ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
OCA: පච්චා සලකුණු ඇතුළු සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පතෙන් ඉවත් කිරීමට යෝජිත කරුණු මෙන්න
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත 'පච්ච හා සලකුණු' සම්බන්ධයෙන් පනවා තිබූ ප්‍රතිපාදන ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ඊට අමතරව බරපතළ අපරාධ සිද්ධි සම්බන්ධ නඩුකරයක කිසියම් කරුණක් ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා අදාළ අධිකරණයේ අවසරය ලබා ගත යුතු බවට දැක්වෙන වගන්තිය ද ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා දැනුම් දුන්නේ ය.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද (නොවැ: 09) විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරල් විරාජ් දයාරත්න මෙම දැනුම් දීම කළේ ය.
සුරාබදු වැරදි
අදාළ පෙත්සම් අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත සුරාබදු පනත සම්බන්ධ වැරදි සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට යෝජනා කර ඇතැයි අධිකරණයට දැනුම් දුන්නේ ය.
බුද්ධිමය දේපළ වැරදි
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි සියල්ල ඉවත් කිරීමට යෝජනා කර ඇතැයි නීතිපතිවරයා අද (නොවැ: 09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
එමෙන් ම බුද්ධිමය දේපළ වැරදිවලට අදාළ ප්‍රකාශන අයිතිය (Copy Right) පිළිබඳ වැරදි ද එම පනත් කෙටුම්පතෙන් ඉවත් කිරීමට යෝජනා කර තිබෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සොලිසිටර් ජෙනරල් විරාජ් දයාරත්න ප්‍රකාශ කළේ ය.
පච්චා සහ සලකුණු
ඊට අමතරව අදාළ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත "පච්චා සහ සලකුණු" පිළිබඳ ප්‍රතිපාදන ඉවත් කර ගන්නා අතර බරපතළ අපරාධ සම්බන්ධ නඩුකරයක යම් කරුණක් ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා අධිකරණයේ අවසර ලබා ගත යුතු බවත් සඳහන් ප්රතිපාදනය ද ඉවත් කර ගන්නා බව ද සොලිසිටර් ජෙනරල්වරයා පැවසීය.
අධිකරණයේ කරුණු දැක්වීම්
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනි, මෙම පනත් කෙටුම්පතට අදාළව පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන සලකා බැලීම සිදුවුණා. ඒවා අදාළ අමාත්‍යංශ වෙත යොමු කර කරුණු සාකච්ඡා කළා. එහිදී සංශෝධන කීපයක් මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමට එකඟතාව ඇති වුණා. ඒ යටතේ අදාළ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ වගේ ම අදාළ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත ප්‍රකාශන හිමිකම් සම්බන්ධ වැරදි ඉවත් කිරීමටත් එකඟතාව පළ වුණා. ඊට අමතරව මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම රඳවා ගැනීම සහ රැඳවුම් නියෝග ලබා ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශ සමග සාකච්ඡා කර ඉදිරියේදී සිදුකළ හැකි සංශෝධන ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා," යනුවෙන් කියා සිටියේ ය.
එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, ඉකුත් දා ජනාධිපතිවරයා පවා මෙම පනත් කෙටුම්පතට සංශෝධන සිදු කළ යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ බව ය.
තවත් පෙත්සම්කාර පාර්ශ්ව කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, යෝජිත සංශෝධන පිළිබඳව පෙත්සම්කාර පාර්ශවය දැනුවත් කිරීමෙන් පසුව වැඩිදුර කරුණු සලකා බැලීම සුදුසු බව ය.
මෙම පනත් කෙටුම්පතට ඉදිරිපත් වී ඇති සංශෝධන සම්බන්ධයෙන් තමාගේ ද අවධානය යොමුව ඇති බව ඒ අවස්ථාවේදී සොලිසිටර් ජෙනරල් විරාජ් දයාරත්න ද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.
ඒ පිළිබඳව අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දෙන බව ද ඔහු සඳහන් කළේ ය.
ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත කාරණා පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.
