'නිදාගෙන සිටිද්දී මගේ සහකරු මාව දූෂණය කරනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, Adelle Overton
- Author, කැරොලයින් ලෝබ්රිජ්
- Role, නැගෙනහිර මිඩ්ලන්ඩ්ස්, එංගලන්තය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 9
"මට දැනුණ විදිහට නම්, ඔහු ඒ කරපු දේ පිළිගත්ත දවසට කලින් දවස වෙනකම් ම වගේ, ඒක මගේ ජීවිතේ මට තිබුණු හොඳ ම සම්බන්ධකම."
ඇඩෙල් ඔවර්ටන්ගේ 13 වසරක පෙම්වතා වූ ස්ටීවන් ඌඩ්න්, යහපත් සහකරුවෙකු ලෙස පෙනී සිටියේ ය.
ඔවුන් හමුවී තිබුණේ, සොම්බි චිත්‍රපටයක රූගත කිරීම් අතරතුර ය. ඔවුන් බොහෝ දේ සම්බන්ධයෙන් සමාන අදහස් දැරූ දෙදෙනෙකු වූ අතර, ඌඩ්න් කරුණාවන්ත සහ ආදරණීය කෙනෙකු බවත්, තමන් ආබාධිත තත්ත්වයට පත්වූ පසු තමා රැකබලා ගැනීම සඳහා ඔහු රැකියාව ද අත්හැර දැමූ බවත් ඇය පවසයි.
"ඔහු අපූරු කෙනෙක්. මම ඔහුට ගොඩක් ආදරය කළා. මම තවමත් ටිකක් එහෙම කරනවා කියලා හිතනවා," ඩර්බිහි තම නිවසේ සෝෆාවක වාඩි වී සිටින ඔවර්ටන් පවසයි.
ඔවර්ටන් ඌඩ්න්ව විශ්වාස කළා ය. එහෙත්, තමන් නිදා සිටින අතරතුර ඔහු තමාව දූෂණය කළ බව පිළිගැනීමත් සමග එම විශ්වාසය බිඳ වැටිණි.
"එක මොහොතකින් ම මාව පාවා දුන්නා වගේ හැඟීමක් ඇති වුණා. ඊට කලින් තිබ්බ කිසි ම සම්බන්ධතාවකදී මට එතරම් ආරක්ෂිත හැඟීමක් තිබිලා නැහැ," ඕවර්ටන් පවසයි.
ඔවර්ටන් පියයුරු පිළිකාව සඳහා ප්‍රතිකාර ලබන අවස්ථාවේ ඌඩ්න් ඇයව රැකබලා ගෙන තිබිණි. නමුත් පසුව ඔහු පොලිසියට පවසා තිබුණේ, ඖෂධවල බලපෑම මත නින්දේ පසුවෙද්දී ඇයව ඔහු දූෂණය කළ බව ය.
"මම ඔහුව හොඳින් දන්නවා කියලා හිතාගෙන හිටියා. ඒත් ඇත්තට ම ඔහු කවුද කියලා මම දැනගෙන හිටියේ නැහැ කියන හැඟීම… ඒක ලොකු පාවා දීමක් වගේ දැනුණා," ඔවර්ටන් පවසයි.
"වසර 13ක් ඔහු මාත් එක්ක ජීවත් වුණා. මගේ දරුවන් ඇති දැඩි කරන්නත් උදව් කළා."
"ඔහු ආරක්ෂිත කෙනෙක් කියලා මම හිතුවා. නමුත් ඔහු එහෙම කෙනෙක් වුණේ නැහැ."
ඌඩ්න් මේ වන විට සිරගතව සිටින අතර, තම අත්දැකීම වෙනත් අයට උපකාරී වේ යැයි අපේක්ෂාවෙන් ඔවර්ටන් ඒ පිළිබඳව කතා කිරීමට තීරණය කර ඇත.

