පාස්කු ඉරිදා ප්‍රහාරය: 'මරණීය දණ්ඩනය පිළිගන්නේ නැහැ' - කතෝලික සභාව

ඡායාරූප මූලාශ්‍රය, LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම හිමිව ඇති පසුබිමක මරණ දණ්ඩනය පිළිනොගන්නා බව කාදිනල් හිමියන් ප්‍රකාශ කර තිබේ.
"කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුව මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව පැහැදිලි කිරීමට අපි කැමැත්තෙමු. මන්ද එයින් මානව ගරුත්වය උල්ලංඝනය වන බැවිනි," යනුවෙන් අගෝස්තු 10 වන දා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
කතෝලික දහමේ ඉගැන්වීම තුළ කිසිදු ලෙසකින් මරණීය දණ්ඩනය පැනවීම සම්බන්ධයෙන් එකඟ වීමට නොහැකි මුත් ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි පූර්ණ විශ්වාසය තබන බව මෙන් ම එහි තීරණවලට හෝ සාකච්ඡාවන්ට හෝ කිසිදු ආකාරයකින් මැදහත් වීමට තීරණය නොකරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
'කතෝලික සභාව පළිගැනීම සොයා යන්නේ නැහැ'
කොළඹ අගරදගුරු පදවිය පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සමග පුර්ණ සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කරමින් සිටින බව අවධාරණය කරන කාදිනල් හිමියන්, කතෝලික සභාව පළිගැනීම සොයා නොයන බව ද එමඟින් අවධාරණය කර තිබේ.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරු හෝ මහ මොළකරුවන් සහ සියලු පාර්ශවයන් හෙළිකර ගැනීම සහ රටේ නීතියට අනුව වින්දිතයින් හට යුක්තිය ඉටු කර දීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම කොළඹ අගරදගුරු පදවියේ දැඩි අපේක්ෂාව යැයි ද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Malcolm Cardinal Ranjith Archbishop of Colombo
'රටේ නීතියට අනුව තමයි අධිකරණය ක්‍රියා කරන්නේ'
කතෝලික සභාවේ සහ ධර්මෝපදේශයේ ඉගැන්වීම්වලට අනුව මරණ දඬුවම කතෝලික සභාව පිළිනොගන්නා බව මේ පිළිබඳව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමන් කියා සිටියේය.
"රටේ නීතියට අනුව තමයි අධිකරණය ක්‍රියා කරන්නේ. අධිකරණයේ ස්වාධීනත්වයට අපි ඇඟිලි ගහන්නේ නැහැ, අධිකරණයේ ස්වාධීනත්වය අපි විවේචනය කරන්නෙත් නැහැ, ඒකට එරෙහි වෙන්නේ නැහැ."
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් පවතී නම් එය සොයා ගැනීම සහ ඒ පිටුපස සිටින සියලු දෙනා හෙළිදරව් කිරීම කතෝලික සභාවේ ඉල්ලීම බව සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දුන්නේය.
'වඩා වැදගත් අපි හිතන්නේ මේක සොයා ගැනීම'
එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධව කතෝලික සභාව ඉල්ලා සිටින යුක්තිය ඉටුවීම පිළිබඳව ද උන්වහන්සේ බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේය.
"ස්වාධීන, විනිවිද පෙනෙන විමර්ශනයක් සිද්ධ වෙන්න ඕන. ඊට පස්සේ කටයුත්ත තියෙන්නේ අධිකරණයට, ඒ විමර්ශනවලින් සොයා ගන්න දේවල් අනුව, රටේ නීතියට අනුව අපරාධයක් යම් කෙනෙක් කරලා තියෙනවා නම් නීතිය ඉස්සරහට යන්න ඕන. එතකොට අධිකරණය විසින් තමයි තීරණය කරන්නේ කවුද හරි, කවුද වැරදි කියන එක. රටේ නීතියට අනුව දඬුවමක් ලැබෙනවා. ඒක අධිකරණයේ කාර්යභාරය."
"අපි කියන්නේ අධිකරණයේ ක්‍රමවේදය ස්වාධීනව සිදුවන දෙයක් ඒකට අපිට කාටවත් අත තියන්න බැහැ. නමුත් වඩා වැදගත් වෙන එක අපි හිතන්නේ මේක සොයා ගැනීම, ඊට පස්සේ නීතියට අනුව අධිකරණය ඉදිරියට ගෙනියන එක. ඒක තමයි යුක්තිය ඉටු කරනවා කියලා කියන්නේ." යැයි කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමන් පැවසීය.
'අපි සමාව දීලා තියෙන්නේ, සමාව දෙන එකේ ප්‍රශ්නයක් නැහැ'
"අපි සමාව දීලා තියෙන්නේ, සමාව දෙන එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් රටක නීතියක් තියෙනවානේ, නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනානේ." යනුවෙන් පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධ වැරදිකරුවන්ට සමාව දීමේ ස්ථාවරය පැහැදිලි කරමින් සිරිල් ගාමිණී පියතුමන් කියා සිටියේය.


































