ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වසර 18කට පෙර ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු කළ 'අපරාධයකට' දඬුවම්
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
දෙහිවල ප්රදේශයේ අවන්හලක කලහකාරී ලෙස හැසිරෙමින් පිස්තෝල පෙන්වා එහි සේවකයින් පිරිසකට පහර දී අනර්ථයක් සිදු කිරීම සහ දේපළ කොල්ලකෑම ඇතුළු චෝදනාවන්ට වරදකරුවන් වූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුට වසර 09 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් (ජූලි 30) නියම කෙරිණි.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි විසිනි.
වසර 18කට පෙර අවන්හලකදී වූ සිද්ධියක්
මීට වසර 18කට පෙර විත්තිකාර පොලිස් නිලධාරීන් ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරමින් සිටියදී මෙම අපරාධය කර ඇති බව පැමිණිලි පාර්ශවය සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විනිසුරුවරයා අදාළ දඬුවම් නියම කළේ ය.
විනිසුරුවරයා එම දඬුවම නියම කළේ, දඬුවම් කාලය වසර 3ක කාලයක් තුළ ගෙවී යන අන්දමට ක්රියාත්මක වන ලෙස ය.
දඬුවම් නියම වූයේ කාට ද?
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ, ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ මේ වන විට මීගමුව පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරුන් වන ලියනගේ වසන්ත ජයකොඩි සහ චමින්ද බණ්ඩාර සකලසූරිය තවත් පුද්ගලයෙකුට ය.
2008 ජූලි 29 වන දා හෝ ඊට ආසන්න දිනයක දෙහිවලදී 'ද ස්ටේෂන් ෆැමිලි රෙස්ටෝරන්ට්' නමැති අවන්හලේදී කලහකාරී අන්දමින් හැසිරෙමින් පිස්තෝල පෙන්වා එහි සේවකයින්ට පහර දී තුවාල කිරීම, අවන්හලට රුපියල් 19,500.00ක අනර්ථයක් කිරීම, රුපියල් 11,600.00ක දේපළ කොල්ලකෑම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරනු ලැබ තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කළ විනිසුරුවරයා වැරදිකරුවන්ට එරෙහිව දඬුවම් නියම කළේ ය.