කාවන්තිස්ස ඇතාගේ මරණය: 'තේ කඩයක සිදුවූ කතාවක් සාක්ෂියක් වුණේ කොහොම ද?' නීතිඥවරයා ප්‍රශ්න කරයි

කාවන්තිස්ස
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

​කාවන්තිස්ස නමින් ප්‍රචලිත දළ ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නිපුණතා සංවර්ධන නිලධාරියා සහ අනෙක් සැකකරු ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් නීතිඥයින් කළ ඉල්ලීමක් මහව මහේස්ත්‍රාත් අනුරාධා සෙනවිරත්න අද (ඔක්: 28) ප්‍රතික්ෂේප කළා ය.

ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනා නොවැම්බර් මස 11 වන දින දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරනු ලැබුවා ය.

​මෙසේ නියෝග කළේ, කාවන්තිස්ස දළ ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳවූ අවස්ථාවේදී ය.

​සැකකරුවන් දෙදෙනා සමග අත්අඩංගුවට ගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති ගිනි අවි දෙක සහ උණ්ඩවලට අදාළව රජයේ රස පරීක්ෂකවරයා පවත්වා ඇති විමර්ශන වාර්තාව මීළඟ නඩු දිනයේදී නොවරදවා ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද ගල්ගමුව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට නියෝග කළ මහව මහේස්ත්‍රාත් අනුරාධා සෙනවිරත්න, කාවන්තිස්ස දළ ඇතාගේ මළ සිරුර සම්බන්ධයෙන් පවත්වා ඇති පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ද මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට ද නියෝග කළා ය.

වෙඩි තැබීමක් ද? අධික ලෙස ප්‍රතිජීවක ලබා දීමක් ද?

​මේ අතර, කාවන්තිස්ස දළ ඇතාගේ මරණයට හේතුව ලෙස බලපා ඇත්තේ වෙඩි තැබීමක් ද, නොඑසේ නම් අධික ප්‍රතිජීවක ඖෂධ ලබාදීම ද යන්න පිළිබඳ විද්‍යාත්මක වාර්තාවක් ඊට අදාළ විශේෂඥයන් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද වනජීවී නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

මෙම සිද්ධියට සම්බන්ධ බව දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් මෙම අපරාධයට සම්බන්ධ වී ඇත්නම් ඒ කෙසේ ද? යන්න පිළිබඳව සාක්ෂි සහිතව ඊළඟ නඩු දිනයේදී වාර්තාවක් මගින් දැනුම් දෙන ලෙසට ද වනජීවී නිලධාරීන්ට නියෝග කෙරිණි.

​මෙම අපරාධයට අදාළ විමර්ශනවල ප්‍රගතිය සහ දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන සැකකරුවන් දෙදෙනා කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට අධිකරණයට පිළිගත හැකි අන්දමේ සාක්ෂි මීළඟ නඩු දිනයේදී ඉදිරිපත් කිරීමට වනජීවී නිලධාරීන් අපොහොසත් වුවහොත් සහ විමර්ශන මන්දගාමී බවට අධිකරණයට හැඟී ගියහොත්, එම තත්ත්වය සැකකරුවන්ට වාසිසහගත බවට සලකා අධිකරණයට කටයුතු කිරීමට සිදුවන බව ද මහේස්ත්‍රාත්වරිය වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නා ය. කාවන්තිස්ස ඇතා ඝාතන සිද්ධියට අදාළ නඩුවට මාධ්‍ය ඔස්සේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කිසිදු කරුණක් අදාළ නොවන බව මහේස්ත්‍රාත්වරිය මෙහිදී සියලු පාර්ශවයන්ට තරයේ අවධාරණය කළා ය.

​මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන වනජීවී නිලධාරීන් අඹන්පොළ හුළුගල්ලෑව ගම්මානයේ ජනතාවට තර්ජනය කරමින් බලහත්කාරයෙන් සාක්ෂි රැස් කරමින් සිටින බවට ගම්වාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික ලේකම්ගේ එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය අඹන්පොළ පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර සිටියා ය.

'ටෙලි නාට්‍ය කණ්ඩායමක වෙසින් ඔත්තු බැලූ වනජීවී නිලධාරීන්'

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

​කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන පිළිබඳව අධිකරණයට කරුණු දක්වමින් ගල්ගමුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැවසුවේ, ටෙලි නාට්‍යයක් රූගත කරන කණ්ඩායමක් වෙසින් ගොස් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තේ කඩයක හිමිකරුවෙකුගෙන් මූලික තොරතුරක් ලබා ගත් බව ය.