ඔවර්ටන් සහ ඌඩ්න් මුණගැසී තිබුණේ, 2009 වසරේදී, නොටිංහැම්හි රූගත කෙරෙමින් තිබූ සොම්බි චිත්රපටයකදී ය. එවකට ඇය 29 හැවිරිදි වූ අතර ඔහු 27 හැවිරිදි විය.
ඌඩ්න් වේශ නිරූපණ කටයුතු සහ රංගනයේ නිරත වෙමින් සිටි අතර, ඔවර්ටන් ද චිත්‍රපට රංගන ශිල්පිනියක විය. ඒ වන විට ඔවුන් දෙදෙනා ම වෙනත් පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වාගෙන ගිය අතර, මිතුරන් ලෙස එකිනෙකා සමග සබඳතා පවත්වාගෙන ගියහ.
අවසානයේ 2012 ජනවාරි 13 වන දින ඔවුන් දෙදෙනා යුවළක් බවට පත් වූහ. ඒ දිනය ඇයට මතක තිබෙන්නේ, ඔවුන් "Friday the 13th" චිත්‍රපට මාලාව නැරඹූ නිසා ය.
ඔවර්ටන් පැවසුවේ, ඌඩ්න් සමග තිබූ සම්බන්ධතාව ඇය අතීතයේ තිබූ වෙනත් සම්බන්ධතාවලට වඩා වෙනස් ම ආකාරයක එකක් ලෙස ඇයට දැනුණු බව ය.
"ඔහු හරි ම විනෝදකාමී කෙනෙක්. ඒ වගේ ම ඔහු මාව හොඳින් රැකබලා ගත්තා. ඔහුගෙන් මට ආදරය ලැබෙනවා කියලා මට දැනුණා," ඇය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Adelle Overton
ඔවුන් දෙදෙනා මුණගැසුණේ සාමාන්‍යයෙන් සිදුවන ආකාරයකට නොවූ අතර, ඔවුන් එකට ගත කළ ජීවිතයත් සාම්ප්‍රදායික නොවූ එකක් විය. සොම්බි තත්ත්වයෙන් මිදීමේ අත්දැකීම් ලබාදෙන වැඩසටහන් සංවිධානය කළ සමාගමක් සඳහා ඔවුන් වෘත්තීය සොම්බි චරිත ලෙස සේවය කළහ.
සොම්බි චරිතයක් රඟපෑම සඳහා ඔවර්ටන්හට ශාරීරිකව ක්‍රියාශීලීව සිටීමට සිදු විය. නමුත් 2017 වසරේදී ඇයට Ehlers-Danlos syndrome රෝගය ඇති බව හඳුනාගැනීමෙන් පසු, අවසානයේදී ඇයට එම රැකියාව අත්හැරීමට සිදු විය.
2018 වසර ආරම්භයේදී ඌඩ්න් ඇයගේ රැකබලා ගන්නා පුද්ගලයා බවට පත්විය.
"ඔහු මම වෙනුවෙන් බොහෝ දේ කළා," ඇය පවසයි.
අතීතය දෙස ආපසු හැරී බලන විට, "ඩෙල්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔවර්ටන් සිතන්නේ ඌඩ්න් ක්‍රමයෙන් ඇයව පාලනය කිරීමට පටන්ගෙන තිබූ බව ය.
"මට කරන්න පුළුවන් දේවල් ගැන අනිත් හැමෝට ම කියන්න ඔහු හරි ම කැමැත්තෙන් හිටියා," ඇය පවසයි.
"කවුරුහරි දෙයක් කරන්න යෝජනාවක් කළා ම, ඔහු 'මම හිතන්නේ ඩෙල්ට ඒක කරන්න බැරි වෙයි. අපි වෙන දෙයක් ගැන හිතමු' කියලා කියන්න පටන් ගත්තා."

ඡායාරූප මූලාශ්‍රය, Adelle Overton
එහෙත් දැන් ඇයට දැනෙන්නේ, ඌඩ්න්ගේ හැසිරීම ඇයට සිතාගත නොහැකි තරම් අඳුරු හා භයානක එකක් වී ඇති බව ය.
