‍ය ප්‍රතිකාරය (post-exposure prophylaxis) ලබා ගැනීමේ අවශ්‍යතාවක් පෙන්නුම් කරයි.
රෝග ලක්ෂණ මතු වූ පසු මෙම ආසාදනය බොහෝ විට මාරාන්තික වන බව එම වාර්තාව පවසයි.


