​එම තොරතුරු ඔස්සේ විමර්ශන සිදුකර මෙම සැකකරුවන් දෙදෙනා සහ ගිනි අවි දෙක අත්අඩංගුවට ගත් බව කියා සිටි වනජීවී නිලධාරිහූ, සැකකරුවන් පදිංචි හුළුගල්ලෑව ගම්මානයේ සැකසහිත නිවාස පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධී ගිනි අවි සහ දඩ මස් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ප්‍රකාශ කළහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශනයක් සිදුකෙරෙන බැවින් සැකකරුවන් යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස ද වනජීවී නිලධාරීහු දීර්ඝව අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියහ.

​සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදය රාජපක්ෂ ප්‍රකාශ කළේ, වනජීවී නිලධාරීන් ටෙලිනාට්‍යයක් රඟපා ඇති බව පැහැදිලිව පෙනී යන බව ය.

​තේ කඩයක සිටි පුද්ගලයෙකු ලබා දුන් පදනම් විරහිත ප්‍රකාශයක් සාක්ෂියක් වන්නේ කෙසේ දැයි වනජීවී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ නීතිඥවරයා, සැකකරුවන් බන්ධනාගාරගත කර සිටි දින 8 ඇතුළත සිදුකළ විමර්ශනවල ප්‍රගතිය කුමක් දැයි අධිකරණය හමුවේ හෙළි කරන ලෙස ද ඉල්ලා සිටියේ ය.

'සුළු සාක්ෂියක් හෝ ඇත්නම් අධිකරණයට දැනුම් දෙන්න'

​තම සේවාදායකයින් කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට එකදු සුළු සාක්ෂියක් හෝ ඇත්නම් ඒවා අධිකරණයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටි නීතිඥවරයා, මෙය හුදෙක් කාවන්තිස්සට වෙඩි තැබූ පුද්ගලයින් තමන් අත්අඩංගුවට ගත් බව හුවා දක්වමින් වනජීවී නිලධාරීන් ලකුණු දමා ගැනීමට ගත් අසාර්ථක උත්සහයක් බව ද නීතිඥවරයා කියා සිටියේ ය.

​ඇතෙකු යනු පොදු දේපළක් බවට ප්‍රකාශ වුව ද එය මෙතෙක් නීතිගත කොට නැතැයි දීර්ඝ වශයෙන් අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළ නීතිඥවරයා, කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියේ අපරාධකරුවන් තම සේවාදායකයින් බවට කිසිදු සාක්ෂියක් නොමැතිව සමාජ මාධ්‍ය මගින් ජනගත කිරීම හේතුවෙන් ඔවුන්ගේ දරු පවුල්වලට සහ රැකියාවලට බරපතළ අගතියක් සිදුව ඇති බවද සඳහන් කළේ ය.

​ඒ අනුව, තම සේවාදායකයින් ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ද නීතිඥවරයා ඉල්ලා සිටියේ ය. ලෝක අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ විජිත වික්‍රමනායක සහ සඳගිරි බණ්ඩාර පැවසුවේ, කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය හුදෙක් හුදෙකලා සිද්ධියක් නොවන බව ය.

​මෙම මරණය සාමූහික පිරිසකගේ නොසැලකිල්ල සහ අකාර්යක්ෂමතාව නිසා සිදුවූවක් බවත්, අධික ඖෂධ ලබා දීම නිසා කාවන්තිස්ස මියගිය බවට තොරතුරු ලැබී ඇති බවත් නීතිඥවරු අවධාරණය කළහ.

​'සුරකිමු අලි ඇතුන්' සංවිධානය වෙනුවෙන් කරුණු දක්වමින් රවීන්ද්‍ර ඉරුගල්බණ්ඩාර කියා සිටියේ, කාවන්තිස්ස දළ ඇතා ඝාතන සිද්ධිය දෙස් විදෙස් වශයෙන් මහත් ආන්දෝලනයට තුඩු දී ඇති බව ය.

​කාවන්තිස්සගේ පාදයකට සහ උදරයට වෙඩි වැදී ඇති බව කියා සිටි නීතිඥවරයා, වනජීවී නිලධාරීන් පවසන පරිදි කාවන්තිස්සට වෙඩි තැබීම ඇසින් දුටු සාක්ෂිකරුවකු සිටී නම් ඔහුට නිසි ආරක්ෂාවක් සලසා අදාළ ප්‍රකාශ ලබා ගන්නා ලෙසද ඉල්ලා සිටියේ ය.

'ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින්න'

​සැකකරුවන්ට ඇප ප්‍රදානය කළහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ පැහැදිලි හැකියාවක් ඇති බව අවධාරණය කළ නීතිඥවරයා, ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කොට සුදුසු නියෝගයක් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේ ය.

​මෙම අපරාධයට යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, අඹන්පොළ හුළුගල්ලෑවේ පදිංචිකරුවන් වන, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී ආර්.එම්. ශාන්ත ධර්මසිරි රත්නායක සහ ආර්.එම්. ලක්මාල් පද්මකුමාර සමරකෝන් යන අය යි.