අනුරාධපුර වෛද්‍යවරියගේ පියා අධිකරණය හමුවේ කළ හෙළිදරව්ව

අනුරාධපුර රෝහල
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

අවවාදය යි: සංවේදී තොරතුරු සහිත යි!

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිය නිල නිවස තුළදී බරපතළ ලිංගික අපරාධයක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා, මහාධිකරණයෙන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැර සිටින අතරතුර, වෙනත් සමාන චෝදනාවකට අදාළව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව රක්ෂිත බන්ධනාගාරගතව සිටින විත්තිකාර හිටපු යුද්ධ හමුදා සෙබළාට අනුරාධපුර මහාධිකරණය මගින් මීට පෙර නියම කර තිබූ ඇප අවලංගු කිරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක නියෝග කළේ ය.

මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, වෛද්‍යවරියට ලිංගික අපරාධයක් කිරීමේ සිද්ධියට අදාළව මහාධිකරණයෙන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැර සිටින අතරතුර විත්තිකරු සමාන වරදක් සිදු කිරීමේ චෝදනාවට ගල්නෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන, කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ය.

ඒ අනුව විත්තිකරු මහාධිකරණය මගින් පෙර නියම කළ ඇප කොන්දේසි කඩ කර ඇති බව ද දැනුම් දුන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය, මෙම කරුණු සැලකිල්ලට ගෙන විත්තිකරුගේ පෙර ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තුරු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා ය.

විත්තිකරු වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ සුරංග මොහොට්ටි කියා සිටියේ, විත්තිකරුට ඇප නියම කළ අවස්ථාවේ අධිකරණය ඉතා සාධාරණව අවධානය යොමු කොට ඔහුට ඇප නියම කළ බව ය. එහෙත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටීමේ යම් සීමාවක් තමාට පවතින බව ද සඳහන් කළ නීතිඥවරයා, විත්තිකරු වෙනත් නඩුවකට අදාළව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බවත්, ඒ අනුව විත්තිකරුගේ ඇප අවලංගු කරන්නේ ද නැද්ද යන්න අධිකරණයේ අභිමතය පරිදි සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේ ය.

විත්තිකරුට පෙර නියම කර තිබූ ඇප අවලංගු කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කිරීමෙන් අනතුරුව, නඩුවේ 4 වන සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි, වින්දිත වෛද්‍යවරිය සේවය කළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් සහ රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්තිගේ සාක්ෂි මෙහෙයවීම මත පැයකට අධික කාලයක් සාක්ෂි ලබා දුන්නා ය.

අනතුරුව වින්දිත වෛද්‍යවරියගේ පියාගෙන් සාක්ෂි විමසීම ආරම්භ විය. පුහුණු විශේෂඥ වෛද්‍යවරියක වන තම දියණිය බරපතළ ලිංගික අපරාධයක් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි ලබා දෙමින් වින්දිත වෛද්‍යවරියගේ පියා ප්‍රකාශ කළේ, තම දියණිය මීට පෙර සේවය කළ ත්‍රිකුණාමලය සහ කුලියාපිටිය රෝහල්වල ඇයට නිසි ආරක්ෂාවක් තිබූ බව ය. ජීවිතයේ සෑම අවස්ථාවක ම තම දියණිය තමන් විසින් ආරක්ෂා කරනු ලැබූ බවත්, එහෙත් මෙම සිද්ධියේදී දියණිය ආරක්ෂා කර ගැනීමට තමන්ට නොහැකි වූ බවත් පවසා සිටි වින්දිත වෛද්‍යවරියගේ පියා, තම දියණිය නවාතැන් ගෙන සිටි අනුරාධපුර ශික්ෂණ රෝහලේ තනිකඩ වෛද්‍ය නිල නිවස තුළ ඇයට කිසිදු ආරක්ෂාවක් තිබී නැති බවත් කියා සිටියේ ය.

මෙම සිද්ධියෙන් පසුව තමා පැමිණ බලන විට පමණක් වෛද්‍ය නිල නිවාස අවට ගස්වල අතු කපා, ෆ්ලෑෂර් (Flasher) විදුලි බුබුළු සවි කොට දල්වා වෛද්‍ය නිල නිවාස අවට ආලෝකවත් කොට තිබූ බව ද වෛද්‍යවරියගේ පියා සඳහන් කළේ ය. වෛද්‍ය නිල නිවාස සහ ඒවායේ නවාතැන් ගෙන සිටින වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිපාලනය කිසිදු තැකීමක් සිදු කොට නොතිබූ බව ද ඔහු කියා සිටියේ ය.

මෙම සිද්ධියෙන් පසුව තම පවුල පිටින් ම විදේශගත වීමේ සූදානමක් තිබූ බව ද ප්‍රකාශ කළ වෛද්‍යවරියගේ පියා සඳහන් කළේ, එහෙත් ශ්‍රී ලංකාවේ ම ජීවත් වෙමින් මෙරට ජනතාවට සේවය කරන බවට දියණිය තීරණය කළ නිසා ශ්‍රී ලංකාවේ ම රැඳී සිටීමට තීරණය කළ බව ය.

අස්වාභාවික ලිංගික හිංසනය සම්බන්ධයෙන් තවත් චෝදනාවක්

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම නඩුවේ වැඩිදුර විභාගය මේ මස 30 වන දින දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා, සාක්ෂි ලබා දීමට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නඩුවේ 39 වන සාක්ෂිකරු ලෙස නම් කර සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සම්පත් සේනතුංගට නියෝග කළේ ය.

