නාමල් රාජපක්ෂගේ නීතිඥ අලි සබ්‍රි සහ අල්ලස් කොමිසමේ නිලධාරිනිය අතර අධිකරණයේදී වචන හුවමාරුවක්

Published
කියවීමේ කාලය: මිනිත්තු 4

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 03 වන දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ඔක්: 28) නියම කළේ ය.

එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ සහ සැකකරුගේ නීතිඥවරුන්ගේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම එම නියෝගය ප්‍රකාශයට පත් කළේ ය.

මෙම ඇප ඉල්ලීම අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ තනූජා බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනි, මෙම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥතුමා ඊයේ දින අධිකරණය හමුවේ දේශන ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් කළ කරුණක් සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරමින් මගේ කරුණු දැක්වීම මම ආරම්භ කරනවා. ඊයේ දේශනවලදී උගත් ජනාධිපති නීතිඥතුමා සඳහන් කරලා තිබුණා, අද පීඩකයින් වශයෙන් ක්‍රියා කරන පුද්ගලයින් හෙට පීඩිතයින් බවට පත්විය හැකි බවට. ස්වාමීනි, මේ කවුරුන් ගැන ද සඳහන් කරන්නේ? අල්ලස් කොමිසම ගැන ද? එහි විමර්ශන නිලධාරීන් ගැන ද? එසේත් නැත්නම් සාක්ෂිකරුවන් ගැන ද? යන ප්‍රශ්නය මතු වෙනවා."

"මෙම විමර්ශනයේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු ප්‍රකාශ ලබා දීලා තිබෙනවා. ඔවුන් කියා සිටිනවා මීට පෙර අවස්ථා දෙකකදී ප්‍රකාශ ලබා දී තිබුණත් එහිදී සත්‍ය කරුණු ප්‍රකාශ නොකළ බව. මොක ද තමන්ගේත් පවුලේ අයගේත් ජීවිතවලට තර්ජන එල්ල විය හැකි බවට බියක් මතුවීම නිසයි ඔවුන් එසේ ක්‍රියා කර තිබෙන්නේ. එහෙත් මෙම සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කළාට පස්සේ ඔවුන් තවත් ප්‍රකාශයක් ලබා දෙමින් සත්‍ය කරුණු ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් කියා සිටින්නේ මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත්කර සිටීම නිසා තමන් නොබියව ප්‍රකාශ ලබාදෙන බවට. එම ප්‍රකාශවල අන්තර්ගත ලේඛනයක් මා ඔබතුමාගේ පරිශීලනය සඳහා පමණක් ඔබතුමාගේ අධිකරණයටත් ඉදිරිපත් කරනවා. ස්වාමීනි, බියෙන් තැති ගනිමින් සිටි මෙම සාක්ෂිකරුවන් නොබියව සාක්ෂි දීම සඳහා අධිකරණයට ඉදිරිපත් වී තිබෙන්නේ නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යන සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීම නිසා යැයි ඔවුන් සඳහන් කර තිබෙනවා. අනාගතයේදී පීඩිතයින් බවට පත්වන්නේ මේ සාක්ෂිකරුවන් ද කියන ප්‍රශ්නයත් මතු වෙනවා," යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂවරිය මෙසේ ද පැවසීය.

"ස්වාමීනි, මෙම සැකකරු ඇප ඉල්ලීම සඳහා ඉදිරිපත් කළ කරුණු කිසිසේත් ම සුවිශේෂී කරුණු හැටියට සලකන්න බැහැ. දෙමව්පියන්ට පවතින අසනීපයක් සුවිශේෂී කරුණු හැටියට ඉහළ අධිකරණවලින් ලබා දුන් තීන්දුවලින් පිළිගෙන නැහැ. මෙම සැකකරුගේ දෙමව්පියන්ට අසනීප තත්ත්වයක් පවතී නම් ඔවුන්ව රැක බලාගන්න විශාල පිරිසක් සිටින බව කවුරුත් දන්නා කරුණක්. සාක්ෂිකරුවන්ට නොබියව ඉදිරියට පැමිණ සත්‍ය ප්‍රකාශ කිරීමට අවකාශ තිබිය යුතුයි. එසේ නොවුණහොත් ඔවුන්ට බලපෑම් එල්ල වීමට හැකියාව තිබෙනවා. මේ නඩුකරයට පාදක වන වරදේ බරපතළකම හමුවේ සාක්ෂිකරුවන්ට නොබියව ඉදිරියට පැමිණ සාක්ෂි දීමට අවකාශ තිබීම වැදගත්." ඒ අනුව ඇප ඉල්ලීම සඳහා සැකකරු ඉදිරිපත් කරන කරුණු සුවිශේෂී කරුණු වශයෙන් සැලකිය නොහැකි හෙයින් එම ඇප ඉල්ලීමට විරුද්ධ වන බවත් ඇය කියා සිටියා ය.

'මේ රටේ කිසිවෙක් නීතියට උඩිනුත් නැහැ යටිනුත් නැහැ'

ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.

"ස්වාමීනි, මා ඊයේ දින සඳහන් කළේ අද පීඩකයින් වශයෙන් කටයුතු කරන පුද්ගලයින් හෙට පීඩිතයින් බවට පත්විය හැකි යි යන කරුණ පමණ යි. එය අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය වැරදි ලෙස වටහාගෙන තිබෙන බව පැහැදිලි වෙනවා. අද ජනාධිපතිවරයා නඩු තීන්දුවල දින ප්‍රකාශයට පත් කරනවා. පනස් දෙනෙකුගේ ලැයිස්තුවක් තිබෙන බවත් කියනවා. ඒ නිසා ඔබ තොප්පිය හරි නම් දාගන්න. අල්ලස් කොමිසම සහ අධිකරණය කියන්නේ ස්වාධීන ආයතන. අපි හැමෝම දූෂණයට විරුද්ධ යි. ඒ නිසා තමයි වරින් වර අල්ලස් පනත විවිධකාර වෙනස් කිරීමට ලක් කරමින් අවසානයේදී කොමිසමක් දක්වා එය වර්ධනය වුණේ. අපගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13(5) ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා යම් අධිකරණයකින් පුද්ගලයෙකු වරදකරු කරන තුරු ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු වශයෙන් සැලකිය යුතු බවට. ඒ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය මේ සැකකරුටත් හිමි විය යුතු යි. චෝදනාවක් එල්ල වූ පමණින් එය අහෝසි වන්නේ නෑ. ඒ වගේ ම දේශපාලන මතයක් නිසා ඔහුට වෙනස් ආකාරයෙන් සැලකීමට භාජනය නොකළ යුතු යි. ඒ වගේ ම ඔහුට විශේෂත්වයක් හිමි නොවිය යුතු යි. මේ රටේ කිසිවෙක් නීතියට උඩිනුත් නැහැ යටිනුත් නැහැ. නීතිය ඉදිරියේ සැවොම සමාන යි. එම නිසා මෙම සැකකරුගේ මව සහ පියා දැඩි ලෙස රෝගාතුරව සිටින අතර ඔහුගේ මව ඊයේ දින හදවත් ශල්‍යකර්මයකට භාජනය වී තිබෙනවා".

ඒ අනුව මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා සැකකරුට ඇප නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රත්වරයා සැකකාර නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 03 වන දා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේ ය.