චමරි අතපත්තු කී පරිදි ඇය අසාර්ථක ක්‍රීඩිකාවක් ද? ක්‍රිකට් ලෝකයේ ප්‍රවීණයින් දැක්වූ ප්‍රතිචාර

චමරි අතපත්තු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 6

චමරි අසාර්ථකයි ද? මෙම ප්‍රශ්නය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූයේ, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු විසින් පසුගිය සතියේදී සිදුකළ ප්‍රකාශයක් සමග ය.

2026 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයෙන් ම ඉවත් වීමට සිදුවුව ද පිතිකාරියක ලෙස චමරි අතපත්තු යම් සාර්ථකත්වයක් අත් කර ගත්තේ, ශතකයක් ද රැස් කරමිනි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයේදී ලද පරාජයෙන් පසුව චමරි අතපත්තු හැඟීම්බරව ප්‍රකාශ කළේ, තමන් නායිකාවක ලෙසට අසාර්ථක බව ය. කෙසේ වුව ද එම ප්‍රකාශයෙන් පසුව බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ ඇයව දිරිමත් කරමින් අදහස් ප්‍රකාශ කර තිබිණි.

'බොහෝ දෙනාගේ ජීවිතවලට බලපෑමක් කරපු ක්‍රීඩිකාවක්'

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එංගලන්ත කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන් ම ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ද වන නසර් හුසේන්, චමරි අතපත්තු සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ, ඇය බොහෝ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ජීවිතවලට බලපෑමක් ඇති කළ ක්‍රීඩිකාවක බව ය.

"බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ පරාජය ගැන චමරි තමන්ට ම දොස් පවරා ගත්තා. නායිකාවක විදිහට තමන් අසාර්ථක වූ බව ඇයට හැඟුණා කියලා ඇය ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ඒ අසාර්ථකත්වය කියන වචනය හරියට ම තේරුම් ගන්න වෙන්නේ ඇය ඒකෙන් තේරුම් කරන්න හදන දේත් එක්ක යි.

තමන්ගේ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට හරි අවසන් තරගය දක්වා හරි ගෙන එන්න නොහැකි වීම නිසා චමරි අසාර්ථක යි කියලා ඇයට හැඟුණා වෙන්න පුළුවන්.

නමුත් නවකයින් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන්න වගේ ම උනන්දුවක් ඇති කරවන්න පුළුවන් සුවිශේෂී හැකියාවක් චමරිට තියෙනවා.

චමරි ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියපු දවසට යි ඇයගෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කොයිතරම් බලපෑමක් සිදුවුණා ද කියලා තේරුම් ගන්නේ. තව අවුරුදු 10ක් ගියා ම ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩිකාවක් ක්‍රිකට් තරගයක ශතකයක් රැස් කළා ම තමන් ක්‍රිකට් ක්‍රීඩා කරන්න හේතුව චමරි අතපත්තු කියලා කිව්ව ම චමරිට තමන්ගෙන් ක්‍රීඩාවට මොන තරම් බලපෑමක් සිදුවෙලා ද කියලා ඇයට ම තේරුම් ගන්න පුළුවන් වෙයි," නසාර් හුසේන් පැහැදිලි කළේ ය.

එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නසාර් හුසේන් ICC සම්මුඛ සාකච්ඡාවට එක්ව

ඡායාරූප මූලාශ්‍රය, Screen Grab

ඡායාරූප ශීර්ෂ වැකිය, "නවක ක්‍රීඩිකාවන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන්නත්, ඔවුන් තුළ උනන්දුවක් ඇති කරන්නත් චමරිට සුවිශේෂී හැකියාවක් තියෙනවා."

'ඇය දැවැන්ත චරිතයක්'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ දෙනෙකු චමරි අතපත්තු සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර තිබිණි.

ප්‍රමුඛ පෙළේ ඉන්දියානු ක්‍රීඩා මාධ්‍යවේදිනියක වන රූපා රමණි සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ වීඩියෝවක් පළකරමින් චමරි අතපත්තු පිළිබඳව අදහස් පළකර තිබිණි.