මෙම නඩුකරයට අදාළව වින්දිත වෛද්‍යවරියගෙන් සාක්ෂි විමසීම සහ හරස් ප්‍රශ්න විමසීම අවසන් කර තිබේ. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය මීට පෙර අධිකරණයට දැනුම් දුන්නේ, විත්තිකරුට එරෙහිව දැනට පවතින අධිචෝදනා දෙකට අමතරව තවත් අධිචෝදනාවක් ගොනු කරන බව ය. ඒ අනුව වෛද්‍යවරියට අස්වාභාවික ලිංගික හිංසන සිදු කළ බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 364(2)(අ) වගන්තිය ප්‍රකාරව තවත් අධිචෝදනාවක් ද ගොනු කෙරිණි.

මෙම සිදුවීමෙන් පසු විත්තිකාර හිටපු යුද්ධ හමුදා සෙබළා පැහැරගෙන ගොස් ගල්නෑව ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබූ නවීන ස්මාර්ට් ජංගම දුරකතනයට අදාළ රස පරීක්ෂණ වාර්තාව සහ වෛද්‍යවරියගේ ජංගම දුරකතනයට අදාළ දුරකතන විශ්ලේෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ඒ, මීට පෙර මහාධිකරණ විනිසුරුවරයා දී තිබූ නියෝගයකට අනුව ය.

2025 වසරේ මාර්තු මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් අනුරාධපුරයේදී පැමිණිලිකාර වින්දිත වෛද්‍යවරියට හිරිහැර කර අපරාධයක් කළ හෙයින් 1995 අංක 22 සහ 2006 අංක 16 දරන (සංශෝධිත) දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය ප්‍රකාරව ද, ඉහත කී වේලාවේ ඉහත කී ස්ථානයේදී හා ක්‍රියාකලාපයේදී ම පැමිණිලිකාර වින්දිත වෛද්‍යවරිය දූෂණය කිරීමෙන් 1995 අංක 22 දරන (සංශෝධන) පනත මගින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 364(1) වගන්තිය ප්‍රකාරව ද නීතිපතිවරයා විසින් විත්තිකාර හිටපු යුද්ධ හමුදා සෙබළාට එරෙහිව මෙලෙස අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබේ.

සාක්ෂිකරුවන් 42ක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරියකට බරපතළ ලිංගික අපරාධයක් කළ බවට අධිචෝදනා ලබා සිටින්නේ, ගල්නෑව නව නගරය, ඩී තුන ඇළ පාර ලිපිනයේ පදිංචි කේ. බී. මධුරංග රත්නායක නමැති හිටපු යුද්ධ හමුදා සෙබළෙකු මෙන් ම සිවුරු හැරී තැනැත්තෙකි. මෙම අපරාධයට අදාළව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන මූලික නඩු විභාගයක් නොපවත්වා, මෙම නඩුකරය විශේෂ නඩු කටයුත්තක් සේ සලකා විත්තිකාර හිටපු හමුදා සෙබළාට එරෙහිව නීතිපතිවරයා ඍජුව ම අනුරාධපුර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළේ ය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සම්පත් සේනතුංග, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර, අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශානි සෙනෙවිරත්න, උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද යන පිරිස සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පිරිසක්, වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ සිවිල් පුද්ගලයින් ඇතුළු 42 දෙනෙක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

ජංගම දුරකතනයක්, පිහියක්, ඇඳුම් කිහිපයක්, ඇඳ ඇතිරිල්ලක්, කෙස් සාම්පල කිහිපයක්, රුධිර සාම්පල, අධිකරණ වෛද්‍ය වාර්තාවක්, රජයේ රස පරීක්ෂක වාර්තාවක්, රජයේ රස පරීක්ෂක සංදේශයක්, ජීන්ටෙක් (Genetech) වාර්තාවක්, ජීන්ටෙක් ආයතනයේ සංදේශයක්, හඳුනාගැනීමේ පෙරට්ටුවක වාර්තාවක් සහ දේපළ කුවිතාන්සි කිහිපයක් මෙම නඩුවේ නඩු භාණ්ඩ ලෙස නම් කර තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති සමග රජයේ අධිනීතිඥ නිරෝද් ද සිල්වා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුරංග මොහොට්ටි පෙනී සිටියේ ය. වින්දිත වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්සගේ උපදෙස් මත නීතිඥවරුන් වන සුභාෂණී වීරක්කොඩි, කූජන බානගොඩ සහ ජනිත් මහසෙන් යන අය පෙනී සිටියහ. නීතිපතිවරයා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ අකිලා දල්පතාදු පෙනී සිටියා ය. විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත්තේ, 2026 මැයි මස 22 වන දින ය.

ස්ත්‍රී දූෂණයකදී දැනුම් දෙන්න

ස්ත්‍රී දූෂණයක්, කාන්තා හෝ ළමා හිංසනයක් පිළිබඳව දැනුම් දීම සඳහා ගාස්තු රහිත ක්ෂණික දුරකතන අංක කිහිපයක් හඳුන්වා තිබේ.

එම අංක මෙසේ ය.

109 - පොලිස් ළමා හා කාන්තා කාර්යංශය

1929 - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

1938 - කාන්තා කටයුතු අමාත්‍යංශය