දරුවන් සිව් දෙනෙකු සුනඛ පැටවුන් 4 දෙනෙකුට සහ සුනඛ ධේනුවකට පහර දී මරා දැමීම: චීනයේ සත්ව හිංසනයට එරෙහි විරෝධතා ලොවපුරා පැතිරෙයි

    • Author, ජෙමිනි චෙං
    • Role, බීබීසී චීන සේවය
    • වාර්තාකරණය, හොංකොං සිට
    • Author, කෙලී නැග්
    • වාර්තාකරණය, සිංගප්පූරුවේ සිට
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

පසුගිය ජූනි මාසයේදී මහ මග සිටි සුනඛ ධේනුවක් සහ ඇගේ පැටවුන් භයංකර ලෙස ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝ චීනයේ ඉන්ටර්නෙට් ඔස්සේ ප්‍රචාරය වීමත් සමග දැඩි මහජන විරෝධයක් මතු විය. ඒ සමග ම බීජිං පාලනයේ ඉන්ටර්නෙට් වාරණ යාන්ත්‍රණය වහා ක්‍රියාත්මක විය.

නමුත්, මෙම අවස්ථාවේදී දක්නට ලැබුණු අසාමාන්‍ය සිදුවීම වූයේ මෙම සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 14ට අඩු පිරිමි ළමුන් සිව් දෙනා ගැන සැලකිලිමත් වන බව පැවසූ බලධාරීන්ට එරෙහිව සිද්ධියෙන් කම්පනයට සහ කෝපයට පත් ජනතාවගේ විරෝධය එල්ලවීම යි.

මෙම සිදුවීමේදී අදාළ පිරිමි ළමුන්ගේ වයස සලකා බලමින්, අදහස් දැක්වීම්වලින් වළකින ලෙස සහ සමාජ මාධ්‍ය සටහන් ද ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියහ. රජයට එල්ල වන විවේචන මර්දනය කිරීමටත්, මහජන කෝපය පාලනය කිරීමටත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය විසින් මාධ්‍ය සහ ඉන්ටර්නෙට් දැඩි ලෙස පාලනය කරනු ලබයි.

"මේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත්, ඉන්ටර්නෙට් හිංසන ප්‍රතික්ෂේප කරමින් බාලවයස්කරුවන්ගේ වර්ධනයට යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට එක්වන ලෙසත් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන් නිල නිවේදනයක සඳහන් විය.

නමුත් මෙම වාරණයන් හමුවේ විරෝධතා තවත් තීව්‍ර විය. චීනයේ සතුන්ට ආදරය කරන්නන් මේ වන විට සිය සටන අන්තර්ජාලයෙන් ඔබ්බට සහ විදෙස් රටවලට ගෙන ගොස් ඇති අතර ඊට සහය ලබා ගැනීමට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ප්‍රචාරක පුවරු පවා සවි කර තිබේ.

මෙම සිදුවීම සිදුවී සති තුනක් ගතවී තිබියදීත්, ඒ පිළිබඳ සටහන් සඳහා චීන සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් ප්‍රතිචාර දහස් ගණනින් ලැබෙමින් පවතී. එහි කම්පනය, කෝපය සහ කනගාටුව මෙන් ම දැනට චීනය තුළ ක්‍රියාත්මක නොවෙන සත්ව හිංසනයට එරෙහි නීති සම්පාදනය කරන ලෙස කෙරෙන බලපෑම් ද පවතී.

ග්වංඩොං පළාතේ ජියෑං නගරයේ පිරිමි ළමුන් පිරිසක් විසින් කුඩා බලු පැටවුන් තිදෙනෙකුට පොලුවලින් පහර දී එම සතුන්ගේ මව් සුනඛයාට ගිනි තබන අයුරු දැක්වෙන කැළඹිලිසහගත වීඩියෝවක් ජූනි අග භාගයේදී ඉන්ටර්නෙට්හි සංසරණය විය. වැං වැං ලෙස හැඳින්වූ එම සුනඛ ධේනුව පිළිස්සෙන අවස්ථාවේදී එම පිරිමි ළමුන් සිනාසෙමිස් සිටින අයුරු ද එහි දක්නට ලැබිණි.

