ගාඩි අයිසන්කොට්: ඊශ්රායල් මැතිවරණයේ නෙතන්යාහුට 'අභියෝගයක් වී ඇති' ප්රධාන ප්රතිවාදියා කවුද?

ඡායාරූප මූලාශ්රය, BBC/Getty Images
- Author, ෆර්නැන්ඩෝ ඩුආටේ
- Role, බීබීසී ලෝක සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 11
ඔක්තෝබර් 27 වන දා පැවැත්වෙන මහ මැතිවරණයේදී, ඊශ්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පක්ෂ සන්ධානයට බහුතර බලයක් ලබා ගැනීම අසීරු විය හැකි බව මත විමසුම්වලින් ඇඟවේ. මෙම සන්ධානයට ඔහුගේ ලිකුඩ් පක්ෂය, අන්ත දක්ෂිණාංශික පක්ෂ සහ අන්ත ආගමික යුදෙව් දේශපාලන පක්ෂ ඇතුළත් වේ.
එයට ප්රධාන හේතුවක් වන්නේ, ගාඩි අයිසන්කොට් ය. හිටපු ඊශ්රායල හමුදා ප්රධානියා වන ඔහු, පසුගිය දශක තුනේ වැඩි කොටසක කාලය තුළ ඊශ්රායලයට නායකත්වය දුන් පුද්ගලයාට අනපේක්ෂිත අභියෝගයක් එල්ල කරමින් සිටී.
දේශපාලනික වශයෙන් සාපේක්ෂව නවකයෙකු වන අයිසන්කොට්, නිල වශයෙන් දේශපාලනයට පිවිසියේ 2022 වසරේදී නැෂනල් යුනිටි පක්ෂය නියෝජනය කරමින් නෙසට් (ඊශ්රායෙල් පාර්ලිමේන්තුව) මන්ත්රීවරයෙකු බවට පත්වීමත් සමග ය. පසුව ඔහු අදහස් මතභේද හේතුවෙන් එම පක්ෂය හැර ගියේ ය.
පසුගිය වසරේදී විපක්ෂයේ ප්රධාන චරිතවලින් වෙන්ව තමන්ගේ ම මධ්යවාදී පක්ෂය වන යෂාර් ('ඍජු' හෝ 'නිවැරදි අර්ථය ඇති) පිහිටුවීමෙන් පසු, අයිසන්කොට් මැතිවරණ තරගයේදී නෙතන්යාහුගේ ප්රධාන ප්රතිවාදියා බවට පත්ව ඇත.
අග්රාමාත්යවරයා පසුගිය වසර කිහිපය තුළ දූෂණ චෝදනා හමුවේ පීඩාවට පත්ව සිටී. ඔහු එම චෝදනා ප්රතික්ෂේප කරයි. ඊට අමතරව, 2023 ඔක්තෝබර් 7 ප්රහාර සම්බන්ධයෙන් ඔහුගේ ක්රියාකලාපය පිළිබඳ විවේචන ද එල්ල වී ඇත. දැඩි විරෝධතා ඇති කළ අධිකරණ පද්ධතිය ප්රතිසංස්කරණය කිරීමේ මතභේදාත්මක යෝජනා ද තවත් ප්රශ්නයකි.
එහෙත්, ඔහුට එරෙහිව මැතිවරණයට ඉදිරිපත් වීමට අයිසන්කොට් ගත් තීරණය පිටුපස පෞද්ගලික ඛේදවාචකයක් ද බලපා තිබේ.
ඔහුගේ දරුවන් පස්දෙනාගෙන් බාල පුත්රයා වූ මාස්ටර් සාජන්ට් ගැල් අයිසන්කොට් 2023 දෙසැම්බරයේදී උතුරු ගාසාවේ සිදුවූ පිපිරීමකින් මිය ගියේ ය. ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය විසින් අල්ලා ගන්නා ලද ඊශ්රායල ප්රාණ ඇපකරුවන් දෙදෙනෙකුගේ දේහයන් සොයා ගැනීමේ මෙහෙයුමකට ඔහු එම අවස්ථාවේදී සහභාගී වෙමින් සිටියේ ය.