එම වීඩියෝවේ ඇය පවසන්නේ, චමරි අතපත්තු සිය ක්‍රීඩා දිවියේදී ලෝක කුසලාන තරගාවලි 05ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායකත්වය ලබා දී ඇති සුවිශේෂී ක්‍රීඩිකාවක බව ය. තමන් අසාර්ථක වූ බව කියා සිටියත් බොහෝ දෙනාට ආදර්ශයක් මෙන් ම නිදසුනක් ලෙස චමරි කටයුතු කර ඇති බව එම ඉන්දියානු ක්‍රීඩා මාධ්‍යවේදිනිය සිය වීඩියෝවේ සඳහන් කර තිබේ.

මේ අතර ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ අදහස් පළකර තිබූ තවත් පරිශීලකයෙකු සඳහන් කර තිබුණේ, චමරි අතපත්තු ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණයින් වන අරවින්ද, අර්ජුන, මහේල, සංගක්කාර සහ ලසිත් මාලිංග වැනි දක්ෂ ප්‍රවීණ ක්‍රීඩිකාවක බව ය. එමෙන් ම චමරිගේ දක්ෂතාව ගැන හඬ නගා පැවසීම ගැන නසර් හුසේන්ට තමන් ස්තුතිය පුදකරන බව ද එහි සඳහන් විය.

තවත් ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයෙකු සඳහන් කර තිබුණේ, දකුණු අප්‍රිකාවට එරෙහිව චමරි අතපත්තු නොදැවී රැස් කළ ලකුණු 195ක ඉනිම තවත් වසර ගණනාවක් ගත වන තෙක් අමතක නොවන ඉනිමක් ලෙස හැඳින්විය හැකි බව ය.

"මට අබුඩාබියේදී පුහුණුවීම් කරන අතරතුර එක් අවස්ථාවකදී චමරිට පන්දු යවන්න අවස්ථාව උදාවුණා. ඇයත් කණ්ඩායමේ අය සමග මම පුහුණුකරුවෙකු විදිහට කටයුතු කරන ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වල යෙදෙන්න ඇවිත් හිටියා. ඇය ක්‍රීඩාවේ දැවැන්තයෙක්. ඒ වගේ ම ඇය ඔබට හමුවෙන නිහතමානී ම සහ කරුණාවන්ත ම කෙනෙක්. දකුණු අප්‍රිකාවට එරෙහිව ඇය රැස්කරපු ලකුණු 195ක ඉනිම යුග ගණනාවක් පුරාවට අමතක නොවන ඉනිමක්," ප්‍රභාකරන් නමැති එම පරිශීලකයා සඳහන් කර තිබිණි.

චමරි අතපත්තු පන්දු යවමින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

'ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩිකාව'

ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේ චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ප්‍රබල සේවයක් සිදුකළ ක්‍රීඩිකාවක බව ය.

"මම හිතන්නේ චමරි කරපු ප්‍රකාශය ආවේගයකින් කරපු එකක් නෙමෙයි, ගොඩක් ඉමෝෂනල් වෙලා කරපු එකක්. මොක ද ඇය දැනගෙන හිටියා ඒ තරගය පරාජය වුණාට පස්සේ වර්ල්ඩ් කප් එකේ සෙමි ෆයිනල් යන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා.

චමරි ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් විශිෂ්ට සේවයක් කරපු කෙනෙක්. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වෙනකම් ක්‍රීඩා කරලා තියෙන හැම ලෝක කුසලාන තරගාවලියකට ම ඇය ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේ ම ඇය තුන් ඉරියව් ක්‍රීඩිකාවක් විදිහට දැවැන්ත සේවයක් කර තියෙනවා. ශ්‍රී ලංකාවෙන් බිහිවුණ විශිෂ්ට ක්‍රීඩිකාවන් අතරින් ඇය උඩින් ම ඉන්නවා. අනෙක් ක්‍රීඩිකාවන් ගැන මම අගෞරවයක් කරන්නේ නැහැ, ඒත් ඇය ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් වෙනුවෙන් විශේෂ සේවයක් කරනවා.

