වසර 7ක් අඩාළව පැවති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහි බැඳුම්කර නඩුව යළි කැඳවයි

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

වසර 7කට ආසන්න කාලයක් අඩාළව පැවති මහත් ආන්දෝලනයකට තුඩු දුන් 2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් මිලියන 688ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව නොවැම්බර් මස 02 වන දා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (සැප්: 09) නියම කළේ ය.

මෙම නඩුකරය අද දින කැඳවනු ලැබුවේ, ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී ය.

එම අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන, මුතුරජා සුරේන්ද්‍රන්, චිත්ත රන්ජන් හුළුගල්ලේ, පී. ගුණවර්ධන යන විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අදාළ නඩුකරයේ පළමු වන විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණය මගහැර සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් මීට පෙර වරෙන්තු ද නිකුත් කරන ලදී.

ඊට අමතරව ඔහු නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමටත් අධිකරණය මීට පෙර තීරණය කර තිබිණි.

'පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් නියෝජිතයෙක් නැහැ'

මෙම නඩුකරය අද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවීන් මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම නම් කර තිබෙන බවත් එම සමාගම වෙනුවෙන් නියෝජිතයෙකු පෙනී නොසිටින බවත් සඳහන් කළේ ය.

එම සමාගමේ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018 වසරේ තහනම් කෙරුණු බවත්, ඒ අනුව අදාළ සමාගම වර්තමානයේ ව්‍යාපාරික කටයුතු නොකරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ ය.

මේ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ සමාගම සඳහා නියෝජිතයෙකු පෙනී සිටීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු අද දිනට නියම වී තිබෙන පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය කල් තබන ලෙස යි.

ඒ අනුව, මෙම නඩුකරයට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් මස 02 වන දා දක්වා කල් තැබීමට ද අධිකරණය නියම කළේ ය.

2016 වසරේ පෙබරවාරි මස 27 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ තිබේ.