මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනමක්: දුටු තැන අල්ලන බව අධිකරණයට දන්වයි

 මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව

ඡායාරූප මූලාශ්‍රය, Dilantha Malagamuwa / Facebook

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

කොළඹ ප්‍රදේශයේ ඉඩම් සඳහා කූඨ ලෙස ලේඛන සකස් කර ඒවා මුදලට විකිණීමේ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා මත මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනකුට විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම විදෙස් ගමන් තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

කූඨ ලේඛන සකස් කර කොළඹ ඇතුළු ප්‍රදේශවල ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන විකිණීමේ මහා පරිමාණ ජාවාරමකට ඔවුන් සම්බන්ධ බවට තොරතුරු ඇති බැවින්, ඔවුන් රටින් පිටව ගියහොත් විමර්ශන කටයුතුවලට බාධා විය හැකි බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගනිමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම විදෙස් ගමන් තහනම් නියෝග නිකුත් කළේ ය.

අදාළ පුද්ගලයින් දිගින් දිගට ම අධිකරණය මග හරිමින් සිටින බැවින්, දුටු තැන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, ඔවුන් රටින් පිටව ගියහොත් විමර්ශන කටයුතුවලට බාධා විය හැකි බැවින් රටින් පිටවීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට අමතරව, මෙලෙස විදෙස් ගමන් තහනම් කරන ලද්දේ ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර යන අයට ය.

කොළඹ, බාන්ස් පෙදෙසේ අංක 18 දරන, පර්චස් 43කින් යුත්, රුපියල් කෝටි 250කට වඩා වටිනා ඉඩමක් රුපියල් බිලියනයක මුදලකට ප්‍රසිද්ධ වාහන අලෙවි සමාගමකට විකිණූ බව කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

හොර ඔප්පු සෑදීමේ සංවිධානාත්මක කල්ලියකට මෙම පුද්ගලයින් සම්බන්ධව කටයුතු කර ඇද්ද යන්න පිළිබඳ කරුණු තහවුරු කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බවත්, එම විමර්ශන කටයුතු අතරතුර ඔවුන් හොර රහසේ රටින් පිටව ගියහොත් විමර්ශන කටයුතුවලට පිරිමැසිය නොහැකි බාධා ඇතිවිය හැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේ ය.

අදාළ පුද්ගලයින් සොයා ඔවුන් පදිංචි ස්ථානවලට ගිය ද, ඔවුන් එම ස්ථානවල නොසිටි බවත්, ඒ හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින්, ප්‍රශ්නගත කොළඹ බාන්ස් පෙදෙසේ අංක 18 දරන ඉඩමට කූඨ ලේඛන සකස් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින ආරියපාල දිසානායක නමැත්තා සමග මෙම පුද්ගලයින් කුමන්ත්‍රණය කළ බවට කරුණු අනාවරණය වන බව සඳහන් කළේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දිසානායක නමැත්තා විසින් සකස් කරන ලද බව කියන ව්‍යාජ ඔප්පුවක් මගින් 2026 ජුනි 05 වන දා එම ඉඩම සමාගම් තුනකට විකුණා ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඉඩම එලෙස පැවරීමේදී ලැබුණු මුදලින් ධාවන ශූර ඩිලන්ත මාලගමුවට ලැබිය යුතුව තිබූ රුපියල් කෝටි 50ක මුදල වෙනුවට වාහන 14ක් ලබා දී ඇති බවත්, එලෙස ලැබුණු වාහන 14න් වාහන හතක් දෙවැනි පුද්ගලයාට ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

එමෙන් ම, රක්ෂිත බන්ධනාගාරගතව සිටින ආරියපාල දිසානායක නමැත්තාගේ ඇටර්නි බලකරුවන් ලෙස කටයුතු කර ඇත්තේ, ශාන්ත විතාන ගමගේ සහ ඩෙස්මන්ඩ් අමරසිංහ යන අය බව ද හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ ය.

අදාළ පුද්ගලයින්ගේ නම්වලින් පවත්වාගෙන යන බැංකු හා මූල්‍ය ආයතනවල ගිණුම්වලට අදාළ මුදල් තැන්පත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින්, ඔවුන්ගේ නම්වලින් පවත්වාගෙන යන ගිණුම් පිළිබඳ විස්තර ලබාදෙන ලෙස බැංකු හා මූල්‍ය ආයතන 89කට නියෝග කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ ය.

ගිණුම් වාර්තා කැඳවීමට අවසර ලබා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ ගිණුම් තොරතුරු රහස් පොලිසියට ලබාදෙන ලෙස බැංකු හා මූල්‍ය ආයතන 89ක කළමනාකරුවන්ට නියෝග කළේ ය.

සැකකාර ආරියපාල දිසානායක නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින්, වයෝවෘද්ධව දැඩි රෝගී තත්ත්වයක පසුවන තම සේවාදායකයාට විමර්ශන කටයුතුවලට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට නොහැකි බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ධාවන ශූර ඩිලන්ත මාලගමුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් ජයවර්ධන කරුණු දක්වමින්, තම සේවාදායකයා පොලිසිය මඟහැර ගොස් නොමැති බවත්, තදබල හෘද රෝගී තත්ත්වයකින් පසුවන ඔහු ශල්‍යකර්මයකට මුහුණ දීම සඳහා රෝහල්ගතව සිටි බවත්, මේ වන විට ඔහු නිවසේ සිටින බවත් පැවසීය. කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු සූදානම් බව ද නීතිඥවරයා සඳහන් කළේ ය.

අනෙකුත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින්, තම සේවාදායකයින් ද පොලිසිය මගහැර නොමැති බවත්, ප්‍රකාශ ලබාදීමට ඔවුන් සූදානම් බවත් පැවසූහ. රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුගේ ඇටර්නි බලකරුවන් වන තම සේවාදායකයින්, දිසා අධිකරණයේ නඩු තීන්දුවකින් පසු ප්‍රශ්නගත බව කියන ඉඩම සමාගම් වෙත විකුණා ඇති බව ද ඔවුහු සඳහන් කළහ.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතුවල ප්‍රගතිය ඔක්තෝබර් 29 වන දා අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කළේ ය.

ඩිලන්ත මාලගමුව තැබූ සටහන

මේ අතර, ඩිලන්ත මාලගමුව සිය නිල ෆේස්බුක් පිටුවෙහි මේ සම්බන්ධයෙන් සටහනක් තබා තිබිණි.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post