පාස්කු ප්‍රහාරය: හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩුවේ තීන්දුවට දින නියම වෙයි

පූජිත් ජයසුන්දර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ ඇති නඩුවේ තීන්දුව ජූලි මස 31 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ ය.

මෙම නඩුව සිකුරාදා (ජූලි 12) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය.

එම නඩුවේ වාචික හා ලිඛිත දේශන මේ වන විට පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කර අවසන් කරනු ලැබ ඇත.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නඩුවේ තීන්දුව ජූලි මස 31 වන දා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල නිවේදනය කළේ ය.

මේ අතර, මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනු කර තිබූ නඩුව ද සිකුරාදා (ජූනි 12) කැඳවූ අතර එහිදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා දේශන ඉදිරිපත් කළේ ය.

ඉන් අනතුරුව විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරළ දේශන ඉදිරිපත් කළ අතර ඔහුගේ වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම ලබන සඳුදා (ජූනි 15) දක්වා කල් තැබීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.