'සියවසේ අවමංගල්‍යය': ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයේදී දින 7ක් පුරා සිදුවන්නේ කුමක් ද?

    • Author, මසූද් අසාර්
    • Role, බීබීසී පර්සියානු සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් දින කිහිපයක් පුරා මහජන ශෝක උත්සව සහ අවමංගල්‍ය පෙරහැර ආරම්භ කර ඇති අතර, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කළ ප්‍රහාරවලින් ඔහු මිය ගොස් මාස 4කට වැඩි කාලයක් ගතවී ඇත.

ඉරාන නිලධාරීහු එය "සියවසේ අවමංගල්‍යය" ලෙස හඳුන්වති.

හිටපු උත්තරීතර නායකයාගේ දේහය ලබන බ්‍රහස්පතින්දා ඔහුගේ උපන් ගම වන මෂාඩ්හි භූමදානය කිරීමට පෙර සිකුරාදා (ජූලි 03) සිට ටෙහෙරාන්හි ග්‍රෑන්ඩ් මොසල්ලාහි තැන්පත් කර තිබෙනු ඇත.

සෙනසුරාදා (ජූලි 04) ටෙහෙරාන්හිදී නිල අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට නියමිත ය.

ඉරාන බලධා‍රීන් පවසන්නේ, මිලියන 12 ත් 20 ත් අතර පිරිසක් මේ සඳහා සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන බව ය. ඉරානයේ රාජ්‍ය උත්සවයක් වෙනුවෙන් සිදු කෙරෙන පෙර නොවූවිරූ මට්ටමේ සූදානමක් මේ සඳහා තිබේ.

  • බැතිමතුන් සඳහා ඉදි කෙරෙන දහස් සංඛ්‍යාත සේවා කඳවුරු (මව්කිබ්)
  • මිලියනයකට අධික අමුත්තන් පිරිසකට නවාතැන් පහසුකම්
  • මේ සඳහා සහභාගී වන ජනතාව පාලනය සඳහා ටෙහෙරානයේ මධ්‍යම ප්‍රදේශය හරහා ගමන් මාර්ග සැලසුමක්

ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ ප්‍රධාන පළාත් ඒකකය වන ටෙහෙරාන් පදනම් කර ගත් මොහමඩ් රසුලොල්ලා බළකාය මෙම උත්සවය සංවිධානය කිරීමට නායකත්වය දෙයි.

ටෙහෙරාන් වෙත පැමිණෙන ප්‍රමුඛ දේශපාලන, ආගමික සහ ආරක්ෂක පුද්ගලයින් කවුදැයි සියලු දෙනා ම ඉතා සැලකිල්ලෙන් බලනු ඇත. නමුත් ඇතැම් විශේෂඥයන් පවසන්නේ, පැමිණෙන අය මෙන් ම නොපැමිණෙන අයත් දේශපාලනික වශයෙන් වැදගත් පණිවිඩයක් ලබා දිය හැකි බව යි.

නිලධාරීන් පවසන්නේ රටවල් රැසක ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන්, කතානායකවරුන් සහ අමාත්‍යවරුන් ඇතුළු ප්‍රභූන් රැසක් උත්සවය සඳහා සහභාගී වනු ඇති බව ය. එය වාර්තා කිරීම සඳහා විදේශීය මාධ්‍යවේදීන් 800ක් පමණ සහභාගී වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ඉරාන බලධාරීන් අවමංගල්‍ය උත්සවයේ තේමා පාඨය ලෙස "අප නැගී සිටිය යුතුයි" යන්න ප්‍රකාශයට පත් කර තිබේ. එහි සංකේතය අත මිටමොළවා ගෙන සිටින අතකි.

දින 7ක් පුරා පැවැත්වෙන අවමංගල්‍යය උත්සවය සිකුරාදා ඉරාන වේලාවෙන් පෙරවරු 06.00ට ටෙහෙරාන් නුවර ග්‍රෑන්ඩ් මොසල්ලාහිදී ආරම්භ වන අතර ඉරිදා පස්වරුව දක්වා අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව සලසා තිබේ.

