සිඟිති දරුවෙකු විකුණා අනියම් සැමියාට ජංගම දුරකතනයක් මිල දී ගත් මවක්

කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ දී මුදලට විකිණු සිඟිති දරුවා පොලිස් නිලධාරිනියක් සමග
කියවීමේ කාලය: මිනිත්තු 4

කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේදී සිඟිති දරුවෙකු මුදලට විකිණූ මවක ඇතුළු තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

වයස අවුරුදු දෙකක් වයසැති දරුවෙකු මෙසේ මුදලට විකිණීම සම්බන්ධයෙන් සැකපිට ධර්මපුරම් පොලිසිය දරුවාගේ මවගේ අනියම් ස්වාමි පුරුෂයා සහ මුදල් දී දරුවා ලබා ගත් කාන්තාව ද අප්‍රේල් 25 වන දා ධර්මපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මුදලට දරුවා ලබාගත් කාන්තාව කවුද?

කටුනායක, ඇවරියවත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක, දරුවාගේ මවට හා අනියම් ස්වාමි පුරුෂයා වෙත රුපියල් 40,000ක මුදලක් ලබා දී දරුවා ලබා ගෙන ඇතැයි ධර්මපුරම් පොලිසියේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවය වෙත පැවසීයත

එමෙන් ම ඔහු පැවසුවේ, දරුවාගේ මව යාපනයේ පදිංචිකාරියක වුව ද ඇයගේ අනියම් සැමියා ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වී සිටින බැවින් දරුවාගේ මව ද මේ වන විට ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටින බව අනාවරණය වී ඇති බව ය.

අදාළ සිදුවීම සම්බන්ධව එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හරහා පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අප්‍රේල් 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කිලිනොච්චි මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව ධර්මපුරම් පොලිසියේ අදාළ නිලධාරියා බීබීසී පුවත් සේවයට පැවසුවේ ය.

දරුවා විකුණා ලබා ගත් මුදලින් කළේ මොනවා ද?

දරුවා විකුණා ලබා ගත් මුදලින් අනියම් ස්වාමි පුරුෂයා රුපියල් 15,000ක් වටිනා ජංගම දුරකතනයක් මිලට ගෙන ඇති අතර, රුපියල් 10,000ක් වියදම් කර එම පවුලේ වයස අවුරුදු 4ක් වූ අනෙක් ගැහැනු දරුවාට අවශ්‍ය කරන ද්‍රව්‍ය මිලට ගෙන ඇති බව කරුණු අනාවරණය වී තිබේ. ඉන්පසු ඉතිරි මුදලින් මීට පෙර ලබා ගෙන තිබු ණයක් ගෙවා දැමූ බවට සැකකරුගෙන් සහ සැකකාරියගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

එමෙන් ම, වයස අවුරුදු 4ක් වූ අනෙක් ගැහැනු දරුවා තැලිසීමියා රෝගයට ගොදුරුව ඇති බැවින් ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කුඩා දරුවා මුදලට විකිණූ බව ප්‍රශ්න කිරීම්වලදී දරුවාගේ මව පොලිසියට ප්‍රකාශ කර ඇත.

දරුවා මිල දී ගැනීමට පැමිණි කාන්තාවට මෙම දරුවා පිළිබඳ තොරතුරු ලැබී ඇත්තේ කෙසේ ද? යන්න සහ මෙම සිදුවීමට අදාළ වෙනත් කරුණු සම්බන්ධව වැඩිදුරටත් විමර්ශන කරමින් පවතින බව ද අදාළ පොලිස් නිලධාරියා බීබීසී සිංහල වෙත පැවසීය.

 දරුවා රුපියල් 40,000කට මිලදී ගත් කාන්තාවට එම දරුවාගේ මව සහ අනියම් සැමියා ලිපියක් ලබාදෙන අයුරු දැක්වෙන ඡායාරූපය.

ඡායාරූප මූලාශ්‍රය, Provided

ඡායාරූප ශීර්ෂ වැකිය, දරුවාගේ මව සහ අනියම් සැමියා, දරුවා මිල දී ගත් කාන්තාව සමග සිටි ඡයාරූපයක්

දරුවා විකිණීම ගැන පොලිසියට පැමිණිලි කළ ග්‍රාම නිලධාරීවරයා

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කළ කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ පුදිය පුන්නයිනීරාවි ග්‍රාම නිලධාරී වසම භාර, ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි වූ අතර ඔහු අදාළ සිද්ධිය විස්තර කළේ ය.

"සෙනසුරාදා මම පාරේ යනකොට මිනිස්සු ගොඩක් හන්දියේ හිටියා. මම ඇහුවා මොක ද මෙතන මිනිස්සු එකතු වෙලා ඉන්නේ කියලා. එතකොට තමයි මට එතන අය කිව්වේ පොඩි ළමයෙක්ව මෙතන ගෑනු කෙනෙක් විකුණලා තියෙනවා කියලා. ඉතින් මගේ වසම නිසා මම ගිහිල්ලා බැලුවා කවුද කියලා. ඊට පස්සේ මම පොලිසියට පැමිණිල්ලක් දැම්මා," යනුවෙන් එම ග්‍රාම නිලධාරීවරයා සිද්ධිය පිළිබඳව පැහැදිලි කළේ ය.

දරුවා මුදලට විකිණූ පුද්ගලයන් හෝ මුදල් දී දරුවා ලබා ගත් කාන්තාව තම වසමේ පදිංචිකරුවන් නොවන බව ද පුදිය පුන්නයිනීරාවි ග්‍රාම නිලධාරී වසම භාර, ග්‍රාම නිලධාරි කෝනමලෙයි සේකර් බීබීසී සිංහල සේවයට පැවසීය.