ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යනු කවුද? ඔහුට ලැබුණු සුවිශේෂී නඩු තීන්දු 3ක්
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සිකුරාදා (ජූලි 31) මරණ දඬුවම නියම කෙරිණි.
ඒ බෙදුණු තීන්දුවක් ලෙස ය.
මේ එලෙස මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඔබ දැන ගතයුතු කරුණු කිහිපයකි.
වෘත්තීය ගමන්මග
පූජිත් ජයසුන්දර සහකාර පොලිස් අධිකාරීවරයෙකු (ASP) වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට එක් වී ඇත්තේ 1985 වසරේදී ය.
එතැන් සිට ඔහු ශ්‍රී ලංකා පොලිසියේ පහත තනතුරු දරා තිබේ.
- 1991 - පොලිස් අධිකාරී ධුරයේ (SP)
- 1996 - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයේ (SSP)
- 2005 - නියෝජ්‍ය පොලිස්පති ධුරයේ
- 2010 - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කර ඇත.
ජනාධිපති නිර්දේශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජිත් ජයසුන්දර පොලිස්පති ධුරයට පත් කරනු ලැබුවේ 2016 අප්‍රේල් 20 වන දා ය.
එවක සිටි පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් විශ්‍රාම යාම නිසා පුරප්පාඩු වූ පොලිස්පති ධුරය සඳහා ව්‍යවස්ථාදායක සභාව වෙත එවකට නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනකුගේ නම් යෝජනා වී තිබිණි.
ඒ, එස්. එම්. වික්‍රමසිංහ, පූජිත් ජයසුන්දර සහ මෑතකදී වෙඩි වැදීමකින් මිය ගිය සී. ඩී. වික්‍රමරත්න යන අය ය.
අනිවාර්ය නිවාඩු යැවීම
පාස්කු ප්‍රහාරයෙන් දින 8කට පසු, එනම් 2019 අප්‍රේල් 29 වන දා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයක් අනුව ඒ වන විට පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවිණි.
ඉන්පසුව සී. ඩී. වික්‍රමරත්න වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට සහ අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බැවින් එම තීන්දුව නීත්‍යනුකූල නොවන බව පවසමින් පූජිත් ජයසුන්දර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත 2019 මැයි 29 වන දා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබිණි.
ඉන්පසුව, 2019 ජූනි 06 දින අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පළමු වරට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දුන්නේ ය.
2018 වසරේ ඔක්තෝබර් මස 23 වන දා පැවති ආරක්ෂක කවුන්සිල රැස්වීමෙන් අනතුරුව පැවති සෙසු රැස්වීම් සඳහා තමන් සහභාගි විය යුතු නැතැයි ජනාධිපතිවරයා දැන්වූ බව ආරක්ෂක අමාත්‍යංශයේ එවක ලේකම් කපිල වෛද්‍යරත්න තමන්ට දැනුම් දුන් බව පොලිස්පති පූජිත් ජයසුන්දර එහිදී කියා සිටියේ ය.
අනිවාර්ය නිවාඩු යැවීමට පෙර ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා තමන්ට දැන්වූ බව ද ඔහු එහිදී කියා සිටියේ ය.
මූලික අයිතිවාසිකම් කඩ කිරීමට පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවීම
මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ගොනු කෙරුණු අතර එහි තීන්දු 2023 ජනවාරි මස 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබී ය.
ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්, වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින්, කතෝලික පියතුමන්ලා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව විසින් මේ පෙත්සම් 12 ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කළේ අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ය.
මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75ක් බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක්ද වන්දි වශයෙන් ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරනු ලැබී ය.
ඒ අනුව හිටපු පොලිස්පතිවරයා 2024 වසරේදී ඔහු විසින් ගෙවිය යුතු වන්දි මුදල වන රු. මිලියන 75 ගෙවා අවසන් කර තිබේ.
විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට පහර දීමට තැත් කිරීමේ නඩුවෙන් නිදහස් වීම
පොලිස් දෙපාර්තමේන්තුවේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධී බලහත්කාරය පෑම සහ සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර එම චෝදනාවලින් නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2025 සැප්. 3 නියම කළේ ය.
විත්තිකාර පූජිත් ජයසුන්දර එම ක්‍රියාව චේතනාන්විතව සිදු කර නොමැති බවටත් ඉන් පැමිණිලිකරුගේ රාජකාරියට අගතියක් සිදුව නොමැති බවටත් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා ය.
ඒ අනුව, විත්තිකරුට අදාළ චෝදනා ඔප්පු වී නොමැති බැවින් ඔහු නිදහස් කරන බව පිටු තිස් හයකින් සමන්විත නඩු තීන්දුවේ සඳහන් විය.
2017 වසරේ අප්‍රේල් මස 11 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම ප්‍රදේශයේ පදිංචි ඒ.එච්. සමරකෝන් බණ්ඩා නමැති නිලධාරියාට පහර දීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව 2019 වසරේ වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙත අදාළ නිලධාරියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.
ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ විමර්ශනයක් කර පූජිත් ජයසුන්දරට එරෙහිව මෙම නඩුකරය ගොනු කරනු ලැබ තිබිණි.
නිදොස් කොට නිදහස් වීම සහ මරණ දඬුවම නියම වීම
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් පූජිත් ජයසුන්දර සහ තවත් විත්තිකරුවන්ට එරෙහිව විවිධ දිසා අධිකරණවල වන්දි නඩු ද විශාල ප්‍රමාණයක් ගොනු කර තිබිණි.
මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, මිනීමැරීම ඇතුළු චෝදනා 850කට අධික ප්‍රමාණයක් බැගින් එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ වෙන වෙන ම නඩු දෙකක් ගොනු කර තිබුණි.
එම නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනා වලින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේ පසුගිය 2022 පෙබරවාරි මාසයේදී ය.
නීතිපතිවරයා පවරා තිබුණු මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදහස් කෙරුණේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් ද තොරව ය.
මහාධිකරණය විසින් ලබාදුන් එම තීන්දුව දෝෂ සහගත බවත්; එබැවින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ අතර, ඉන්පසුව මෙම නඩුව නැවත කැඳවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුන්නේ ය.
ඒ අනුව හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සිකුරාදා (ජූලි 31) මරණ දඬුවම නියම කෙරුණේ එලෙස නඩුව නැවත විභාගයට ගැනීමෙන් පසුව යි.