ඇයට 2020 වසරේදී පියයුරු පිළිකාව සඳහා රසායනික ප්‍රතිකාර ලබමින් සිටියදී සැකයක් ඇති විය.
"මගේ ශරීරයේ ඇති වූ අපහසුතාව පැහැදිලිව දැනුණා ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඔහු එය කරමින් සිටියදී මම අවදි වුණා," ඇය පවසයි.
"ඔහු නොයෙකුත් නිදහසට කරුණු කිව්වා, 'මම හිතුවේ ඔයා අවදි වෙලා ඉන්නවා කියලා. ඔයාත් ඒකට ගැළපෙන විදිහට ශබ්ද කරමින් හිටියා' කියලා කිව්වා."
"අපි දෙන්න ම මුහුණ දුන් ඒ සියලු පීඩනයන් ගැන මම කල්පනා කරමින් හිටියා, ඔහු කියන්නේ ඔහු ඒක කළේ අත්වැරදීමකින් කියල යි."
එබැවින්, ඔවර්ටන් ඇයගේ කණස්සල්ල නොසලකා හැරියා ය.
"ඇත්ත කුමක් ද කියලා වටහා ගන්නවට වඩා, බොරුව විශ්වාස කිරීම පහසු වුණා කියලා මම හිතනවා," ඇය පවසන්නීය.

නමුත් ඔවර්ටන්ට නින්ද යාමේ අපහසුතා ඇති වන්නට විය.
"මම හිතන්නේ, මගේ මනස ඇතුළේ කොහේ හරි තැනක, මම නිදාගෙන ඉද්දි මගේ මොළයට ආරක්ෂිත බවක් දැනුණේ නැහැ," ඇය පවසයි.
තමන්ට ඌඩ්න් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යාම අපහසු වූ බවත්, අතීතයේ තමන් මුහුණ දුන් ලිංගික අපයෝජන සිදුවීම්වලට අදාළ බියකරු සිහින දැකීම් වැඩි වූ බවත් ඔවර්ටන් පවසයි.
"ඒ කාලේ මම හිතුවේ මම ඒ දේ මගේ මානසික කම්පනයත් එක්ක සම්බන්ධ කර ගන්නවා කියල යි; ඒ වගේ ම මගේ ඒ මානසික කම්පනය නිසා මම ඔහු ගැනත් ඔහු කරපු දේ ගැනත් දැඩිව විනිශ්චය කරමින් හිටියා," ඇය පවසයි.
"මට වරදකාරී හැඟීමක් ඇති වෙන්න පටන් ගත්තා. ඒ හැම දෙයක් ම ගැන මම මගේ ම සිතින් මට ම දොස් කියමින්, මාව ම විවේචනය කර ගන්න පටන් ගත්තා."
ඌඩ්න්ගේ පාපොච්චාරණය
වසර පහකට පසුව, 2025 වසරේදී, ඌඩ්න් බඩවැල් පිළිකාව සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඒ ගැන පාපොච්චාරණය කළේ ය.
"මම හිතන්නේ ඔහුගේ හිතේ යම් දෙයක් ඔහුට වද දෙමින් තියෙන්න ඇති. මොකද දැන් ඔහුට, මම මුහුණ දෙමින් සිටි දේ අනෙක් පැත්තෙන්, එනම් වෙනත් කෙනෙකුගේ දෘෂ්ටිකෝණයෙන්, දැකගන්න ලැබුණා," ඔවර්ටන් පවසයි.
"මම ප්‍රතිකාර ලබමින් සිටි කාලයේ ඔහු මාව හොඳින් රැකබලා නොගත් බව ඔහු නිතර ම හිතමින් සිටි බව පැහැදිලි යි."
වසර පහකට පෙර සිදුවූ සිදුවීමක් ඔවර්ටන්ට නැවත සිහිපත් විය. ඒ, ඇය නින්දෙන් අවදි වූ විට, ඌඩ්න් ඇය සමග ලිංගිකව හැසිරෙමින් සිටින බව දුටු සිදුවීම යි.