ජියෑං බලධාරීන් පසුගිය මාසයේදී ප්‍රකාශ කළේ, අදාළ පිරිමි ළමුන් අපරාධ චෝදනා සඳහා මුහුණ නොදෙන අතර ඒ වෙනුවට ඔවුන් "විශේෂිත පාසලක්" වෙත යොමු කරන බව ය. නමුත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රකාශයට නොකළේ ය.

එම ළමුන් ම මෙම සිදුවීම පටිගත කර ඉන්ටර්නෙට්හි පළ කර ඇති බවට ඇතැම් වාර්තා මගින් යෝජනා කළ නමුත් පොලිසිය ඒ පිළිබඳව කිසිදු අදහසක් දක්වා නැත. මෙම ළමුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා ඉන්ටර්නෙට් නියාමකයින් විසින් අදාළ වීඩියෝ පටය තහනම් කිරීමට උත්සහ කළ ද, ඇතැම් පුද්ගලයින් තර්ක කරන්නේ එය ඉන්ටර්නෙට්හි තිබිය යුතු බවට ය.

අනන්‍යතාව හෙළි කර නොමැති වුව ද, ඔවුන්ගේ මුහුණු පැහැදිලිව පෙනෙන වීඩියෝ කොටස් තවදුරටත් ඉන්ටර්නෙට්හි සංසරණය වේ. එමෙන් ම, ළමුන්ගේ මුහුණුවල සමීප රූප ලෙස පවසන තහවුරු නොකළ සටහන් ද පවතින අතර, එමගින් වෙනත් ළමුන් වැරදිකරුවන් ලෙස හඳුනා ගැනීමේ අවදානම ඉහළ නැංවේ.

ලොවපුරා බොහෝ රටවල් බාලවයස්කාර වරදකරුවන් පිළිබඳ තොරතුරු ප්‍රචාරය කිරීම සීමා කිරීම හෝ ඔවුන්ගේ අනන්‍යතාව හෙළිකිරීම සම්බන්ධයෙන් දැඩි නීති පනවා ඇත.

උදාහරණයක් ලෙස, අනවශ්‍ය ප්‍රසිද්ධිය නිසා ඇති වන මානසික හානිය අවම කිරීම සඳහා ළමා අධිකරණ ලේඛන වෙත මහජනතාවට ඇති ප්‍රවේශය සහ මාධ්‍ය ආවරණය බොහෝ විට සීමා කරනු ලැබේ.

මෙම සිදුවීමේදී චීන බලධාරීන් එම සංවාද සම්පූර්ණයෙන් ම තහනම් කර නොමැත. "වැං වැං" සහ "සත්ව ආරක්ෂණය" වැනි ප්‍රධාන වචන තවමත් සෙවුම් පද ලෙස ඉස්මතු වී පවතී. බොහෝ දෙනෙකු තවමත් ඒ පිළිබඳ සටහන් පළකරමින් සිටින අතර, සමාජය දැනුවත් කිරීමට ද පියවර ගනිමින් සිටිති.

තමන් පළකළ සටහන් ඉවත් කර ඇති බවටත්, අනෙක් අයගේ සටහන් හුවමාරු කර ගැනීමට තිබූ හැකියාව සීමා කර ඇති බවටත් සමාජ මාධ්‍ය පරිශීලකයෝ තවමත් පවසති. මකා දමන ලද හෝ සීමා කරන ලද සටහන්වල අදාළ පිරිමි ළමුන් සිව්දෙනාගේ නම් හෝ අනන්‍යතාව සඳහන් කර තිබුණේ ද? යන්න පැවසීම අපහසු ය. බලධාරීන් ද මේ පිළිබඳව වැඩිදුර යමක් ප්‍රකාශ කර නොමැත.

සතුන්ගේ ආරක්ෂාව තදින් ම තහවුරු කරන ලෙස ඉල්ලා සිටි චීන නළු ඩු ජියැං සහ තායිවාන රංගන ශිල්පිනී ජෝ චෙන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් තැබූ සමාජ මාධ්‍ය සටහන් ද අතුරුදන් වී තිබේ. නමුත් ඒවා අදාළ ජනප්‍රිය පුද්ගලයින් විසින් ම ඉවත් කර ගනු ලැබුවා ද? යන්න පැහැදිලි නැත.