ඡායාරූප මූලාශ්රය, Reuters
ටෙල් අවිව් නගරයට මදක් උතුරින් පිහිටි, වෙරළබඩ ප්රදේශයක පිහිටි හර්ස්ලියා නමැති සෞභාග්යවත් නගරයේ පිහිටි තම නිවසේ තබා ඇති, පෙට්ටි කිහිපයක අසුරා තමා වෙත ලබා දුන් තම පුත්රයාගේ බඩු බාහිරාදිය දෙස තවමත් තමන් බලා නොමැති බව ගාඩි අයිසන්කොට් පවසයි.
"මම තවමත් ඒවා විවෘත කර නැහැ. මම ඒක දිගින් දිගට ම කල් දමනවා," යැයි 66 හැවිරිදි ඔහු අප්රේල් මාසයේදී ඊශ්රායල් මහජන ගුවන් විදුලි නාලිකාව වන කන් රෙෂෙට් බෙට් (Kan Reshet Bet) වෙත පැවසීය.
ගැල්ගේ මරණය, ඒ සමග ගාසා යුද මෙහෙයුමේදී ඔහුගේ බෑණාවරුන් දෙදෙනෙකු අහිමි වීම සහ පෙර නොවූ විරූ ආකාරයේ හමාස් ප්රහාර වැළැක්වීමට නෙතන්යාහු රජය අසමත් වූ බවට ඔහු දරන මතය, අයිසන්කොට්ගේ දේශපාලන අභිලාෂයන් ශක්තිමත් කර ඇත.
"මට කාලය ආපසු හරවන්න බැහැ," යැයි ඔහු මේ මස මුලදී ද ටයිම්ස් ඔෆ් ඊශ්රායල් පුවත්පතට පැවසීය. "ගැල් ගෙවූ බරපතළ මිලට වටිනාකමක් දෙන්න හැකි සෑම දෙයක් ම මම කරනවා."
නෙතන්යාහු සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය වගවීමට ලක් කිරීමට අයිසන්කොට් අපේක්ෂා කරයි. ඔක්තෝබර් 7 වන දින එල්ල වූ ප්රහාරවලින් අනතුරුව, ජාතික සමගිය පෙන්නුම් කිරීම සඳහා ඔහු විපක්ෂයේ වෙනත් පුද්ගලයින් සමග එක්ව නෙතන්යාහුගේ යුද කැබිනට් මණ්ඩලයට එක් විය. කෙසේ වෙතත්, හමාස් සංවිධානය විසින් ප්රහාරයේදී ප්රාණ ඇපයට ගනු ලැබූ පුද්ගලයින් මුදා ගැනීම සඳහා නෙතන්යාහු ප්රමාණවත් තරම් ඉක්මනින් ක්රියා නොකළ බවට චෝදනා කරමින්, ඔහු 2024 ජුනි මාසයේදී එම තනතුරෙන් ඉල්ලා අස්විය.
"කාන්තාවන් සහ දරුවන් ඔහුගේ පාලන කාලය තුළ පැහැරගෙන ගියා. ඔවුන් නිදහස් කර ගැනීමට අවශ්ය දේ ඔහු හිතාමතා ම පැහැර හැරියා," යැයි ඔහු ද ටයිම්ස් ඔෆ් ඊශ්රායල් වෙත පැවසීය. නෙතන්යාහු එම චෝදනාව නැවත නැවතත් ප්රතික්ෂේප කර ඇත.

ඡායාරූප මූලාශ්රය, Getty Images
නෙතන්යාහු පවසන්නේ, අයිසන්කොට් යුද කැබිනට් මණ්ඩලයේ සිටි කාලයේදී ගාසාහි ක්රියාත්මක කළ යුතු මූලික හමුදා පියවරවලට විරුද්ධ වූ බව ය. ඔහු පවසන පරිදි, අයිසන්කොට්ගේ ප්රවේශය හමාස් දුර්වල කිරීමට හේතු නොවී ය.