"මම ඔහුව තල්ලු කළා. 'ඔයා ඒකෙන් අදහස් කරන්නේ මොකක් ද? ඔයා මාව බලාගත්තේ නැහැ කියන්නේ මොකක් ද? කොහොම ද ඔයා මාව බලාගත්තේ නැත්තේ?" ඇය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Derbyshire Police
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔවර්ටන් පවසන පරිදි, දින දෙකක් පුරා පැවති එම සංවාදය අතරතුර යම් අවස්ථාවකදී, ඌඩ්න් මිතුරෙකුට දුරකතනයෙන් කතා කර තමන් කළ දේ පිළිගත්තේ ය. ඉන්පසු ඔහු නැවත නිවසට පැමිණ ඔවර්ටන්ට ද ඒ ගැන පාපොච්චාරණය කළේ ය.
තමන්ව පාවා දුන් බවක් සහ දැඩි පිළිකුලක් ඇයට දැනුණත්, ඇය වහා ම එම සම්බන්ධතාව අවසන් කළේ නැත. ඇයට හැඟුණේ තමන් ඌඩ්න් මත රඳා සිටින බවත්, තමා ඔහුට ආදරය කරන බවත් ය.
ඔවර්ටන් තම අතීත ලිංගික අපයෝජන අත්දැකීම් සම්බන්ධයෙන් දැනටමත් ප්‍රතිකාරයකට සහභාගි වෙමින් සිටි අතර, ඊළඟ සැසියේදී ඇය මේ සිදුවීම ගැන ද සඳහන් කළා ය.
"මම ඒ වෙලාවේ සම්පූර්ණයෙන් ම කඩා වැටිලා හොඳට ම අඬමින් හිටියේ, 'මම මොක ද කරන්නේ? ඔහු නැවතත් ඒක කරන එක මම කොහොම ද නවත්වන්නේ?' කියලා හිතමින් හිටියා. ඒ වෙලාවේ උපදේශකයෙකු, චිකිත්සකයෙකු තමයි මාව ඒ තත්ත්වයෙන් අවදි කළේ." ඇය පවසයි.
"එවිට ඇය පැවසුවේ, 'ඔහුව එළියට දමන්න, පොලිසියට කතා කරන්න' කියා යි. පසුව එදින ම ඇය පැවසුවේ ඔවුන් ඒ සම්බන්ධයෙන් ආරක්ෂාව තහවුරු කිරීමේ රැස්වීමක් පැවැත්වූ බවත්, මේ මුළු සිදුවීම ගැන ම පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ය; ඒ මොහොතේ ම මෙය තවදුරටත් මගේ පාලනයෙන් ඔබ්බට ගිය කාරණයක් බව මට වැටහුණා."

මෙම පැමිණිල්ල ඩර්බිෂයර් පොලිසියේ රහස් පරීක්ෂක සැරයන් එලිනෝර් කර්ට්න් වෙත පවරන ලදී.
"මම මුලින් ම කළේ ඇඩෙල්ව සම්බන්ධ කර ගැනීම යි," ඇය පවසයි.
"සිදුවී තිබූ දේ ගැන ඇය දැඩි ලෙස කම්පාවට පත්ව සිටීම පුදුමයක් නෙවෙයි."
ඔවර්ටර්න්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිසිය ඌඩ්න්ව අත්අඩංගුවට ගත්තේ ය.
"මම ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී, ඔහු කළ දේ ගැන වහා ම පාපොච්චාරණය කළා," එලිනෝර් පවසයි.
"ඔහු ඇයව දූෂණය කළ බව පිළිගත්තා. අපගේ විමර්ශන මෙතරම් ඉක්මනින් එවැනි තත්ත්වයකට පත්වීම ඉතාමත් අසාමාන්‍ය දෙයක්."