චීන සමාජ මාධ්‍ය පරිශීලකයින් සිය සටහන් ඉවත් කර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇතැමුන් වැං වැං ගේ දුක්ඛිත තත්වය වෙනුවෙන් හඬක් නැගීමට විදේශීය මැදිහත්කරුවන් වෙත යොමුවෙමින් සිටියි.

චීනය තුළ වාරණයට ලක්වන සංවේදී මාතෘකා රැසක් අතරින් මෙම සිදුවීම දැඩි විරෝධයක් ඇති කිරීමට හේතුව කුමක්දැයි පැවසීම දුෂ්කර ය.

මෑත කාලීනව සිරස්තල මවන ලද සත්ව හිංසන සිදුවීම් මාලාවක නවතම සිදුවීම මෙය වීම ඊට එක් හේතුවක් විය හැකි ය. එමෙන් ම, මෙම වීඩියෝ දර්ශන දැඩි ලෙස චිත්තවේගීය බලපෑමක් එල්ල කර ඇතැයි පෙනෙන්නට තිබේ. PL නමැති සතුන් වෙනුවෙන් පෙනී සිටින්නියක බීබීසී චීන පුවත් සේවයට පැවසුවේ, එය "ඉතා දැඩි ලෙස බලපෑමක් එල්ල කළ" සිදුවීමක් වූ බව ය.

"අපට අපේ හඬ අවදි කරන්න බැහැ. ඉතිං චීනයෙන් පිටත ඉන්න ගොඩක් අය මේ පණිවිඩය බෙදා හරින්න අපට සක්‍රියව උදව් කරනවා," ඇය වැඩිදුරටත් පැවසුවා ය.

ඉතාලිය පදනම් කර ගත් සත්ව ආරක්ෂණ අන්තර්ජාතික සංවිධානය පවසන්නේ, මෙම සිදුවීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් ලොව පුරා ජනතාවගෙන් පැමිණිලි 100කට වැඩි ප්‍රමාණයක් තමන් වෙත ලැබී ඇති බව ය. මේ පිළිබඳව චීන බලධාරීන්ගෙන් වැඩිදුර තොරතුරු ඉල්ලා ඇති බව ද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ ය.

ලොව කාර්යබහුල ම පදික මංසන්ධියක් වන ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර ටයිම්ස් චතුරස්‍රයේ පිහිටි දැවැන්ත ඩිජිටල් තිරයක, සෑම මිනිත්තු 35 කට වරක් ම වැං වැං සුනඛ ධේනුවගේ ඡායාරූප ප්‍රදර්ශනය කෙරේ.

එහි එක් පාඨයක සටහන් වන්නේ, "ඇය ආදරය ලැබූවා. ඇයට ජීවත් වීමට අවශ්‍ය වුණා. ඇය තවමත් මෙහි සිටිය යුතු යි," යන්න යි. තායිවානයේ සුප්‍රකට මහල් 101කින් සමන්විත තායිපේ 101 ගොඩනැගිල්ල ආසන්නයේ ද මීට සමාන ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කර ඇත. වැං වැං ඇගේ පැටවුන්ට කිරි දෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද සහිත එම පුවරුවේ, "මේ ලෝකය ඔවුන්ටත් අයිති යි. වැං වැංට සාධාරණය ඉටු කරනු," යනුවෙන් සටහන් කර තිබේ.

දැන්වීම් පුවරුව සවි කිරීමට නව තායිවාන ඩොලර් 30,000 (අමෙරිකානු ඩොලර් 930; පවුම් 692) වියදම් කළ තායිවාන කාන්තාවක වන CK පවසන්නේ, එමගින් "එකමුතුකමේ හැඟීමක්" ඇති කළ හැකි වෙතැයි තමන් බලාපොරොත්තු වන බව ය.