"අපි ගාසාවල ඉන්නකොට තවත් අය කියපු දේවල් සහ ගාඩි අයිසන්කොට් කියූ දේ මට මතක යි... ඔවුන් කිව්වේ සරලව ගිවිසුමක් කරලා ප්රාණ ඇපකරුවන් පිටතට ගන්නත්, ගාසා හැර යන්න, මුළු ගාසාවෙන් ම ඉවත් වෙන්න කියලා," යැයි නෙතන්යාහු ජූනි මාසයේ මාධ්ය හමුවකදී ප්රකාශ කළ බව ද ටයිම්ස් ඔෆ් ඊශ්රායල් වාර්තා කළේ ය.
එම උපාය මාර්ගය අනුගමනය කළේ, නම් "සියලු හමාස් සාමාජිකයන්" සහ යුද්ධයේදී ඊශ්රායලය විසින් ඝාතනය කරන ලද ඉහළ පෙළේ නිලධාරීන් "තවමත් එහි සිටිනවා, තවමත් ජීවතුන් අතර සිටිනවා, තවමත් පාලනය කරමින් සිටිනවා" යැයි නෙතන්යාහු වැඩිදුරටත් පැවසීය.
Ynet News වෙබ් අඩවියට මෑතකදී ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී අයිසන්කොට්, නෙතන්යාහුගේ එම ප්රකාශය බැහැර කළ අතර, යුද කැබිනට් සාකච්ඡා සහ ඡන්ද විමසීම්වල වාර්තා මහ ජනතාවට නිකුත් කරන ලෙස අග්රාමාත්යවරයාගෙන් ඉල්ලා සිටියේ ය. මැතිවරණයට දින කිහිපයකට පෙර අයිසන්කොට් ප්රතිඥා දුන්නේ තේරී පත්වුවහොත් මාස 18ක් ඇතුළත හමාස් පාලනය අවසන් කරන බවට ය.
අයිසන්කොට්ගේ ප්රමුඛතා
ඊශ්රායලයේ ප්රසිද්ධ මාධ්යවේදියෙකු සහ ඔහුගේ දේශපාලන ගමන් මග සමීපව අනුගමනය කළ අධ්යයනඥයෙකු වන නදාව් අයියල් පවසන්නේ, පෞද්ගලික අහිමි වීම ඔහු තුළ "අරමුණක් සහ මෙහෙවරක් පිළිබඳ හැඟීමක්" ඇති කරගෙන සිටින බව ය.
එම මෙහෙවර යෂාර් පක්ෂය නෙසට්හි ප්රමාණවත් ආසන සංඛ්යාවක් ලබාගෙන වත්මන් අග්රාමාත්යවරයා බලයෙන් ඉවත් කළ හැකි සන්ධානයක් පිහිටුවීමේ හැකියාවක් ලබා ගැනීම පමණක් නොවන බව අයියල් පවසයි.
නෙතන්යාහු මෙන් ම අයිසන්කොට් ද දැඩිව විශ්වාස කරන්නේ, ගාසා තීරය සඳහා වන අනාගත සැලසුම්වලින් හමාස් සංවිධානය බැහැර කළ යුතු බව යි.
"ඔහුගේ පුතා හමාස් විසින් ආරම්භ කරන ලද යුද්ධයකදී මිය ගිය බව තේරුම් ගැනීම ඉතා වැදගත්," යැයි අයියල් බීබීසී වෙත පැවසීය.
ඊශ්රායලය සමග ස්වාධීන පලස්තීන රාජ්යයක් පිහිටුවීම ඇතුළත් වන ද්වි-රාජ්ය විසඳුම පිළිබඳ අදහස ද මෙම විශ්රාමික ජෙනරාල්වරයා ප්රතික්ෂේප කර තිබේ. ඊශ්රායල් මාධ්ය වාර්තා කරන පරිදි, අගෝස්තු මස අගභාගයේදී ඔහු ප්රකාශ කර ඇත්තේ, මෙය තවමත් කළ හැකි යැයි විශ්වාස කරන ඕනෑ ම අයෙකු සිටී නම්, ඔවුන් පසුවන්නේ "මුළාවක" බව ය. කෙසේ වෙතත්, පලස්තීන පාලනය සමග ඊශ්රායලය පවත්වන සබඳතාව වෙනස් කිරීමට තමාට අවශ්ය බව ඔහු පවසා ඇත.