"ස්වාමීනි, මෙම පනත් කෙටුම්පත සකස් වී තිබෙන්නේ අන්තර් ජාතික වශයෙන් ක්‍රියාත්මක වන බරපතළ අපරාධ කල්ලි මැඩලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සකස් කර තිබෙන සම්මුතිය අනුව යි. එම එක්සත් ජාතීන්ගේ සම්මුතියට ශ්‍රී ලංකා රජයත් දායක වී තිබෙනවා. ඒ අනුවයි රජය මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙන්නේ. මෙම පනත් කෙටුම්පතේ මූලික අරමුණ සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සමාජය ආරක්ෂා කිරීම යි. සෑම පනතක ම අරමුණ අපරාධවලින් මහජනයා ආරක්ෂා කිරීම යි. එහෙත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ විශේෂ අරමුණ සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සමාජය ආරක්ෂා කිරීම යි."
වැඩිදුරටත් කරුණු දැක්වූ සොලිසිටර් ජනරාල්වරයා...
"ස්වාමීනි, සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් ජාතික ආරක්ෂාව, ආර්ථිකයට මෙන් ම නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් එල්ල වී තිබෙනවා. මෙවැනි කල්ලි සිදුකරන අපරාධ සාමාන්‍ය අපරාධවලට වඩා සංකීර්ණ යි. නිදසුනක් ලෙස සංවිධානාත්මක අපරාධ කල්ලි සිදුකරන මිනීමැරුම් ගැන සලකා බැලුවොත් එම මිනීමැරුම සිදුකිරීමට තීරණය කරන්නේ එක් පුද්ගලයෙක්. නමුත් එම මිනීමැරුම සිදුකරන වෙඩික්කරු ඔහු හඳුනන්නේ නෑ. ආයුධය ලබා දෙන්නේ තවත් පුද්ගලයෙක්. ඒ අනුව පැහැදිලි වෙනවා මෙම අපරාධ මොනතරම් සංකීර්ණ ද කියලා. එවැනි අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කාර්යක්ෂම නීතිමය ප්‍රතිපාදන, නවීන විමර්ශන ක්‍රමවේද මෙන් ම දියුණු තාක්ෂණික ක්‍රමවේද අවශ්‍ය යි."
එවැනි අරමුණු ඉටුකර ගැනීම මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අරමුණ බව ද සොලිසිටර් ජෙනරල්වරයා සඳහන් කළේ ය.
මෙම පනත් කෙටුම්පත යටතේ "සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා" සම්බන්ධයෙන් සිදුකර තිබෙන නිර්වචනය පිළිබඳව සොලිසිටර් ජෙනරල්වරයා කරුණු පැහැදිලි කළේ ය.
මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සොලිසිටර් ජෙනරල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, "මෙම පනත් කෙටුම්පතේ 14 වන වගන්තිය සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය කෙසේ ද?" එහි අඩංගු වගන්තිවලින් ජනමාධ්‍ය කටයුතුවලට බලපාන බවත් මෙම අධිකරණය හමුවේ ප්‍රකාශ වුණා," යනුවෙන් විමසීය.
ඊට පිළිතුරු දුන් සොලිසිටර් ජෙනරල්වරයා, "ස්වාමීනි, මෙහි 14 වන වගන්තිය සඳහන් කර තිබෙනවා බරපතළ අපරාධවලින් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ගේ අනන්‍යතාව ප්‍රසිද්ධියට පත් නොකළ යුතු බවට. වින්දිතයින් ආරක්ෂා කිරීම සඳහා යි මෙම වගන්තිය ඇතුළත් කර තිබෙන්නේ. එසේ ම 14 (3) වගන්තිය තුළින් සඳහන් කර තිබුණා, බරපතළ අපරාධ සම්බන්ධ නඩුවලට අදාළ කරුණු ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා අධිකරණයේ අනුමැතිය ලබා ගත යුතු බවට. එම වගන්තිය ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අමතරව "පච්ච සහ සලකුණු" සම්බන්ධයෙන් වන වගන්තිය ද ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා," යනුවෙන් කියා සිටියේ ය.
මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අචල වෙංගප්පුලි විවෘත අධිකරණයේ කරුණු දක්වමින්, "මෙම පෙත්සම්කරුවන්ගෙන් බහුතරයකගේ අවධානය යොමු වී තිබෙන්නේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්. ඒ පිළිබඳව තමයි ඔවුන් අවධානය යොමු කර තිබෙන්නේ," යනුවෙන් සඳහන් කළේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් සොලිසිටර් ජෙනරල්වරයා කියා සිටියේ, මෙවැනි අකටයුතු කම් සිදුකිරීමට ඇති අවස්ථා අවම කිරීමට මෙම පනත් කෙටුම්පත තුළින් කටයුතු කර තිබෙන බව ය.
