ජනපති පසුගිය දා සහභාගි වූ ජන හමුවලදී කළ කැපී පෙනුණු ප්‍රකාශ 8ක්

ඡායාරූප මූලාශ්‍රය, Anura Kumara Dissanayake / PMD
තමන්ට පාලන බලය ලැබුණේ, "ආර්ථික ක්‍රියාකාරකම් ඇණ හිට තිබුණු නතර වී තිබුණු ආණ්ඩුවක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, සැප්තැම්බර් 12 වන දා පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමිනි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් සම්පූර්ණ වීමත් සමග ජනාධිපතිවරයා ජන හමු කිහිපයක් ම පැවැත්වූ අතර ඉකුත් සති අන්තයේ ද මෙම ජන හමුවට අමතරව තවත් ජන හමු දෙකක් කහටගස්දිගිල්යේදී සහ නොච්චියාගමදී ද පැවැත්විණි.
මේ, ඔහු එම රැලිවලදී සිදු කළ ප්‍රකාශවල සඳහන් වූ විශේෂ කරුණු කිහිපයක් ගැන කෙරෙන විමසා බැලීමකි.
පොළොන්නරුව
1. 'රාජ්‍ය සේවයට 121,000ක්'
රාජ්‍ය යාන්ත්‍රණය කඩා වැටී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පොළොන්නරුවේදී පැවසීය.
"පාසල්වල ගුරුවරු නැහැ. පොලිසියේ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නැහැ. ග්‍රාම නිලධාරීන්ගේ හිඟයක් තිබෙනවා. වසර 5ක් 6ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තේ නැහැ," ඔහු එහිදී සඳහන් කළේ ය.
ඒ අනුව, පුරප්පාඩු අනුව නිසි බඳවා ගැනීම් සිදු කරන බව ජනාධිපතිවරයා මෙම ජන හමුවේදී පැවසීය. ඔවුන්ට වැටුප් ගෙවීමට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයේ ඇති බව ද ඔහු පැවසීය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"අපි දැන් රාජ්‍ය සේවයට අලුතින් 121,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අතර ගුරුවරු 23,000ක් ඉන්නවා. පොලිස් නිලධාරීන් 10,000ක් ඉන්නවා. වනජීවී සහයකයින්, වනජීවී නිලධාරීන් ඉන්නවා."
ජනාධිපතිවරයා පැවසුවේ, "මෙම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය සේවයට බඳවාගත යුතු යි," යනුවෙනි.
"හැබැයි බඳවා ගැනීම්වලදි කිසි කෙනෙකු ලියුම් අරන් එන්න එපා. එහෙම ගිහින් තමයි මේ රාජ්‍ය සේවය කඩා වැටුණේ. විභාග පවත්වා සුදුසුකම් අනුව අපි මේ බඳවා ගැනීම් සිදු කර හොඳ රාජ්‍ය සේවයක් හදනවා," ඔහු සඳහන් කළේ ය.
2. 'වැව් අමුණු, ඇල වේලි හදන්න රුපියල් දස ලක්ෂ තිස් පන්දහසක්'
මෙම වසරේ වැව් අමුණු, ඇළ වේලි සෑදීමට පමණක් රු. දස ලක්ෂ තිස් පන්දහසක් වෙන් කර ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
ඔහු අවධාරණය කළේ, "ලංකා ඉතිහාසයේ කිසිදිනක මෙවන් මුදල් වෙන් කර නොමැති" බව ය.
ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවට අයත් කුඩා වැව් 16,000ක් පවතින අතර ඒවා ප්‍රතිසංස්කරණය කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.
"මම මේ සිකුරාදා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහවැලිය සියල්ල කැඳෙව්වා. එම එක් එක් ආයතන කොපමණ වැව් අමුණු හදනව ද කියලා වෙන් වෙන්ව බැලුවා. මේ සියලු ආයතන මගින් 10,35,000ක ප්‍රතිපාදන යොදවමින් වැව් අමුණු හදනවා. ප්‍රමාණවත් නැත්නම් තවත් ප්‍රතිපාදන ලබා දීමට සූදානම්," ඔහු පැවසීය.