"පලස්තීන රජයට [බටහිර ඉවුරේ] පලස්තීනුවන් මිලියන 2.8ක් පාලනය කිරීමට අවස්ථාව දෙන්න ඕනේ. මට ඔවුන් පාලනය කරන්න ඕන නැහැ," යැයි ඔහු ඔක්තෝබර් මාසයේ ද ටයිම්ස් ඔෆ් ඊශ්රායල් සමග සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

ඡායාරූප මූලාශ්රය, Anadolu via Getty Images
ඊශ්රායල් නීතියට අනුකූල වන තාක් සහ ඊශ්රායලයේ ජාතික අවශ්යතාවලට ඉවහල් වන තාක්, ප්රධාන ඊශ්රායල ජනාවාස පුළුල් කිරීමට අයිසන්කොට් සහාය පළ කරයි. කෙසේ වෙතත්, බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස පුළුල් කිරීමට අදාළ ඇතැම් මතභේදාත්මක සැලසුම්වලට ඔහු විරුද්ධ වන අතර, ඊට ජෙරුසලමට නැගෙනහිරින් පිහිටි 'E1' නම් ප්රදේශයේ ජනාවාසයක් පුළුල් කිරීමේ සැලසුම ද ඇතුළත් වේ.
ඔහු තුළ පවතින මෙම පසුබට බවට හේතුව ජාත්යන්තර ප්රජාව වෙතින් එල්ල වූ අහිතකර ප්රතිචාර විය හැකි නමුත්, මෑතකදී ඔහු "යුදෙව් ත්රස්තවාදීන් ජුදා සහ සමාරියාවෙන් (අත්පත් කර ගත් බටහිර ඉවුර සඳහා ඊශ්රායලය භාවිත කරන නාමය) ඉවත් කිරීමට" පොරොන්දු විය.
2023 ඔක්තෝබර් 7 ප්රහාර පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කිරීම ඔහුගේ මැතිවරණ පොරොන්දුවලින් එකකි. එම පරීක්ෂණය ඊශ්රායල් රජයේ අඩුපාඩු පිළිබඳව සොයා බලනු ඇත.
රටේ ප්රධාන මාධ්ය ආයතන කිහිපයක්, ගාසා ප්රදේශයෙන් එල්ල විය හැකි ප්රහාරයක් පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්යය සහ ඊජිප්තු බලධාරීන් නෙතන්යාහුට අනතුරු අඟවා තිබූ බවට චෝදනා කර තිබේ.
අග්රාමාත්යවරයා එම චෝදනා ප්රතික්ෂේප කර ඇති අතර, මුල් වරට එම ප්රකාශය පළ කළ ඊශ්රායල පුවත්පතට එරෙහිව නඩු පවරා තිබේ. එසේ ම, අධිකරණය තමන්ට එරෙහිව පක්ෂග්රාහී වී ඇතැයි පවසමින් ඊශ්රායල ශ්රේෂ්ඨාධිකරණය විසින් මෙහෙයවන රාජ්ය පරීක්ෂණයක් ඔහු නිරන්තරයෙන් ප්රතික්ෂේප කර ඇත.
"මෙම මැතිවරණය වගකීම භාර ගැනීම සහ වගකීමෙන් පලා යාම අතර තේරීමක්," අයිසන්කොට් පවසයි.

ඡායාරූප මූලාශ්රය, Reuters
ඔහුගේ කරුණු 10ක වැඩසටහන තුළ, ඉහළ කුසලතා සහිත ඊශ්රායල ජාතිකයන් රට හැර යන සංඛ්යාව සම්බන්ධයෙන් හදිසි වැඩසටහනක් ක්රියාත්මක කරන බවත්, නව සංක්රමණිකයන්ගේ පැමිණීම ප්රවර්ධනය කරන බවත් අයිසන්කොට් ප්රතිඥා දී ඇත.
