FIFA අවසන් පූර්ව වටයේදී ප්‍රබල ප්‍රංශ කණ්ඩායමට එරෙහි තරගය ස්පාඤ්ඤය පහසුවෙන් ජයග්‍රහණය කළේ කෙසේ ද?

Pedro Porro #12 of Spain celebrates scoring his team's second goal during the FIFA World Cup 2026 Semi Final match between France and Spain at Dallas Stadium on July 14, 2026 in Arlington, Texas. (Photo by David Ramos/Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, නීල් ජොන්ස්ටන්
    • Role, බීබීසී ක්‍රීඩා මාධ්‍යවේදී, ඩලාස් ක්‍රීඩාංගනයේ සිට
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

ස්පාඤ්ඤය දෙවන වතාවට පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසීමට සැබවින් ම ඉතා විශිෂ්ට දක්ෂතාවක් දැක්වූ අතර, ඔවුන් ප්‍රංශය පරාජය කළ ආකාරය පාපන්දු ලෝකය පුදුමයට පත් කළේ ය.

'ලෙ බ්ලූ' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ප්‍රංශ පාපන්දු කණ්ඩායම, ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට පිවිසියේ බොහෝ දෙනෙකු ඔවුන් ජයග්‍රහණය කරනු ඇති බවට වූ බලාපොරොත්තුවත් සමගයි. ඔවුහු තරගාවලිය හරහා සුවපහසු ලෙස ඉදිරියට ගොස්, විශ්වාසයෙන් යුතුව ඔවුන්ගේ තරග ජයග්‍රහණය කර සෑම වටයකම ශක්තිමත් දස්කම් පෙන්වීය. කිලියන් එම්බාප්පේ, උස්මාන් ඩෙම්බේලේ සහ මයිකල් ඔලීසේ වැනි ප්‍රහාරාත්මක තරු පෙරමුණේ පෙරමුණ ගෙන සිටීමත් සමග, ප්‍රංශය තරගයේ වඩාත් ම ප්‍රහාරාත්මක කණ්ඩායම්වලින් එකක් බවට පත්ව තිබිණි.

නමුත් බොහෝ දෙනෙක් ප්‍රංශය පරාජය කළ හැක්කේ කෙසේදැයි විමසමින් සිටියදී, ස්පාඤ්ඤය සෑම කෙනෙකුට ම ඔවුන් යුරෝපීය ශූරයන් යැයි මතක් කර දුන්නේ ය. ඔවුන් තම අපරාජිත ගමන වාර්තාගත තරග 37ක් දක්වා දිගු කරගත්තේ 2-0ක පහසු ජයග්‍රහණයක් සමගින් ය.

ලුයිස් ඩි ලා ෆුවෙන්ටේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලද ස්පාඤ්ඤය, මෙවර ලෝක කුසලානය අතරතුර වැඩි අවධානයක් දිනා ගෙන සිටියේ නොමැත. ලෝක කුසලානයේ ආරම්භක තරගයේදී කුළුදුල් ලෝක කුසලානයට ක්‍රීඩා කරන කේප් වර්ඩ් කණ්ඩායම පරාජය කිරීමට පවා ඔවුන් අපොහොසත් වූ අතර, යොවුන් තරුවක් වන ලමීන් යමාල් අවසන් පූර්ව තරගයට පෙර ලබාගෙන තිබුණේ එක් ගෝලයක් පමණි.

කෙසේ වෙතත්, ස්පාඤ්ඤය නිවැරදි වෙලාවේදී ඔවුන්ගේ හොඳ ම ස්වරූපයට ළඟා වී ඇති බව පෙනී යයි. ඔවුන් මේ වනට විට තරග 7ක් ක්‍රීඩා කර අපරාජිතව සිටින අතර, ඔවුන් ජුලි 20 පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයේදී එංගලන්තයට හෝ ආජන්ටිනාවට එරෙහිව ජයග්‍රහණය කරනු ඇතැයි, බොහෝ දෙනෙක් අපේක්ෂා කරති.