ලබන වසරේදී ද ඒ සඳහා "10,35,000ක ප්‍රතිපාදන වෙන් කරන බව" ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ඔහු නොච්චියාගමදී පැවති ජන හමුවේදී පැවසුවේ, මෙම වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වැව් 450ක් සෑදීමට සැලසුම් කර ඇති බවත්, මෙම වසරට පමණක් වැව්, අමුණු, ඇළවල් සෑදීමට මිලියන 35,000ක් වෙන් කර ඇති බවත් ය.
"දස ලක්ෂයේ ඒවා 35,000ක් වෙන් කරලා තියෙනවා මේ අවුරුද්දේ වැව්, ඇළ, අමුණු හදන්න," ඔහු එහිදී පැවසීය.
3. 'දරුවන් 50ට වඩා අඩු පාසල් ලොකු පාසල් සමග බද්ධ කරනවා'
මෙම හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, දරුවන් 50ට වඩා අඩු පාසල් "ලොකු පාසල් සමග බද්ධ කරන බව" ය.
"අපේ පාසල් 10,000කට වඩා වැඩි ගණනක් තියෙනවා. ඒ පාසල්වලින් 18%ක වගේ ළමයි 50ට වඩා අඩු යි. ඒ පාසල් ඇති තේරුමක් නැහැ. අපි ඒ පාසල් ලොකු පාසල් එක්ක බද්ධ කරනවා.
අඩු ම තරමින් ඉස්කෝලෙක ළමයි 400ක් 500ක් ඉන්න ඕනේ. එතකොට තමයි සාහිත්‍ය තරගයක් තියන්න පුළුවන්. එතකොට තමයි එක වයසේ ළමයින්ට ට්‍රිප් එකක් යන්න පුළුවන්. එතකොට තමයි ක්‍රීඩා උත්සවයක් තියන්න පුළුවන්," ඔහු පැවසීය.
ජනාධිපතිවරයා සඳහන් කළේ, වර්තමානයේ පවතින අධ්‍යාපන ක්‍රමය සුදුසු නොවන බව ය.
"දැන් තියෙන අධ්‍යාපන ක්‍රමය දෙමව්පියන්ට බරක්. දරුවන්ට වදයක්. අපි මේ අධ්‍යාපන ක්‍රමය මුළුමනින් ම වෙනස් කරනවා. කොතන ඉඳලා ද ගත්තොත් දරුවා එල්ලගෙන යන බෑග් එකේ බර අඩු කිරීමේ ඉඳන් ප්‍රධාන ම ප්‍රතිසංස්කරණවලට අපි යනවා," ඔහු පැවසීය.
එමෙන් ම දරුවන්ට පාසල් වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ද අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
"පාසල් දුරින් තියෙනවා නම් අපි ප්‍රවාහන පහසුකම් දෙන්නම්. අපි අධ්‍යයනයක් කරනවා. කලාප මට්ටමින් අධ්‍යයනය කරලා අපි ඒ ළමයි ටික ඉස්කෝලෙට අරගෙන යන්නම්," ඔහු පැවසීය.
කහටගස්දිගිලිය
4. 'අපි මේ රැස්වීම් තියන්නේ ආණ්ඩුවට තර්ජනයක් ඇවිල්ලා නෙවෙයි'
"අපි මේ රැස්වීම් තියන්නේ ආණ්ඩුවට තර්ජනයක් ඇවිල්ලා නෙවෙයි, මේ ආණ්ඩුවට කිසි ම තර්ජනයක් නැහැ," මෙම ජන හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ඔහු සඳහන් කළේ, "රට සෑදීම සඳහා ආණ්ඩුව වගේ ම අනෙක් පැත්තෙන් ජනතාව මැදිහත්විය යුතුයි කියන පණිවිඩය ලබා දීමට," බව ය.