එමෙන් ම, අන්ත ආගමික යුදෙව් ප්රජාවන් සහ අරාබි ඊශ්රායල ජාතිකයන් සඳහා පවතින හමුදා සේවයෙන් නිදහස් වීමේ නීති අහෝසි කිරීමට ද ඔහුට අවශ්යව තිබේ.
"අපි කරන තවත් දෙයක් තමයි, හමුදා, ජාතික හෝ සිවිල් සේවය, අරාබි ජාතිකයන් සඳහා ජාතික සේවයත් ඇතුළුව සියලු ම ඊශ්රායල පුරවැසියන් සඳහා විශ්වීය සේවා නීතියක් සම්මත කිරීම," යැයි ඔහු ද ටයිම්ස් ඔෆ් ඊශ්රායල් වෙත පැවසීය.
නෙතන්යාහු පාලනාධිකාරිය විසින් ගනු ලැබූ උත්සාහයක් ද ඇතුළුව, හමුදා සේවය පුළුල් කිරීමට මීට පෙර ගත් උත්සාහයන් හේතුවෙන් අන්ත ආගමික ප්රජාවන්ගෙන් විරෝධතා මතු විය.
සාමාන්ය පවුල් පසුබිමකින් පැමිණීම

ඡායාරූප මූලාශ්රය, Reuters
දේශපාලන බලයේ ප්රධාන මධ්යස්ථාන වන ජෙරුසලම සහ ටෙල් අවිව්වලින් බොහෝ දුරින් පිහිටි නගර දෙකක් වන ටයිබිරීයස්හි උපත ලැබ, එලියට්හි හැදී වැඩුණු අයිසන්කොට්, 1950 දශකයේදී ඊශ්රායලයේ පදිංචි වූ සීමිත ආර්ථික හැකියාවන් සහිත මොරොක්කානු සංක්රමණික පවුල පුතෙකි.
මැදපෙරදිග සහ උතුරු අප්රිකානු රටවලින් පැමිණි යුදෙව් ප්රජාවන් මිස්රාහි ලෙස හඳුන්වනු ලැබේ. මිස්රාහි ප්රජාවෙන් කිසිවෙකුත් මෙතෙක් ඊශ්රායල අග්රාමාත්යවරයෙකු වී නැත. එහෙත් එම ප්රජාවේ දේශපාලනඥයන් මීට පෙර එයට උත්සාහ කර ඇත.
ද නිව් යෝකර් සඟරාවේ කර්තෘ ඩේවිඩ් රෙම්නික්, මැතිවරණ ප්රචාරක ව්යාපාරය අතරතුර අයිසන්කොට් සමග කාලය ගත කළ අතර, ඊශ්රායල සමාජයේ මිස්රාහි යුදෙව්වන් වැනි අවාසි සහගත කණ්ඩායම් නියෝජනය කරන්නේ තමන් බවට නෙතන්යාහු කරන ප්රකාශයට, අයිසන්කොට් අභියෝග කරන බව ඔහු පවසයි. නෙතන්යාහුගේ පවුල නැගෙනහිර යුරෝපයෙන් පැමිණි අය වීමත්, ඔහු හැදී වැඩුණේ ජෙරුසලමේ ධනවත් ප්රදේශයක වීමත් හේතුවෙන්, මෙම කරුණ විශේෂ වැදගත්කමක් උසුලයි.
ඊශ්රායල මාධ්ය වාර්තාවලට අනුව, ඉතිහාසමය වශයෙන් ලිකුඩ් පක්ෂයට සහය දක්වා ඇති මිස්රාහි ප්රජාව, මොරොක්කානු අරාබි වචනයක් වන "ඩයලිනා" (අපේ එකෙක්) භාවිත කරමින් අයිසන්කොට් හඳුන්වයි.