"තනි තනිව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වනවාට වඩා, අපි හැමෝම එකතු වෙලා මේ වෙනුවෙන් හඬක් නගනවා කියන හැඟීම මේකෙන් ඇති වෙනවා," ඇය බීබීසී චීන පුවත් සේවයට පැවසුවා ය. මෙම සතුන්ට මුහුණ දීමට සිදුවූ අවාසනාවන්ත තත්ත්වය ලොවට හෙළි කිරීම සඳහා CK නමැති කාන්තාව, Reddit සහ X වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ගිණුම් ද සකස් කර තිබේ.

"මේ සතුන් මුහුණ දුන් කෲරත්වය ගැන ලෝකය ම දැනගත යුතු යි," පවසන CK වැඩිදුරටත් සඳහන් කළේ, මෙම කෲර ඝාතනයේ වීඩියෝ පටය නැරඹීමෙන් පසු දින කිහිපයක් යනතුරු ඇයට නිසි ලෙස ආහාර ගැනීමට හෝ නිදා ගැනීමට පවා නොහැකි වූ බව ය.

එලාරා නමැති තවත් තායිවාන කාන්තාවක් කෘත්‍රිම බුද්ධිය භාවිත කර මෙම සිදුවීමේ සංක්ෂිප්ත විස්තරයක් ජපන්, පෘතුගීසි සහ රුසියානු ඇතුළු භාෂා 10කට වැඩි සංඛ්‍යාවකට පරිවර්තනය කර ඇති අතර, ඒවා ද මේ වන විට ඉන්ටර්නෙට්හි හුවමාරු වෙමින් පවතී.

හොංකොං සහ මැකාවුහි පදිංචිකරුවන් ද බස් රථ සහ දුම්රිය තුළ පෝස්ටර් ඇලවීමට අරමුදල් රැස්කර ඇත.

ප්‍රධාන චීන භූමිය තුළ ද සතුන්ට එරෙහි කෲරත්වයට එරෙහි නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව කෙරෙහි දැනුවත් කිරීම් සඳහා මෙම සංවාදය තවදුරටත් පවතී.

පසුගිය සෙනසුරාදා දාලියන් නගරයේ ක්‍රීඩාංගණයක පැවති දේශීය පාපන්දු තරගයක් අතරතුර, වැං වැං සහ ඇගේ පැටවුන් නිරූපණය කෙරෙන සංවේදී කාටූනයක් බොහෝ පාපන්දු ලෝලීන් රැසකගේ අවධානයට යොමුවිය. තරගයට පෙර එහි වූ දැවැන්ත තිරයේ ප්‍රදර්ශනය වූ එම කාටූනයෙන් පැවසුණේ, "සෑම ජීවිතයක් ම ගෞරවය සහ කරුණාව ලැබීමට සුදුසු යි," යනුවෙනි.

Amortals නමැති රූපලාවණ්‍ය සන්නාමයක් සහ වීදි විලාසිතා සන්නාමයක් වන Wah Yan Ching Nin වැනි දේශීය ව්‍යාපාර ද රට පුරා පිහිටි සාප්පු සංකීර්ණ පිටත සත්ව හිංසනය නතර කරන ලෙස ඉල්ලා සිටින ප්‍රචාරක පුවරු සවි කිරීමට පියවර ගෙන තිබේ.

චීනයේ විශාලතම විද්‍යුත් වාණිජ වෙබ් අඩවිය වන Taobaoහි වැං වැං සහ ඇගේ පැටවුන් සහිත ස්ටිකර් ද විකිණීමට ඇත.

තව ද ජනතාව ඉන්ටර්නෙට් ඔස්සේ ද සිය විරෝධය පළ කරමින් සිටිති.

"අපි දිගට ම මේ ගැන සටහන් පළ කරනවා. මේ සංවාදවල උණුසුම අඩු වෙන්න දෙන්න එපා," Weiboහි පළ වූ අදහසක දැක්වේ.

"නිරන්තරයෙන් හඬක් නැගීම කියන්නේ සමාජ පිළිවෙතට බාධා කිරීම නෙවෙයි. අපි මේ දේ කරන්නේ තවත් වැඩි පිරිසකට මෙය පෙන්වා දීමට සහ සතුන්ට හිංසා නොකිරීම කෙතරම් වැදගත් දෙයක් ද? යන්න තේරුම් කර දීමට යි," තවත් අයෙකු සටහන් කර තිබිණි.