වැඩිදුරටත් කරුණු දැක්වූ සොලිසිටර් ජෙනරල්වරයා, "මෙම පනත් කෙටුම්පතේ 17 (1) වගන්තියේ සඳහන් වෙනවා, කිසියම් භූමියක් හෝ ගොඩනැගිල්ලක් සෝදිසි වරෙන්තුවක් රහිතව පරීක්ෂාවට ලක්කළ හැකි බවට. එහෙත් එම වගන්තිය සෝදිසි වරෙන්තුවක් සහිතව පරික්ෂාවට ලක් කළ හැකිය, යනුවෙන් සංශෝධනය කරනු ලබනවා. මෙම පනත් කෙටුම්පත යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු අදාළ පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු යි.
ඒ පිළිබඳව පැය 24ක් තුළ සැකකරුගේ ළඟ ම ඥාතීන්ට දැනුම් දිය යුතු යි. මෙහි 20 වන වගන්තිය මගින් සදහන් වෙනවා අත් අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු පැය 72 ක් රදවා ගත හැකි බවට. එම කරුණ පැය 48 ක් ලෙස සංශෝධනය කෙරෙනවා. පැය 48 කාලය තුළ අත් අඩංගුවට ගත් පුද්ගලයා මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කළ යුතුය. 21 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ඉල්ලා සිටීමේ බලය පොලිස්පතිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පති තනතුරට නොඅඩු තනතුරක් දරන පුද්ගලයෙකු ඉදිරිපත් කළ යුතු යි. එසේ ඉල්ලීම කළ විට ආරක්ෂක ලේකම්වරයා සෑහීමකට පත්විය හැකි කරුණු ඉදිරිපත් වූවොත් අදාළ රැඳවුම් නියෝග නිකුත් කළ යුතු යි. එම රැඳවුම් නියෝගවල පිටපත් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතු යි. මාස දෙකේ සිට වසරක කාලයක් සඳහා රැඳවුම් නියෝග නිකුත් කිරීමට ලේකම් වරයාට බලය තිබෙනවා. මාස දෙකකට වඩා රැඳවුම් නියෝග දීර්ඝ කරන්නේ නම් නීතිපතිවරයා මාර්ගයෙන් මහාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු යි.
ඒ සඳහා ආරක්ෂක ලේකම් හේතු ඉදිරිපත් කළ යුතු යි. එසේ නිකුත් කරන රැඳවුම් නියෝගවල පිටපත් අත්අඩංගුවේ පසුවන පුද්ගලයාට දින හතක් තුළ ලබා දිය යුතු යි. වසරක රැඳවුම් කාලයෙන් පසුව අත්අඩංගුවේ පසු වන පුද්ගලයාට මහාධිකරණයෙන් ඇප ඉල්ලීම් සිදුකළ හැකි යි," යනුවෙන් සඳහන් කළ සොලිසිටර් ජෙනරල්වරයා මෙම වගන්තිවලින් අත්අඩංගුවට ගැනීමේ සහ රඳවා ගැනීමේ ක්‍රියාවලිය අධිකරණයේ අධීක්ෂණයට නතුකර ඇති බවත් පැවසීය.
"මෙම කරුණු හරහා අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම, රැඳවුම් නියෝග නිකුත් කිරීම, ඇප ඉල්ලීම වැනි කරුණු අධිකරණයේ අධීක්ෂණයට ලක් වෙනවා. අදාළ පනත් කෙටුම්පතට සංශෝධන යෝජනා කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ එම සංශෝධන සිදු කිරීමට නියමිත යි. එමනිසා මෙම පනත් කෙටුම්පත කියන තරම් බරපතළ නොවන බව සඳහන් කළ යුතුයි." එම නිසා අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් හෝ ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවත් සොලිසිටර් ජෙනරල් විරාජ් දයාරත්න පැවසීය.
ඉන් අනතුරුව මෙම පනත් කෙටුම්පතට අදාළ සංශෝධන පිළිබඳ ලිඛිත දේශන අනිද්දා සවස 4.00ට පෙර ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේ ය.