"මගේ දෙමාපියන් මොරොක්කෝවෙන් සංක්රමණය වුණා. මම ඔවුන් ගැනත්, මගේ මූලයන් ගැනත් ආඩම්බර වෙනවා. නමුත් අපි මුලින් ම අපේ ඊශ්රායල බව ගැන ආඩම්බර වුණොත් මට සතුටු යි," යැයි ඔහු මෙම වසර මුලදී Channel 13 රූපවාහිනී ජාලයට පැවසීය.
හමුදා ජීවිතය

ඡායාරූප මූලාශ්රය, Reuters
අයිසන්කොට් වයස අවුරුදු 18 දී ඊශ්රායල් හමුදාවට එක්වූ අතර වසර 40ක් හමුදාවේ සේවය කළේ ය. ඔහු 2015 සිට 2019 දක්වා මාණ්ඩලික ප්රධානියා තනතුර දක්වා උසස් විය.
2000 දශකයේදී, 'දෙවන ඉන්තිෆාදා' සමයේදී ඔහු බටහිර ඉවුරේ ඊශ්රායල හමුදාවන්හි අණ දෙන්නා ලෙස කටයුතු කළේ ය. වසර හතරකට අධික කාලයක් පුරා පැවති මෙම පලස්තීන නැගිටීම තුළ ඊශ්රායල ජාතිකයෝ 1,000කට ආසන්න සංඛ්යාවක් සහ පලස්තීනුවෝ 3,000කට අධික සංඛ්යාවක් ජීවිතක්ෂයට පත් වූහ.
පසුව අයිසන්කොට් "ඩාහියේ මූලධර්මය" හා සමග එකතු විය. ඊශ්රායලය වෙත ප්රහාර එල්ල වන බවට විශ්වාස කෙරෙන ප්රදේශවල සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින්, අතිවිශාල හමුදා බලයක් යෙදවීම මෙම මූලධර්මය මගින් අනුමත කෙරේ.
නෙතන්යාහු සම්බන්ධයෙන් එල්ල කරන සියලු විවේචන මධ්යයේ වුව ද, ඔක්තෝබර් 7 ප්රහාරවලට එරෙහිව ඊශ්රායලය දියත් කළ හමුදාමය ප්රතිචාරයට එරෙහිව අයිසන්කොට් කිසිවිටෙකත් අදහස් දක්වා නොමැති බව ද සඳහන් කිරීම වැදගත් ය.
හමාස් නායකත්වය දුන් ප්රහාරයේදී පුද්ගලයන් 1,200 දෙනෙකු පමණ මිය ගිය අතර 251 දෙනෙකු ප්රාණ ඇපකරුවන් ලෙස රැගෙන යන ලදී.
ඊට ප්රතිචාර වශයෙන්, ඊශ්රායලය ගාසාහි හමුදා මෙහෙයුමක් ආරම්භ කළ අතර හමාස් පාලනය යටතේ ඇති සෞඛ්ය අමාත්යාංශයට අනුව එහි 74,200කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම සංඛ්යා ලේඛන විශ්වසනීය බවට සලකයි.
"අපිට අපිව ම ආරක්ෂා කර ගැනීමට බල කෙරෙනවා. මේ සියල්ල ආරම්භ වුණේ කොතැනින් ද කියලා අවංකව බලන්න ඕන," යැයි අයිසන්කොට් ද ටයිම්ස් ඔෆ් ඊශ්රායල් වෙත පැවසීය.
මාධ්යවේදී සහ විකාශකයෙකු වන මෙහෙදි හසන්, එක්සත් රාජධානිය පදනම් කර ගත් ගාඩියන් පුවත්පතේ ලිපියක සඳහන් කරන්නේ, "අයිසන්කොට් නෙතන්යාහු නොවන" නමුත් බටහිර ඉවුරේ සහ ගාසාහි "එක ම ව්යාප්ති සහ විනාශකාරී ප්රතිපත්ති" සිදු කිරීමට ඉඩදෙනු ඇති බව ය.
ද ඉකොනොමිස්ට් සඟරාවේ ඊශ්රායල වාර්තාකරු සහ නෙතන්යාහුගේ චරිතාපදානයක කර්තෘ වන අන්ෂෙල් ෆෙෆර් පවසන්නේ අයිසන්කොට් "සාමවාදියෙකු නොවන" බව ය.