"රටක් හදන්න පුළුවන්කම තිබෙන්නේ විශාලතම ජනතා ව්‍යාපාරයක් තුළින්. ඒ නිසා අපේ ශාඛා සමිති, සංවිධාන මේ සියල්ල එක් කරගෙන මේ රට ගොඩනැගීමට අවශ්‍ය වන ජනතා ව්‍යාපාරය ගොඩනගනවා. එහි විශේෂ අවස්ථාවක් ලෙස තමයි අද කහටගස්දිගිලිය නගරයේදී මේ විශාල ජන හමුව පැවැත්වෙන්නේ," ඔහු පැවසීය.
5. 'මම ජනාධිපතිවරයා ලෙස ඉන්නේ ඇස් දෙක බැඳගෙන'
දූෂිතයින්ට දඬුවම් ලබා දීමේදී තමා සිටින්නේ "දෑස් බැඳගෙන බව" ජනාධිපතිවරයා පැවසීය.
"දූෂිතයින්ට දඬුවම් ලබා දිය යුතු යි. එහිදී මම ජනාධිපතිවරයා ලෙස ඉන්නේ ඇස් දෙක බැඳගෙන යි. කොයි හොරාට ද, කොයි දුෂිතයාට ද දඬුවම් ලැබෙන්නේ කියලා මට පේන්නේ නැහැ. ඔහු ලොක්ක ද, ලොක්කගේ පුතා ද, බිරිඳ ද මට අදාළ නැහැ. ඒ වෙනුවෙන් අදාළ ආයතන ස්වාධීන කරලා පහසුකම් දීලා, බලය ලබා දී තිබෙනවා," ඔහු පැවසීය.
ඔහු සඳහන් කළේ, ආණ්ඩුවක් ලෙස "වංචනිකයින්ට, දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට දඬුවම් දීමට අවශ්‍ය" යාන්ත්‍රණය සකස් කර ඇති බව ය.
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය ශක්තිමත් කර පහසුකම් ලබා දී තිබෙනවා. තවත් අවශ්‍ය නම් නීති හදලා 22 වන සංශෝධනය සම්මත කර දීමට අපි කටයුතු කරනවා," ඔහු පැවසීය.
"මීට පෙර සිදු වුණේ දූෂිතයින් තේරීම යි. අද තේරීමකින් තොරව සෑම දුෂිතයෙකුට ම, අපරාධකාරයෙකුට ම දඬුවම් ලබා දීමට අවශ්‍ය සමාජය හදලා දීලා තිබෙනවා," ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ ය.
නොච්චියාගම
6. 'වසර කිහිපයක් ඇතුළත ආර්ථික වශයෙන් ස්වාධීනත්වය අත්පත් කර ගැනීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කර තිබෙනවා'
ශ්‍රී ලංකාව තවමත් ආර්ථිකයේ ස්වෛරීභාවය අත්පත් කරගෙන නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පැවසීය.
එසේ වුව ද "භාණ්ඩාගාරයේ ධනය පුරවමින්, ආර්ථික වර්ධන වේගය අත්පත් කර ගනිමින්, ආනයනය සීමා කර අපනයන වැඩි කර ගනිමින්, ග්‍රමීය ආර්ථිකය දියුණු කරමින්, අප අත්පත් කර ගන්නා ධනය ගම්වලට ගෙන යමින් ස්වාධීන ආර්ථිකයක් අත්පත් කර ගැනීම," ඉලක්කය බව ඔහු සඳහන් කළේ ය.
"අපි වසර කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ස්වාධීනත්වය අත්පත් කර ගැනීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කර තිබෙනවා. වසර තිස් ගණනකට පසුව භාණ්ඩාගාරයට ලැබුණ වැඩි ම මුදල් ප්‍රමාණය ලැබුණේ මේ ආර්ථික ස්වාධිපත්‍යයේ සංකේතයක් ලෙස යි.