ස්පාඤ්ඤයේ මැදපෙළ ක්‍රීඩකයින් තරගය පාලනය කළ අතර, තරගය පුරාම ප්‍රංශයට ඉලක්කයට පහර දීමට හැකි වූයේ පහර තුනක් පමණි. ප්‍රංශය දැන් තුන්වන ස්ථානය සඳහා වන තරගයට සූදානම් විය යුතු ය.

"ස්පාඤ්ඤය ප්‍රංශය දරුණු ලෙස පරාජය කළා - ඔවුන් ප්‍රංශය සමතලා කරලා දැමුවා," බීබීසී රේඩියෝ 5 සජීවී වැඩසටහන සඳහා තරගය නැරඹීමට පැමිණි හිටපු ප්‍රිමියර් ලීග් ශූරයෙකු වන ක්‍රිස් සට්න් පැවසීය.

"අපි මේ තරගාවලියේදී ප්‍රංශය සෑහෙන්න අගය කරලා තියෙනවා, නමුත් ඔවුන්ව සුමුදු ස්පාඤ්ඤය විසින් පසෙකට තල්ලු කළා. ප්‍රධාන වශයෙන්, ස්පාඤ්ඤය මෙම ප්‍රංශ කණ්ඩායමට එරෙහිව හොඳින් සටන් කරලා ඔවුන් අභිබවා ගිහින් තියෙනවා."

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

තවත් ප්‍රිමියර් ලීග් ජයග්‍රාහකයෙකු වන රෝයි කියෑන් ITV හි මෙසේ පැවසීය: "ප්‍රංශය කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළේ නැහැ. දක්ෂ පුද්ගලයින් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළේ නැහැ."

"ස්පාඤ්ඤය අතිශයින් ම දක්ෂයි - නැරඹීම සීමාරහිත සතුටක්."

2022 දෙසැම්බර් මාසයේදී ඩි ලා ෆුවෙන්ටේ ස්පාඤ්ඤ පුහුණුකරු ලෙස පත් කළ විට, සමහරු "ලුයිස් ඩි ලා කවුද?," යනුවෙන් විමසූහ.

විසෙන්ටේ ඩෙල් බොස්කේ යටතේ 2010 ලෝක කුසලානය දිනාගත් ස්පාඤ්ඤය, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නායකත්වය හරහා මෙහෙයවී ඇත. එබැවින් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය ලුයිස් ඩි ලා ෆුවෙන්ටේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළ විට, බොහෝ අය ඔහුව පහළ මට්ටමේ තේරීමක් ලෙස දුටුවේ ඔහු මීට පෙර ස්පාඤ්ඤයේ 19න් පහළ, 21න් පහළ සහ 23න් පහළ කණ්ඩායම් පමණක් කළමනාකරණය කර ඇති බැවිනි.

නමුත් 65 හැවිරිදි ඔහු, තමා ගැන සැක කළ අයට දැඩි ප්‍රතිචාරයක් ලබා දී තිබේ.

ලුයිස් ඩි ලා ෆුවෙන්ටේ ස්පාඤ්ඤය 2023 දී නේෂන්ස් ලීග් ශූරතාව දිනා ගැනීමටත්, පසුව යුරෝ 2024 ශූරතාව දිනා ගැනීමටත් නායකත්වය දුන්නේ ය. දැන් ඔහු කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා මෙහෙයවා තිබේ.

ඇට්ලන්ටාහිදී පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය ජයග්‍රහණය කළහොත්, ඔවුන් වසර දෙකකට පෙර පැවති යුරෝපීය ශූරතාවලියේ අවසන් මහා තරගය වැනි තරගයක් නැවත පැවැත්වීමට සිදු වනු ඇත.

Pedro Porro of Spain celebrates his goal with Lamine Yamal of Spain during the FIFA World Cup 2026 Semi Final match between France and Spain at Dallas Stadium on July 14, 2026 in Arlington, Texas.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්පාඤ්ඤය වෙනුවෙන් ක්‍රීඩා කිරිම ආරම්භ කළ දා සිට ලමීන් යමාල් සහභාගිවූ කිසිදු තරගයක් පරාජය වී නොමැත