මොහමඩ් රසුලොල්ලා බළකායේ අණදෙන නිලධාරී හසන් හසන්සාදේ ප්‍රකාශ කළේ, කමේනිගේ දේහය උස් වේදිකාවක තැන්පත් කරනු ඇති අතර, අමුත්තන්ට විනාඩි 15 - 20ක් ඇතුළත ඇතුළු වී පිටව යාමට ඉඩ සැලසෙන පරිදි ජනකාය හසුරුවන බව ය.

ලබන අඟහරුවාදා, අවමංගල්‍ය උත්සවයේ කටයුතු ටෙහෙරාන් නුවර දකුණු ප්‍රදේශයේ පිහිටි කොම් නගරය වෙත රැගෙන යනු ඇත. එහි පිහිටි ඉරානයේ වඩාත් ම ප්‍රමුඛ සහ සංකේතාත්මක ආගමික ස්ථානයක් වන ජම්කරන්හිදී ජ්‍යෙෂ්ඨ ෂියා ආගමික නායකයෙකු අවමංගල්‍ය උත්වසයේ යාච්ඤා කටයුතු මෙහෙයවනු ඇත.

ලබන බදාදා දිනයේදී කමේනිගේ දේහය ඉරාකයේ නජාෆ් වෙත රැගෙන යාමට නියමිත ය. ෂියා ඉස්ලාම් දහමේ පළමු ඉමාම්වරයා වූ ඉමාම් අලිගේ සිද්ධස්ථානයේ පැවැත්වෙන පෙරහැරකින් අනතුරුව ආගමික උත්සව කටයුතු කර්බාලාහිදී පැවැත්වීමට නියමිත අතර අනතුරුව දේහය නැවත ඉරානය වෙත රැගෙන එනු ඇත.

ඉරාන බලධාරීන් පවසන්නේ, මෙම අවමංගල්‍ය උත්සවය සංවිධානය කිරීමේදී ඉරාකයේ කණ්ඩායම්වලින් ලද ඉල්ලීම් ද සැලකිල්ලට ගනිමින් සංවිධානය කළ බව ය. ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙමගින් ෂියා මුස්ලිම් ලෝකය පුරා පැතිර තිබූ කමේනිගේ බලපෑම සහ කලාපය පුරා පවතින ඉරානයේ ආගමික හා දේශපාලන සබඳතා පෙන්නුම් කරන බව ය.

අවමංගල්‍ය උත්සවය සැලසුම් කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා බැග්ඩෑඩ් නුවර සංචාරයක නිරත වූ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවමංගල්‍ය උත්සවයේ "සංකේතාත්මක වැදගත්කම'' පිළිබඳව ප්‍රකාශ කළේ ය.

එළඹෙන බ්‍රහස්පතින්දා කමේනිගේ දේහය ඔහු උපන් නගරය වන මෂාඩ්හි පිහිටි ඉමාම් රේසා සිද්ධස්ථානයේදී භූමදානය කෙරෙනු ඇත. ෂියා ඉස්ලාම් දහමේ අට වන ඉමාම්වරයාගේ සොහොන් ගැබ පිහිටි එම ස්ථානය ඉරානයේ වඩාත් ම වැදගත් ආගමික සිද්ධස්ථානයක් වන අතර සෑම වසරකදී ම සංචාරකයින් මිලියන සංඛ්‍යාත පිරිසක් එහි පැමිණෙති.

ශෝකය ප්‍රකාශ කිරීම වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් දින 40ක් පුරාවට රට පුරා පැවැත්වෙන අතර ඔහුගේ දේහය මිහිදන් කිරීමේ පළමු සංවත්සරය පැවැත්වෙන තෙක් අනුස්මරණ වැඩසටහන් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

කමේනිගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන්නේ, ඉස්ලාමීය ජනරජය සැලකිය යුතු දේශපාලන හා සාමාජීය අභියෝගවලට මුහුණ දෙමින් සිටින අවස්ථාවකදී ය.

