සුරේෂ් සලේ: CID රැඳවුම් භාරයේ සිටියදී මානව හිමිකම් කොමිසම කර ඇති නිරීක්ෂණ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
පාස්කු ප්‍රහාර මාලාවේ තුන්වන සැකකරු ලෙස නම් කර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ රඳවා සිටින හිටපු බුද්ධි ප්‍රධානී (විශ්‍රාමික) මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.
එය සිදුකරන ලද්දේ අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයන් පිළිබඳව පරීක්ෂා කර බැලීමට මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැවරී ඇති කාර්ය පටිපාටියේ කොටසක් ලෙස බව කොමිසමේ කොමසාරිස්, නීතිඥ නිමල් පුංචිහේවා බීබීසී සිංහල වෙත පැවසීය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධව පරීක්ෂා කරන ලද්දේ ඔහු අත්අඩංගුවට ගත් මුල් කාලයේදී බවයි.
'පාතාලයේ කියන අයගේ රැඳවුම් බලන්නත් අපේ අය යනවා'
පසුගිය කාලයේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් යැයි හඳුන්වන පිරිස් ද එසේ මානව හිමිකම් කොමිසම මගින් නිරීක්ෂණයට ලක් කරන බව ද නීතිඥ නිමල් පුංචිහේවා කියා සිටියේය.
"අත්අඩංගුවට ගත්ත අවස්ථාවේ ම වගේ අපේ කණ්ඩායම් යැව්වා එතන බලන්න. එයා විතරක් නෙමෙයි පාතාලයේ කියන අයගේ රැඳවුම් බලන්නත් අපේ අය යනවා අපේ කාර්යයක් හැටියට."
එලෙස, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් නිරීක්ෂණයට ගිය අවස්ථාවේ දී හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රඳවා සිටි බවත් ඔහුගෙන් ද මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබූ බවත් කොමසාරිස්වරයා කියා සිටියේය.
මෙලෙස පරීක්ෂාවට ලක් කරන ලැබුවේ හිටපු බුද්ධි ප්‍රධානී අත්අඩංගුවට ගෙන සතියට පමණ පසුව බව ද කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා බීබීසී සිංහල වෙත පැවසීය.
සිරකුටිවල වාතාශ්‍ර ගැටලුවක්
එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පුද්ගලයන් රඳවා සිටින සිරකුටිවලට වාතාශ්‍රය ලැබීමේ ගැටලුවක් තම නිලධාරීන් නිරීක්ෂණය කළ බව ද කොමසාරිස්වරයා කියා සිටියේය.
"ඒ සියලුම සෙල්වල පොදු ප්‍රශ්නයක් හැටියට දැකලා තියෙනවා අපේ නිලධාරීන් වාතාශ්‍රය ලැබීම වගේ ප්‍රශ්න. ඒක එක්කෙනෙකුට විතරක් නෙමෙයි සියලුම සෙල්වලට පොදුවේ අදාළ එකක්. ඒක පොදුවේ වෙනස් වෙන්න ඕනේ."
කෙසේ වෙතත් එම නිරීක්ෂණ සම්බන්ධව මෙතෙක් බලධාරීන්ට කිසිවක් දන්නවා නොමැති බවත් එසේ දැනුම් දීමට අවශ්‍ය වුවහොත් පොදු මාර්ගෝපදේශ ඔස්සේ ඒ බව දැනුම් දෙන බවත් ඔහු පැවසීය.
වධහිංසා කිරීම ගැන පැමිණිල්ලක් ලැබුණා ද?
හිටපු බුද්ධි ප්‍රධානී මේජර් තුවාන් සුරේෂ් සලේහට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු භාරයේ සිටිය දී වධහිංසා කළ බවට පැමිණිල්ලක්, මානව හිමිකම් කොමිසමට ලැබී තිබේ දැයි බීබීසී සිංහල නීතිඥ නිමල් පුංචිහේවාගෙන් විමසීමක් කළේය.
"වධහිංසා කළා කියලා සෘජුව නැහැ, හැබැයි අවමන් සහගත ලෙස සැලකුවා කියන එක තමයි කියන්නේ." යැයි ඔහු ඊට පිළිතුරු දෙමින් පැවසීය.
සුරේෂ් සලේගේ බිරිඳ විසින් අදාළ පැමිණිල්ල මානව හිමිකම් කොමිසම වෙත යොමු කර ඇති බව ද කොමසාරිස්වරයා පැවසීය.
සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ රඳවා සිටින අවස්ථාවේ දී මානව හිමිකම් කොමිසම කළ නිරීක්ෂණයේදී පහර දීමක් ගැන ඔහු ප්‍රකාශ කර නොමැති බවත් කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා බීබීසී සිංහල වෙත වැඩිදුරටත් පැවසීය.
සුරේෂ් සලේ බලන්න මානව හිමිකම් කොමිසම රෝහලට
ඒ අනුව, අදාළ පැමිණිල්ල පිළිබඳව විමර්ශන සිදුවන බවත් දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ පිළිබඳව සොයා බැලීමට මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් රෝහල වෙත ගිය බව ද කොමසාරිස්වරයා කියා සිටියේය.
ඊට අමතරව එම විමර්ශනයට අදාළව ඔහු රඳවා සිටි සිරකුටිය අසළ ඇති සිරකුටිවල සිටින අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කළ බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්, නීතිඥ නිමල් පුංචිහේවා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගැනීමේ සිට රෝහල් ගත වීම දක්වා
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක සුරේෂ් සලේ පෙබරවාරි 25 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන් පසුව අවස්ථා කිහිපයක දී අධිකරණයෙන් ලබා ගත් රැඳවුම් නියෝග මත ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කර සිටි අතර පසුව ඔහු ආහාර ගැනීම වර්ජනය කිරීමත් සමග ඇතිවූ තත්ත්වය මත රෝහල් ගත කෙරුණි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී ඔහුට අමානුෂික අයුරින් සලකන බවට සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස ඉල්ලමින්, මෙම උපවාසය ආරම්භ කළ බව ඔහුගේ පවුලේ ඥාතීන් මාධ්‍ය වෙත පැවසීය.
එලෙස මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද සුරේෂ් සලේ වෛද්‍ය උපදෙස් මත ජුනි 07 වෙනිදා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඔහු තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.