Spain's incredible numbers ස්පාඤ්ඤයේ ඇදහිය නොහැකි වාර්තා

  • ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ දීර්ඝතම අපරාජිත ගමන් මග ලෙස ඉතාලියේ වාර්තාව සම කරමින් ස්පාඤ්ඤය තරග 37ක් ජයගෙන තිබේ.
  • ලෝක කුසලානයේ සහ යුරෝපීය ශූරතාවලියේ එකදු තරගයක්වත් පරාජය නොවී වැඩිම තරග සංඛ්‍යාවක් නියෝජනය කළ යුරෝපීය ක්‍රීඩකයින් පස් දෙනා ම ස්පාඤ්ඤය වෙනුවෙන් ක්‍රීඩා කරති. ඔවුන් නම් එම්රික් ලපෝර්ට් (තරග 22), ඔයර්සබාල් (තරග 20), ෆාබියන් රුයිස් (තරග 16), මිකෙල් මෙරීනෝ (තරග 14) සහ යමාල් (තරග 14) ය.
  • ස්පාඤ්ඤය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේදී ලමීන් යමාල් කිසිදා තරගයක් පරාජය වී නැත. ඔහු ලෝක කුසලානය සහ යුරෝපීය ශූරතාවලිය පුරා තරග 12ක් ක්‍රීඩා කර ඇති අතර, ස්පාඤ්ඤය එම සෑම තරගයක් ම ජයග්‍රහණය කර ඇත. තරගාවලි දෙකෙහි ම නව යුරෝපීය ක්‍රීඩකයෙකු විසින් වාර්තා කරන ලද හොඳ ම 100% ජයග්‍රාහී වාර්තාව මෙය යි.
  • ලෝක කුසලාන ඉතිහාසයේ එක් තරගාවලියකදී තරග 6ක ඔවුන්ට එරෙහිව කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ප්‍රතිවාදී කණ්ඩායමට ඉඩ ලබා නොදුන් එක ම කණ්ඩායම ස්පාඤ්ඤය යි.
  • ස්පාඤ්ඤයට එරෙහිව ප්‍රංශය විසින් නිර්මාණය කරන ලද අපේක්ෂිත ගෝල (xG) අගය 0.3 ක් පමණක් වූ අතර, එය 1994 දී බ්‍රසීලය ස්වීඩනයට එරෙහිව එම අගය ම වාර්තා කිරීමෙන් පසු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකදී කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද අඩුම ගෝල අගය යි.

'අපි 2010 වසරේ ජීව ගුණය නැවත ලබාගෙන තියෙනවා'

ස්පාඤ්ඤයේ ලෝක කුසලාන ව්‍යාපාරය ආකර්ෂණීය ආකාරයකින් ආරම්භ නොවූයේ ඔවුන්ගේ ආරම්භක තරගයේදී කේප් වර්ඩ් කණ්ඩායම විසින් තරගය ගෝල රහිතව ජය පරාජයෙන් තොරව අවසන් කිරීම නිසා ය. ඉන්පසු ඔවුන්ට කණ්ඩායම් 16 වටයේදී පෘතුගාලය පරාජය කිරීමට 91 වන මිනිත්තුවේ ජයග්‍රාහී ගෝලයක් සහ අර්ධ අවසන් පූර්ව වටයේදී බෙල්ජියම පරාජය කිරීමට 88 වන මිනිත්තුවේ ජයග්‍රාහී ගෝලයට වාර්තා කිරීමට සිදුවිය.

කෙසේ වෙතත්, ප්‍රංශයට එරෙහිව තරගයේ අවසාන භාගය තෙක් බලා සිටීමට ඔවුන්ට සිදු නොවී ය. මිකෙල් ඔයර්සබාල්ගේ දඬුවම් පහර සහ පේද්‍රෝ පෝරෝගේ විශිෂ්ට නිමාව හරහා පළමු පැය තුළ ස්පාඤ්ඤය 2-0 ලෙස පෙරමුණ ගත්තේ ය. තරගයේදී ඔවුන් ඉලක්කයට එල්ල කළ එක ම අවස්ථා දෙක එය විය.

"ඒක විශ්මිත ස්පාඤ්ඤ කණ්ඩායමක් නෙවෙයි, අපි මීට වඩා හොඳ කණ්ඩායම් දැකලා තියෙනවා," ප්‍රංශ කණ්ඩායමේ පසුපෙළ ආරක්ෂක ක්‍රීඩක ගේල් ක්ලිචි 5 Live Sport වෙත පැවසීය.

