සිර දඬුවමට එරෙහි හිරුණිකාගේ අභියාචනය ගැන අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු තීන්දුවක් ගනී

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

සිර දඬුවමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කර තිබෙන අභියාචනය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

එම අභියාචනය සම්බන්ධයෙන් තීන්දුව ලබාදීමේදී විනිසුරුවරුන් අතර බෙදීමක් ඇතිවීම නිසා ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීම සඳහා අදාළ අභියාචනය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කෙරිණි.

ඒ අනුව මෙම අභියාචනය අද (නොවැ: 11) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අභියාචනය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය,

පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් නම් කෙරිණි.

ඒ අනුව එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ අභියාචනා විභාගය ජනවාරි මස 21 වන දා පවත්වන බවත් අධිකරණය තීන්දු කළේ ය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වන දාධිමට ගොඩ ප්‍රදේශයේත් වෙළෙඳසලක සේවය කළ තරුණයෙකු defender රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනාවලට වැරදිකාරිය කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා දඩ නියම කරන ලදී.

එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඇය මෙම අභියාචනය ඉදිරිපත් කර තිබිණි.

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට වරදකාරිය වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව බෙදුණු තීන්දුවක් බැවින් එම අභියාචනය යළි සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ අද දින (නොවැ: 11) කැඳවන ලෙස එම අභියාචනය විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (නොවැ: 10) නියම කළේ ය.

මෙම අභියාචනා පෙත්සමේ තීන්දුව අඟහරුවාදා දින ප්‍රකාශයට පත් කිරීම සඳහා එය විභාග කළ පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චිගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී විනිසුරු පී. කුමාරන් රත්නම් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, මෙම විනිසුරු මඩුල්ලේ තීන්දුව බෙදුණු තීන්දුවක් වන බැවින් එම අභියාචනා පිළිබඳ පෙත්සම සුදුසු පියවර ගැනීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා හමුවට යොමු කරන බව ය.

ඒ අනුව අදාළ අභියාචනය බදාදා දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේ ය.

මෙම අභියාචනය කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද අධිකරණය හමුවේ පෙනී සිටියා ය.

වසර 11කට පෙර සිදුවූ සිදුවීම

2015 වසරේ දෙසැම්බර් මස 21 වන දා දෙමඩගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ ආධාරකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

නඩු විභාගය අතරතුරදී ඇයගේ ආධාරකරුවන් අට දෙනා අදාළ චෝදනාවලට වරද පිළිගත් අතර ඔවුන්ට අත්හිටවූ සිර දඬුවම් සහ දඩ මුදල් නියම කරන ලෙස අධිකරණය විසින් නියම කරන ලදී.

එහෙත්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අදාළ චෝදනාවලට වරද පිළි නොගත් අතර ඇය නඩු විභාගයකට මුහුණ දුන්නා ය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව චෝදනා 18කට වරදකාරිය කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ නියම කෙරිණි.

එම සිර දඬුවමින් හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් අභියාචනාධිකරණයට මෙම ඇපෑල ඉදිරිපත් කර තිබිණි.

මෙහිදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර පෙනී සිටියේ ය.