ශ්‍රී ලංකාවට පැමිණි IMF නියෝජිතයින් ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින්ට පැවසුවේ මොනවා ද?

IMF නියෝජිත පිරිස සහ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, PMD

Published
කියවීමේ කාලය: මිනිත්තු 6

ජූනි 24 සිට 30 දක්වා කොළඹ නිල සංචාරයක නිරත වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිස, ඊයේ (ජූනි 30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී සාකච්ඡාවක නිරත වූහ.

බාහිර කම්පන රැසක් මධ්‍යයේ වුව ද සාර්ව ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම සහ විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන යටතේ වන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් රජය දක්වන කැපවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිසේ ප්‍රශංසාවට ලක්ව තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

IMF ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සොනාලි ජයින්-චන්ද්‍රාගේ (Sonali Jain-Chandra) ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිස, ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රතිසාධන ප්‍රගතිය සහ රටේ ඔරොත්තු දීමේ හැකියාව මෙහිදී බෙහෙවින් අගය කළ බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිචාරය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සහය ලබන වැඩසටහන් ක්‍රියාත්මක කරන අනෙකුත් බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව එම නියෝජිතයින් පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

බාහිර කම්පන මාලාවක් මධ්‍යයේ වුව ද සාර්ව ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් දැඩි ලෙස කැප වී සිටීම සම්බන්ධයෙන් නියෝජිත පිරිස රජයට සිය ප්‍රශංසාව පළ කළ බවත්, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගන්නා ඉදිරි පියවර සඳහා ද සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සහතික වූ බව එම නිවේදනයේ සඳහන් වේ.

පවතින බාහිර අභියෝග ජය ගැනීමටත්, මූල්‍ය සහ බාහිර තිරසරභාවය රැක ගැනීමටත්, ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට මෙන් ම කල් පවත්නා, සියල්ලන් ඇතුළත් කර ගත් ආර්ථික වර්ධනයක් සුරක්ෂිත කිරීමටත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි වේගය අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පැවසූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

IMF නියෝජිත පිරිස සහ ජනාධිපති අනුර කුමාර දිසානායක

ඡායාරූප මූලාශ්‍රය, PMD

ඡායාරූප ශීර්ෂ වැකිය, බාහිර කම්පන මාලාවක් මධ්‍යයේ වුව ද සාර්ව ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් දැඩි ලෙස කැප වී සිටීම සම්බන්ධයෙන් නියෝජිත පිරිස රජයට ප්‍රශංසාව පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක්

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මැදපෙරදිග කලාපයේ යුදමය වාතාවරණය ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි බලපෑම් එල්ල කර ඇති බව ය.

කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැංවීමට මෙන් ම ශක්තිමත්, කල් පවතින සහ සියලු දෙනාට ම ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීම සඳහා පාලන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයෙන් ම ක්‍රියාත්මක කළ යුතු බව IMF නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එමෙන් ම, බදු ක්‍රමයේ කාර්යක්ෂමතාව සහ සාධාරණත්වය වැඩිදියුණු කිරීම, වෙළෙඳ ප්‍රතිපත්ති ලිහිල්කරණය, ශ්‍රම වෙළෙඳපොළ ආශ්‍රිතව පවතින අභියෝග අවම කිරීම සඳහා මෙන් ම ආයෝජන ආකර්ෂණය කර ගැනීමට, රැකියා අවස්ථා නිර්මාණය කිරීමට මෙන් ම දරිද්‍රතා අනුපාතිකය පහත දැමීමට හැකි වන පරිදි ව්‍යාපාරික පරිසරය දියුණු කිරීම සඳහා දැඩි ප්‍රතිපත්ති අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර සිටියි.

බලශක්ති මිල ගණන් ඉහළ යාමත් සමග වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2026 වසරේ පෙබරවාරි මාසයේ පැවති සියයට 1.6ක අගයේ සිට 2026 වසරේ මැයි මාසය වනවිට සියයට 5.5ක් දක්වා ඉහළ ගිය බවත්, සංචාරක පැමිණීම් මන්දගාමී වූ අතර, දළ ජාත්‍යන්තර සංචිත එක්රැස් කිරීමේ වේගය ද පහත වැටුණ බවත් එහි සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම තහවුරු කිරීමට මෙන් ම රාජ්‍ය මූල්‍ය සහ විදේශීය අංශයේ තිරසරභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත් බවත්, 2026 වසරේදී ලිහිල් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියකට යොමු වීමෙන් අනතුරුව සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා 2027 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික ශේෂ ඉලක්කය වෙත නැවත ළඟා වීමට බලධාරීන් කැප වී සිටින බව එහි සඳහන් ය.

IMF අවධානය යොමු වූ සුවිශේෂී කරුණු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු කිහිපයක් පිළිබඳව ද දැනුම් දී තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් පසුව ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ යළි ගොඩනැංවීම ඵලදායීව සිදු කිරීම සඳහා ආපදා ආශ්‍රිත ආධාර ඇතුළු ප්‍රතිපාදන භාවිත කිරීමේදී පවතින ගැටලු නිරාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය බව IMF නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කර ඇත.