"නමුත් හොඳම කණ්ඩායම ජයග්‍රහණය කළා. සියලුම අදියරවල පාලනය ස්පාඤ්ඤය ගත්තා, ස්පාඤ්ඤය මොකක්ද කරන්නේ කියලා අපි දැනගෙන හිටියත්, ඔවුන් ඒක ඉතාමත් හොඳින් කළා."

ස්පාඤ්ඤය "සෑම පැත්තක ම" ආධිපත්‍යය දැරූ බවට ප්‍රංශ ලෝක කුසලාන ජයග්‍රාහක පැට්‍රික් වියේරා එකඟ විය.

"ස්පාඤ්ඤය සාමූහිකව අපූරු ලෙස ක්‍රීඩා කළා," ඔහු ITV Sport වෙත පැවසීය. "ඔවුන් ඔලිසේ ක්‍රීඩා කිරීම නැවැත්තුවා, ඔවුන් උපායශීලීව තරගය ජයග්‍රහණය කළා."

ඔහු සමග ආර්සනල් කණ්ඩායමේ ක්‍රීඩා කළ ඉයන් රයිට් මෙසේ පැවසීය: "එය පුද්ගලිකව [ක්‍රීඩා කිරීමට වඩා] වඩා ව්‍යුහාත්මක වුණා. එතරම් පහසුවෙන් ඒක සිදුවීම ගැන මම කම්පනයට පත් වෙලා ඉන්නේ."

ස්පාඤ්ඤ පාපන්දු විශේෂඥ ගිලියම් බලාගේ තවදුරටත් මෙසේ පැවසීය: "අපි දැකපු දේ විශිෂ්ට සාමූහික සංදර්ශනයක්. ඔවුන්ට සෑම දෙයක් ම පාලනය කිරීමට හැකි වුණා, ඒක හැම පාපන්දු පාසලක ම පෙන්වන්න ඕනේ."

"උත්සාහය, දක්ෂතාව, පරිත්‍යාගය, අපගේ ම වඩා හොඳ ආකාරයක් වීමට උත්සාහ කිරීම," හේතුවෙන් ඔහුගේ ක්‍රීඩකයින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සුදුසු බව ඩි ලා ෆුවෙන්ටේ සිය තරගයෙන් පසු මාධ්‍ය හමුවේදී පැවසීය.

"අපි 2010 වසරේ ජීව ගුණය නැවත ලබාගෙන තිබෙනවා," ඔහු පැවසීය. "තරගයට ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් පවා තරගය අවසන් වූ පසුවත් පුහුණුවීම් සඳහා රැඳී සිටීමෙන් කණ්ඩායමේ ශක්තිමත් චරිතය පැහැදිලි වෙනවා."

"මේක දිගුකාලීන ක්‍රියාවලියක්, හැකි උපරිම තත්ත්වයෙන් මෙම අදියරට ළඟා වීමට අපට හැකි වන පරිදි සියල්ල සැලසුම් කර තිබුණා."

රජෙකු වෙනුවෙන් ජයග්‍රහණයක්

ස්පාඤ්ඤ රසිකයන් දහස් ගණනක් රට පුරා වීදිවල ජය සැමරූ අතර, අවසන් විසිල් හඬින් ටික වේලාවකට පසු හයවන ෆෙලීපේ රජුගෙන් තමාට දුරකථන ඇමතුමක් ලැබුණු බව ලුයිස් ඩි ලා ෆුවෙන්ටේ හෙළි කළේ ය.

ඩි ලා ෆුවෙන්ටේ ඔහුගේ බොහෝ ක්‍රීඩකයින් සමග සමීප සබඳතාවක් පවත්වාගෙන යයි. මන්ද ඔවුන්ගෙන් කිහිප දෙනෙක් මීට පෙර ඔහු යටතේ ස්පාඤ්ඤයේ යොවුන් ජාතික කණ්ඩායම්වල ක්‍රීඩා කර තිබෙන නිසා ය.