ඌඩ්න්ට දූෂණ චෝදනා දෙකක් එල්ල වූ අතර, පසුව ඔහු අධිකරණයේදී එම චෝදනා දෙකට ම වරද පිළිගත්තේ ය. ඔහුට වසර හයකුත් මාස අටක සිර දඬුවමක් නියම විය.
කර්ට්න් පවසන්නේ, ඔවර්ටන්ගේ ක්‍රියාමාර්ග අනෙකුත් කාන්තාවන් ආරක්ෂා කිරීමට උපකාරී වී ඇති බව ය.
"ඇය පෙන්වූ ධෛර්යය සහ අධිෂ්ඨානය නිසා තවත් බොහෝ දෙනෙකු ආරක්ෂා කිරීමට අපට හැකි වී තිබෙනවා. නැතිනම් මේ පුද්ගලයා තවදුරටත් මෙවැනි වැරදි සිදු කරමින් සිටින්න ඉඩ තිබුණා," ඇය වැඩිදුරටත් පවසයි.
"යම් කෙනෙකුට තමන්ටත් එවැනි දෙයක් සිදුවෙමින් තියෙනවා කියලා හැඟෙනවා නම්, ඒ ගැන අප සමග පැමිණ කතා කරන ලෙස මම ඔවුන්ව තරයේ දිරිමත් කරනවා. මොක ද අපට ඒ සම්බන්ධයෙන් කළ හැකි දේවල් තියෙනවා. මේ සිදුවීමෙන් ඒ බව ඔප්පු වෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Adelle Overton
නමුත්, වසර 13ක් පුරා තමන්ට ආදරයෙන් සිටි බවට ඇය විශ්වාස කළ තම සහකරු, ඇය නිදා සිටියදී ඇයව දූෂණය කළේ ඇයි ද යන්න තේරුම් ගැනීමට ඔවර්ටන්ට තවමත් අපහසු වී තිබේ.
"කෙනෙකු ප්‍රතිචාරයක් නොදක්වන අවස්ථාවකින් තවත් කෙනෙකුට කොහොම ද සතුටක් ලැබෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. මට කිසි ම විදිහකින් තේරුම් ගන්න බැරි වුණේ ඒ කාරණය යි," ඇය පවසයි.
"ඔහුට නිදාගෙන ඉන්න කාන්තාවන් ගැන විශේෂ කැමැත්තක් තිබුණා. ඒක කොහොම කියන්න ද කියලා මම දන්නේ නැහැ."
"ඔහුට අවශ්‍ය වුණේ මම නිදාගෙන ඉන්න එක යි, ඔහු කරන දේ ගැන මට නොදැනීම යි."
ඔවර්ටන් සැක කරන්නේ, තමන්ගේ ම ඖෂධ ඔහු සම්පූර්ණයෙන් ම පාලනය කරගෙන සිටි බැවින්, ඌඩ්න් එම ඖෂධ භාවිත කර ඇයව මත් කරවන්නට ඇති බව ය.
"මට ඖෂධ දාලා තියා ගන්න පුංචි බෙහෙත් පෙට්ටි තිබුණා. ඔහු මගේ සියලු ම ඖෂධ ඒවායින් එළියට අරගෙන මට බොන්න දෙනවා," ඇය පවසයි.
"දැන් මට වෙනත් ඖෂධවලට වඩා නිදි කරවන ඖෂධ ප්‍රමාණය ගොඩක් අඩු යි. ඒ නිසා, මාව නිදාගෙන ම තබා ගැනීමට ඔහු මට අධික ඖෂධ මාත්‍රාවක් ලබා දෙන්නට ඇති කියලා මට දැඩි සැකයක් තියෙනවා."
කර්ට්න් පවසන්නේ, මෙය "ඓතිහාසික නඩුවක්" ලෙස හඳුන්වන ආකාරයේ සිදුවීමක් බව ය; එබැවින් මෙය සිදුවීද නැද්ද යන්න තහවුරු කිරීමට අධිකරණ වෛද්‍ය විද්‍යාවට හෝ විෂ විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු කිරීමට නොහැකි වූ බව ඇය පවසයි.