"නමුත් ඔහු බරපතළ පුද්ගලයෙකු ලෙස ප්රතිරූපයක් ඇති කෙනෙක්. මේ තාක් ප්රචාරක ව්යාපාරය තුළ ඔහු අසාමාන්ය පොරොන්දු දෙන්නෙ නැහැ. ඒ වගේ ම ඔහු ප්රභූ පසුබිමකින් එන කෙනෙක් නෙවෙයි. [ඒ නිසා] ඔහුට වැරදි කීම ඉතා අසීරු යි," යැයි ෆෙෆර් බීබීසී වෙත පැවසීය.
නෙතන්යාහුට ඍජු අභියෝගකරුවෙකු ලෙස අයිසන්කොට්ගේ මතුවීම තරමක් අනපේක්ෂිත වූ බව ඔහු සඳහන් කරයි.
"මාස හයකට පෙර වඩාත් හැකියාව ඇති අභියෝගකරු වූයේ [හිටපු අගමැති] නෆ්තාලි බෙනට්. නමුත් අයිසන්කොට් නිවැරදි වෙලාවේදී ඡන්දදායකයන් සමග සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇති බව පෙනෙනවා."
අයිසන්කොට් බොහෝවිට නෙතන්යාහුට ප්රතිවිරුද්ධ චරිතයක් ලෙස විස්තර කෙරේ. ඔහු අවධානයේ මධ්යයේ සිටීමෙන් සතුටු නොවන අතර විශිෂ්ට දේශපාලන කථිකයෙකු ද නොවේ. අයිසන්කොට් දේශපාලනඥයෙකු වීමෙන් පවා සතුටක් නොලබන බව අයියල් විශ්වාස කරයි.
දේශපාලන ගනුදෙනු

ඡායාරූප මූලාශ්රය, Reuters
මත විමසුම්වලදී සාර්ථකව ඉදිරියෙන් සිටිය ද, ආසන 120කින් සමන්විත ඊශ්රායෙල් පාර්ලිමේන්තුවේ ඍජු බහුතරයක් යෂාර් පක්ෂයට ලැබෙනු ඇතැයි පුරෝකථනය කර නොමැත. බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට ආසන 61ක් අවශ්ය වන අතර, ඒ නිසා ඉතිහාසය පුරා මිත්ර සන්ධාන ආණ්ඩු පිහිටුවීමට බල කෙරී ඇත.
එහෙත් බෙන්ජමින් නෙතන්යාහු මැතිවරණයෙන් පසු සිදුවන දේශපාලන ගනුදෙනු පිළිබඳ දක්ෂයෙකි. ඔහු ලිකුඩ් පක්ෂයේ නායකයා ලෙස ජාතික මැතිවරණ 10කට තරග කර ඇති අතර අවස්ථා හයකදී සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සමත් වී ඇත. එයට 2009 මැතිවරණය ද ඇතුළත් වේ. එහිදී ඔහුගේ පක්ෂයට ලැබී තිබුණේ, ප්රධාන ප්රතිවාදියාට වඩා අඩු ආසන සංඛ්යාවකි.
පසුගිය සති කිහිපය තුළ නෙතන්යාහුගේ ප්රචාරක කණ්ඩායම තර්ක කර ඇත්තේ, ආණ්ඩුවක් පිහිටුවීමට අයිසන්කොට්හට අරාබි නායකත්වය සහිත පක්ෂවල සහය ලබා ගැනීමට සිදු වනු ඇති බව ය.
ඊශ්රායලයේ සිටින මිලියන දෙකකට වැඩි අරාබි පුරවැසියන් හා නේවාසිකයන් අතර (ඔවුහු රටේ සමස්ත ජනගහනයෙන් දළ වශයෙන් 20%ක් පමණ නියෝජනය කරති) අරාබි දේශපාලන පක්ෂ ජනප්රිය වී තිබේ. මත විමසුම් අනුව ප්රධාන අරාබි පක්ෂ හතර වන හඩාෂ් (Hadash), තාල් (Ta'al), බලාද් (Balad) සහ රාම් (Ra'am) යන පක්ෂ එක්ව නෙසට්හි (ඊශ්රායල පාර්ලිමේන්තුව) ආසන 12 සිට 15 දක්වා සංඛ්යාවක් දිනා ගැනීමට හැකියාව ඇති බව පුරෝකථනය කර ඇත.