මයිකල් මෙරීනෝ 2015දී ලුයිස් ඩි ලා ෆුවෙන්ටේ යටතේ ඔහුගේ පළමු ජාත්‍යන්තර කුසලානය දිනා ගත්තේ ය. ඔහු යුරෝපීය 19න් පහළ ශූරතාව දිනාගත් ස්පාඤ්ඤ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ අතර, දැන් ස්පාඤ්ඤයේ නායකයා වන රොඩ්‍රි සහ ගෝල රකින්නා වන උනායි සිමොන් සමග ද ක්‍රීඩා කළේ ය.

"ඩි ලා ෆුවෙන්ටේ මෙම ගමන ආරම්භ කළේ මීට වසර 10 කට කලින් ඔයර්සාබල්, ඩැනි ඔල්මෝ, රොඩ්‍රි සහ සයිමන් සමග යි," බලාගේ 5 Liveහි පැවසීය.

"ඔවුන් අවුරුදු 19න් පහළ සහ අවුරුදු 21න් පහළ යුරෝපීය ශූරතා දිනා ගත්තා, එකිනෙකාව දැන හඳුනා ගත්තා, පවුලක් ලෙස හැදුණා, ඒ වගේ ම තනි තනිව සිටිනවාට වඩා එකට සිටීමේ හැඟීම ඔවුන්ගේ DNA වල තියෙනවා."

Mikel Oyarzabal celebrates scoring his team's first goal during the 2026 World Cup football tournament semi-final match between France and Spain at the Dallas Stadium in Arlington on July 14, 2026

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්පාඤ්ඤයට එරෙහිව ප්‍රංශය නිර්මාණය කරන ලද අපේක්ෂිත ගෝල (xG) අගය 0.3 ක් පමණක් වූ අතර, එය 1994 දී බ්‍රසීලය ස්වීඩනයට එරෙහිව එම අගය ම වාර්තා කිරීමෙන් පසු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකදී කණ්ඩායමක් වාර්තා කරන ලද අඩුම ගෝල අගය යි

'අද ක්‍රීඩා කළේ ලෝක කුසාලන ජයග්‍රාහකයන්'

ජූලි 20 පැවැත්වෙන අවසන් මහා තරගයේදී මුහුණ දීමට කැමති එංගලන්තයට ද, ආර්ජන්ටිනාවට ද යන්න විමසූ විට ඩි ලා ෆුවෙන්ටේ මෙසේ පැවසීය: "මට [විශේෂ] කැමැත්තක් නැහැ. මම ඇත්තටම එංගලන්තයට කැමතියි. ලෝක කුසලානයට පෙර මම කිව්වා ඔවුන් ප්‍රියතම කණ්ඩායමක් කියලා."

"ඒකත් ඒ වගේම වේවි. අපිට ගොඩක් දේවල් කරන්න වෙයි. අපි ආර්ජන්ටිනාවට මුහුණ දුන්නොත්, ඔවුන්ට පසුපෙළ දුර්වලතා තියෙනවා, ඒ වගේම අපට ප්‍රති ප්‍රහාරවලින් ඔවුන්ට හානි කරලා [ගෝල රැස් කිරීමට අවස්ථාව] විවෘත කිරීම් නිර්මාණය කළ හැකි යි," බලාගේ පවසයි.

"ස්පාඤ්ඤයේ ලේයර් ගොඩක් තියෙනවා, ඒ නිසා ඔවුන්ටත් ඒක කරන්න පුළුවන්. මම හිතන්නේ ලෝක කුසලාන ජයග්‍රාහකයන් තමයි අද ක්‍රීඩා කළේ."

"අපේක්ෂා ඉහළ නංවා ගැනීමෙන් පස්සේ, ස්පාඤ්ඤය තරග අවසන් කරමින් ඉන්නවා, ඔවුන් අවස්ථා නිර්මාණය කරමින් ඉන්නවා."

"යුරෝ කුසලානයෙන් පස්සේ එංගලන්තය වෙනස් මාර්ගයක යමින් ඉන්නවා. ඔබ [එංගලන්තය] නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා, මට ඒ අදහස පැහැදිලිව පෙනෙන්නේ නැහැ. ස්පාඤ්ඤයත් ඒ අදහස ම ඉදිරියට ගෙන ගියා."