අපිට දැන් පේනවා චමරි එක්ක ගොඩක් තරුණ ක්‍රීඩිකාවන් ඉදිරියට ඇවිත් තියෙනවා කියලා. ක්‍රීඩා විවේකාගාරයේදී ඇයගෙන් ලැබෙන උපදෙස් වගේ ම බැට් කරද්දී ඇයගෙන් ඉගෙන ගන්න ලැබෙන දේවල් බොහොම යි. ඒක තරුණ ක්‍රීඩිකාවන්ට වටිනා අවස්ථාවක්.

චමරි වගේ ක්‍රීඩිකාවක් වෙනුවට ආදේශක කරන්න ක්‍රිඩිකාවක් අපිට දැන් නැහැ. ඉදිරි ලෝක කුසලානය තරගාවලියක් ක්‍රීඩා කරන්න චමරිට අවශ්‍ය ද කියල තීරණය කරන්න ඕන ඇය ම යි. මොක ද ඇයගේ ශාරීරික සුවතාව ගැන හරියට ම දන්නේ ඇය යි," ප්‍රවීණ ක්‍රිකට් තරග විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසුවේ ය.

චමරිගේ ක්‍රිකට් දිවියේ සංධිස්ථාන

2009 ජූනි 15 වන දා ඇය සිය පළමු ජාත්‍යන්තර තරගයට සහභාගි වූයේ, වයස අවුරුදු 19 පසු වෙද්දී ය. ඒ, 2009 වසරේ පැවති ලෝක කුසලාන T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවති තරගයේදී ය.

එතැන් සිට T20 ක්‍රිකට් තරග 162කදී ලකුණු 3924ක් රැස් කිරීමට චමරි සමත් විය.

ඊට ශතක 4ක් සහ අර්ථ ශතක 14ක් ඇතුළත් ය. ඇය 4 පහර 516ක් සහ 6 පහර 102ක් එල්ල කර තිබේ.

පසුව 2010 අප්‍රේල් 18 වන දා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව සිය පළමු එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළා ය.

එක්දින තරග 126කදී ලකුණු 4154ක් රැස් කර ඇති ඇය, ශතක 9ක් සහ අර්ධ ශතක 20ක් රැස් කර තිබේ.

එක්දින කාන්තා තරග ඉතිහාසයේ ඉනිමකදී රැස් කළ වැඩි ම ලකුණු ලැයිස්තුවේ තුන් වන ස්ථානය ලෙස සටහන්ව ඇත්තේ, දකුණු අප්‍රිකාවට එරෙහිව චමරි නොදැවී රැස් කළ ලකුණු 195 ය.

ඊට අමතරව, ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ඇය නොදැවී රැස් කළ ලකුණු 178 ඉනිමකදී රැස් කළ වැඩි ම ලකුණු ලැයිස්තුවේ 7 වන ස්ථානයේ පසු වෙයි.

Chamari Bay: ඔස්ට්‍රේලියාවෙන් ලැබුණු අගැයීම

2023 වසරේදී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (SCG) Chamari Bay නමින් ආසන කලාපයක් වෙන් කරන ලදී.

මෙම ආසන කලාපය ප්‍රථම වරට කාන්තා බිග් බෑෂ් ලීග් (WBBL) කණ්ඩායමක් වූ Sydney Thunder විසින් Sydney Sixers කණ්ඩායමට එරෙහිව පැවති තරගයකදී නම් කරන ලදී.

එය නම් කරන ලද්දේ චමරි අතපත්තුගේ වාර්තාගත දස්කම්, ගෝලීය ෆ්‍රැන්චයිස් ලීගවලට ක්‍රීඩා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස ඇති කළ ඓතිහාසික බලපෑම සහ WBBL හි කැපී පෙනෙන ක්‍රීඩිකාවක ලෙස ඇය කළ මෙහෙවර අගය කිරීම සඳහා ය.