විශ්ලේෂකයින් පවසන්නේ, මතවාදී දේශපාලන පද්ධතිවල නායකයින්ගේ අවමංගල්‍ය කටයුතු දේශපාලනික මෙන් ම ආගමික අරමුණු සඳහා ද භාවිත වන බව ය.

ඇතැමුන් මෙම උත්සව දකින්නේ ඉරාන රජයට එකමුතුකම ප්‍රදර්ශනය කිරීමට සහ ඔවුන්ගේ මතවාද තහවුරු කිරීමට ලැබුණු අවස්ථාවක් ලෙස ය. කමේනිගේ පාලනයෙන් පශ්චාත් කාලයේ බලය ස්ථාපනය කිරීමට සහ ඔහුගේ පුත්‍රයා මෙන් ම අනුප්‍රාප්තිකයා ද වන මොජ්තාබා වෙත සහයෝගය පළ කිරීම සඳහා ඔවුන්ට මෙහිදී සංකේතාත්මක භූමිකාවක් ඉටු කළ හැක.

නමුත් අනෙක් පිරිස අනතුරු අඟවන්නේ, මෙවැනි මහා පරිමාණ ඒකරාශී කිරීමකින් ඔවුන් තුළ පවතින ගැඹුරු දේශපාලන හා සමාජීය බෙදීම් විසඳාගත නොහැකි වනු ඇති බව ය.

උත්සව සඳහා පුළුල් සැලසුම් තිබුණ ද මොජ්තාබා සහ ඔහුගේ සහෝදර සහෝදරියන් ඔවුන්ගේ පියාගේ දේහය භූමදානය කිරීමේ අවස්ථාව සඳහා සහභාගී වේ ද? යන්න ඇතුළු ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තවදුරටත් පවතී.

පසුගිය වසරේ පැවති දින 12ක යුද්ධයෙන් අනතුරුව කමේනිගේ පුත්‍රයින් ප්‍රසිද්ධියේ දැක ගැනීමට නොලැබිණි. 2026 පෙබරවාරි 28 වන දින එල්ල වූ ප්‍රහාරයකින් බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු මිය ගිය බවට වාර්තා වීමෙන් පසුව මොජ්තාබාගේ සෞඛ්‍යය පිළිබඳව ද පවතින්නේ අවිනිශ්චිතතාවකි.

අවමංගල්‍ය උත්සවයේ සංවිධාන කමිටුවේ ලේකම් අලි අක්බර් පූර්ජම්ෂිඩියන් ජූනි 30 වන අඟහරුවාදා ප්‍රකාශ කළේ, මොජ්තාබාගේ සහභාගීත්වය පිළිබඳ ඕනෑ ම තීරණයක් සන්නද්ධ බළකායේ ප්‍රධාන අණදෙන නිලධාරී කාර්යාලය සහ උත්තරීතර නායක කාර්යාලය මගින් නිවේදනය කරනු ඇති බව ය.

පිළිතුරක් නොමැති අනෙක් ප්‍රශ්නය වන්නේ, අවමංගල්‍ය උත්වසයේ ප්‍රධාන යාච්ඤාව මෙහෙයවන්නේ කවුද යන්න ය. ෂියා මුස්ලිම් සම්ප්‍රදාය තුළ මෙම භූමිකාව ආගමික සහ දේශපාලනික වැදගත්කමක් දරයි. ඇතැම් නිරීක්ෂකයන් පවසන්නේ, මොජ්තාබා ප්‍රසිද්ධියේ පෙනී සිටීම ඉරානයේ අනාගත නායකත්වය පිළිබඳ සංඥාවක් ලෙස අර්ථකථනය කළ හැකි බව ය.