"ඔබට යුදෙව් රාජ්යයක් ඕන ද, නැත්නම් පලස්තීන රාජ්යයක් ඕන ද?" යැයි අග්රාමාත්යවරයා ප්රචාරක වීඩියෝවකදී අයිසන්කොට්ගෙන් විමසා ඇත.
අයිසන්කොට් තම රජය තුළ අරාබි පක්ෂවලට ඉඩක් නොමැති බව ප්රසිද්ධියේ ප්රකාශ කර ඇතත්, අනාගතයේදී පිහිටුවිය හැකි සුළුතර රජයක් තුළ නෙතන්යාහුට එරෙහි සන්ධානයක් සඳහා වන දොරටුව සම්පූර්ණයෙන් වසා දමා නොමැත.
"නෙතන්යාහු බලයේ රැඳී සිටියේ ඔහුට ඡන්දය දීම ජීවිතයත් මරණයත් අතර ප්රශ්නයක් බව තම අනුගාමිකයන්ට ඒත්තු ගැන්වීමේ හැකියාව නිසයි," යැයි ටෙල් අවිව් ආශ්රිත දේශපාලන විශ්ලේෂක ඩැලියා ෂයින්ඩ්ලින් බීබීසී වෙත පැවසීය.
නමුත් මෙවර අයිසන්කොට්ගේ පසුබිම අග්රාමාත්යවරයාට කාරණා දුෂ්කර කළ හැකි බව ඇය පවසයි.
"ඊශ්රායල් රාජ්යය ආරම්භ වූ දා සිට හමුදා නායකයන් මහජන සහය ලබනවා. ඒ, හමුදාව කෙරෙහි ඊශ්රායල් ජනතාව තබන ඉහළ විශ්වාසය නිස යි."
බිඳවැටුණු සබඳතා යළි ගොඩනැගීම
අයිසන්කොට් ජයග්රහණය කළහොත් ඊශ්රායලය සහ ජාත්යන්තර ප්රජාව අතර පළුදු වී ඇති සබඳතා යළි ගොඩනගා ගැනීමට උපකාරී වේවි ද? චැතම් හවුස්හි ජාත්යන්තර සබඳතා පිළිබඳ ඊශ්රායල් විශේෂඥයෙකු වන මහාචාර්ය යොසි මෙකෙල්බර්ග්, බීබීසී වෙත ප්රකාශ කළේ, එසේ කිරීමට හැකියාවක් ඇති බව ය.
නමුත් "එක් රැයකින් සිදුවන වෙනසක්" පිළිබඳ බලාපොරොත්තු තබා නොගත යුතු බවත්, නෙතන්යාහු වෙනුවට වෙනත් අයෙකු පත් වීම පමණක් ඊශ්රායලයේ සුහදත්වය සහතික නොකරන බවත් ඔහු අනතුරු අඟවයි.
"අයිසන්කොට්ගේ පක්ෂය ඇතුළුව විපක්ෂයේ පක්ෂ කිසිවක් නෙතන්යාහුට [විකල්පයක් ලෙස] පැහැදිලි ප්රතිපත්තිමය විකල්පයක් ඉදිරිපත් කරන බව මම විශ්වාස කරන්නේ නැහැ."
"අයිසන්කොට් ජයග්රහණය කළොත්, බටහිර ඉවුරේ යුදෙව් පදිංචි කිරීම් පිළිබඳ සහ ගාසාහි තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳ තීරණාත්මක පියවර ගන්න ඔහුට සිදුවේවි," මහාචාර්ය මෙකෙල්බර්ග් වැඩිදුරටත් පවසයි.





