"1958න් පසු ලංකාවේ අඩු ම අයවැය හිඟය 2025 වාර්තා කළේ ආර්ථික ස්වාධිපත්‍යය වෙනුවෙන් හොඳ පියවරක් තබමින්," ඔහු තවදුරටත් පැවසීය.
ජනාධිපතිවරයා අවධාරණය කළේ, "වසර අවසන් වන විට ඩොලර් බිලියන 8.4කට සංචිත ඉහළ නංවා ගැනීමට" අපේක්ෂා කරන බව ය.
"ලංකා ඉතිහාසයේ මහ බැංකුව සතුව තිබෙන වැඩි ම සංචිත ප්‍රමාණය මේ දෙසැම්බර් වන විට අපි උපයා ගන්නවා. එය ආර්ථික ස්වාධිපත්‍යයේ සංකේතයක්. තවත් ඉදිරියට යා යුතු යි. වාණිජ බැංකුවට ගිහින් ණය ගන්න පුළුවන් ද, ඒ සඳහා ආර්ථික ශක්‍යතාව අත්පත් කර ගන්නේ කොහොම ද? අපනයන වෙළෙඳපොළ වර්ධනය කර ගන්නේ කොහොම ද?, ගම්මාන දක්වා කර්මාන්ත ගෙන එන්නේ කොහොම ද? කියන සැලසුම් අපි හදලා තිබෙන්නේ," ඔහු පැවසීය.
7. 'සැලසුම් කළ මාර්ග ඉදිකිරීමේ ප්‍රමාදයක්'
ග්‍රාමීය මාර්ග ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති ජනාධිපතිවරයා මෙම ජන හමුවේදී පැවසීය.
"හැබැයි පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මැදපෙරදිග යුද්ධය නිසා, අපි පාවිච්චි කරන තාර වර්ගය ඒ කලාපයෙන් එන්නේ. අනිත් තාර වර්ග අපේ දේශගුණයට ගැලපෙන්නේ නැහැ. ඒ තාර ගෙන්වා ගැනීමේ ප්‍රශ්නයකට අපි මුහුණ දීලා තියෙනවා," ඔහු සඳහන් කළේ ය.
"ඒ නිසා සැලසුම් කළ මාර්ග ඉදිකිරීමේ යම් ප්‍රමාදයක් සිදුව තිබෙනවා. ඒක අපේ ප්‍රශ්නයක් ම නෙවෙයි. ඒක ජාත්‍යන්තර ප්‍රශ්නයක්.
"හැබැයි අපි පසුගිය කැබිනට් මණ්ඩලයේදී තෙල් සංස්ථාවට උපදෙස් ලබා දුන්නා කොහෙන් හරි හොයලා තාර ගේන්න සැලසුම හදන්න කියලා, තාර නැව් 7-8ක් ගේන්න ඕනේ ඉක්මනින්," ජනාධිපතිවරයා පැවසීය.
8. 'පාසල් පොත්වල වැට් ඉවත් කරන්න කටයුතු කරනවා'
පාසල් පොත්වල එකතු කළ අගය මත බද්ද (VAT) ඉවත් කිරීමට කටයුතු කරන බව මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
"බද්ද තියෙනවා, බද්දත් ඉවත් කරනවා. බලමු ඒවා ඉස්සරහට අය-වැය ලේඛනයේ කියන්න ඕනේ ඒවා නේ. අපි සැලසුම් කරලා තියෙනවා," ඔහු සඳහන් කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ, පාසල් දරුවන් ලක්ෂ 40ක් පමණ සිටින බවත් මෙරට පළමු වරට අස්වැසුම ලබා ගන්නා, දරුවන් 200ට වඩා අඩු පාසල් තෝරා ගෙන පාසල් පොත් සහ උපකරණ ලබා ගැනීමට රු. 6000ක මුදලක් ලබා දුන් බව ය.
මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ද එය ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
