එසේ ම, මේ පිළිබඳ කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි.
නමුත්, ඔවර්ටන් රසායනික ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවක, එම ප්‍රතිකාර නිසා පුද්ගලයෙකුට වැඩි තෙහෙට්ටුවක් ඇති වන බැවින්, එක් අවස්ථාවකදී තමන් ඇයව දූෂණය කළ බව ඌඩ්න් පොලිසියට පවසා තිබිණි.
"මම හිතන්නේ ඔහු ඒ අවස්ථාවේදී ම ඒ ගැන සඳහන් කළා. ඇය රසායනික ප්‍රතිකාර ලබමින් සිටි බව ඔහු පැවසුවා. එම සිදුවීම සිදුවූ අවස්ථාවේදී ඇය ඖෂධවල බලපෑමට ලක්වී සිටින්නට ඇති බව ඔහු පිළිගන්නවා." කර්ට්න් පවසයි.

ඌඩ්න් ඕවර්ටන්ව අවස්ථා දෙකකදී දූෂණය කළ බවට චෝදනා එල්ල වුව ද, ඔහු එය ඊට වඩා වැඩි අවස්ථා ගණනකදී සිදු කර ඇති බවට ඇය විශ්වාස කරයි.
"ඔහු මට කිව්වා, ඔහු මට අවස්ථා හතක් හෝ අටකදී එහෙම කරලා තියෙනවා කියලා," ඔවර්ටන් පවසයි.
ඇයගේ දියණිය වන ෂාරි ඔවර්ටන් පවසන්නේ, ඌඩ්න්ගේ අපරාධ හේතුවෙන් තම මවට ඇති කර ඇති බලපෑම දැකීම ඇයට ඉතා අපහසු වී ඇති බව ය.
"ඇය දැන් සම්පූර්ණයෙන් ම වෙනස්. ඇයගේ ආත්ම විශ්වාසය විශාල ලෙස පහත වැටීලා කියලා මට පෙනෙනවා," ෂාරි පවසයි.
"ඇය මේ සියල්ලට මුහුණ දී, පොලිසිය සහ අධිකරණය සමග කතා කර, තමන් වෙනුවෙන් පෙනී සිටීම ගැන මම ඇය ගැන ඇත්තෙන් ම ඉතාමත් ආඩම්බර වෙනවා."
ඔවර්ටන් බලාපොරොත්තු වන්නේ, තම කතාව මගින් අවදානමට ලක්ව සිටින අනෙකුත් පුද්ගලයන්ට තමන්ව රැකබලා ගන්නා බව කියන පුද්ගලයන්ගෙන් සිදුවන අපයෝජනයන් තවදුරටත් ඉවසීමට අවශ්‍ය නොවන බව පෙන්වා දීමට හැකි වනු ඇති බව ය.
"මට හිතෙන්නේ මම මේ ගැන කතා කළ යුතු යි කියලා. මොක ද මේ සිදුවීම නිසා, තවත් කී දෙනෙක් ආබාධ සහිත පුද්ගලයන් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා ද, ඔවුන්ගේ ජීවිතය වෙනත් කෙනෙක් පාලනය කරනවා ද කියලා මම හිතන්න පටන් ගත්තා," ඇය පවසයි.
"හැම දෙයක් ම දැනගත්තට පස්සේ මාස කිහිපයක් යනකම් මම හිතුවා, සමහර විට ඒක ඔහු මාව රැකබලා ගත්තාට ගෙවීමක් වගේ දෙයක් වෙන්න ඇති කියලා. සමහර විට මම ඔහුට ඒ සමීපත්වය ලබා දිය යුතු යි කියලා හිතුවා. නමුත් මම එහෙම කළ යුතු නැහැ. වෙන කවුරුවත් එහෙම කළ යුතු නැහැ."



