බදු අනුකූලතාව වැඩිදියුණු කිරීම, බදු පදනම පුළුල් කිරීම සහ හිඟ වියදම් නැවත ඇතිවීම වැළැක්වීම ඇතුළුව රාජ්‍ය මුදල් කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ප්‍රයත්න අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව ද IMF නිලධාරීන් සඳහන් කර තිබේ.

රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය වේගවත් කිරීම සහ පිරිවැය ආවරණය කෙරෙන බලශක්ති මිලකරණය පවත්වාගෙන යාම වැදගත් බවත් එමෙන් ම, අවදානමට ලක්විය හැකි පවුල් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාල නිසි පරිදි ඉලක්කගත කිරීම සහ ඒවායේ ආවරණය ප්‍රමාණවත් ලෙස පවත්වා ගැනීම කෙරෙහි බලධාරීන් ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත් ඔවුහු ප්‍රකාශ කර ඇත.

"ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය එහි අවසන් අදියරට ළඟා වෙමින් පවතින අතර, විචක්ෂණශීලී ණය කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, දේශීය ණය වෙළෙඳපොළ පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවට නැවතත් ක්‍රමයෙන් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට සහාය වීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ ආයතනික ධාරිතාව ඉහළ නැංවිය යුතු බව" ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඉහළ මට්ටමක පවතින ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ මිල ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා මුදල් ප්‍රතිපත්තිය විචක්ෂණශීලී, වෙනස්වන ආර්ථික තත්ත්වයන්ට කඩිනමින් හැඩගැසෙන සහ දත්ත මත පදනම් වූවක් විය යුතු බව එම IMF විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.

කම්පන හමුවේ, විදේශ සංචිත එක්රැස් කිරීම්වලට හානියක් නොවන පරිදි බාහිර වෙනස්වීම්වලට සහය වීම සඳහා විදේශ විනිමය අනුපාතිකය නම්‍යශීලී වීම ඉතා වැදගත් වන අතර, විදේශ විනිමය වෙළෙඳපොළ වෙත සිදු කරන මැදිහත්වීම අධික උච්ඡාවචන පාලනය කිරීමට පමණක් සීමා විය යුතු බවට ද මෙහිදී IMF නියෝජිතයින් සඳහන් කර ඇත.

ගෙවුම් තුලන සීමා ක්‍රමයෙන් ඉවත් කළ යුතු අතර ම මූල්‍ය ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා මෙහෙයුම් අවදානම් කළමනාකරණය, සයිබර් ආරක්ෂණය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධ පියවර ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මුහුණ දුන් අභියෝග ගැන ජනපති කියූ දේ

ආර්ථිකය ස්ථාවරභාවය ප්‍රමුඛතාවක් ලෙස පවතින අතර රජයේ අවසාන අරමුණ වන්නේ ආර්ථිකය යථාතත්ත්වයට පත් වීමේ ප්‍රතිලාභ ජනතාවට ඍජුව ම ලැබීමට සැලැස්වීම බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

ආර්ථික වර්ධනය, ජනතාවගේ ජීවනෝපාය සහ ජීවන තත්ත්වයන්හි දැනෙනසුලු දියුණුවක් බවට පරිවර්තනය කිරීම සඳහා සෑම උත්සාහයක් ම ගන්නා බව ද ජනපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පැවති සාකච්ජාවේදී වැඩිදුරටත් අවධාරණය කළේ ය.

IMF වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දුන් අභියෝග පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ, එක්සත් ජනපද තීරුබදු පැනවීම, දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ විනාශය සහ මැදපෙරදිග යුදමය තත්ත්වය ඇතුළු බාහිර කම්පන හේතුවෙන් බාධා සහ ප්‍රමාදයන් ඇති වූ බව ය.

එසේ වුව ද, සාර්ව ආර්ථික සහ සමාජීය ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා රජය කඩිනමින් පියවර ගත් බවත්, රට ප්‍රතිසාධන මාවතේ ස්ථිරව පවත්වාගෙන යාම සඳහා හැකි සෑම උත්සාහයක් ම තවදුරටත් ගනිමින් සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ තවත් වසරකටත් අඩු කාලයක් ඉතිරිව ඇති අතර, එම වැඩසටහන සාර්ථකව අවසන් කිරීම කෙරෙහි රජය අඛණ්ඩව අවධානය යොමු කර ඇති බවත්, ආර්ථික වර්ධනයේ සහ ස්ථාවරභාවයේ ප්‍රතිලාභ සියලු ම පුරවැසියන් වෙත ළඟා වන බව සහතික කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

දිගුකාලීනව තිරසර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුගත වීම අවශ්‍ය බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. එමෙන් ම ජනතාව මත අනවශ්‍ය බරක් ඇති නොකර ඔවුන්ට උපරිම ප්‍රතිලාභ අත්කර දෙන අයුරින් රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින සමීප සහ ධනාත්මක සබඳතාව පිළිබඳවද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අවධාරණය කළේ ය.

වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සමස්ත කාලය පුරා දෙපාර්ශවය ම සැලකිය යුතු නම්‍යශීලීභාවයක් පෙන්නුම් කර ඇති බවත්, එම අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව හේතුවෙන් ප්‍රතිසංස්කරණ වැඩසටහන බාධාවකින් තොරව සුමටව ඉදිරියට ගෙන යාමට හැකි වූ බවත් ජනපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.