ක්‍රිෂ් ගනුදෙනුව: නාමල්ට දුන් ඇප අත්හිටුවනවා ද? නැද්ද? අධිකරණය අද දුන් තීරණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද, නැද්ද යන්න පිළිබඳ නියෝගය (නොවැම්බර් මස 18 වැනිදා) ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම ප්රතිශෝධන පෙත්සම අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසුවාය:
"ස්වාමීනි, ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි සැකකාර නාමල් රාජපක්ෂ පසුගිය 03 වැනිදා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළා. එම ඇප නියෝගය නීතිය ඉදිරියේ දෝෂ සහිතයි. දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය ප්‍රකාරව, එම පනත යටතේ චෝදනා ලබන සැකකරුවකු සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා සහතිකයක් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක එම සැකකරු නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කළ යුතුයි. එය තමයි ව්‍යවස්ථාදායකයේ අරමුණ. නමුත් එහි ව්‍යතිරේකයක් තිබෙනවා. එනම්, 'සුවිශේෂී අවස්ථානුගත කරුණු ඉදිරිපත් වන අවස්ථාවක සැකකරුට ඇප නියම කළ හැකිය' යනුවෙන් පනතේ සඳහන් කර තිබෙනවා. නමුත් එම ව්‍යතිරේකය මත පදනම්ව අදාළ සැකකරුට ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය නීතියට පටහැනියි.
ස්වාමීනි, මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත් කර තිබීම නිසා සාක්ෂිකරුවන් දෙදෙනෙකු නොබියව අල්ලස් කොමිසම හමුවට පැමිණ සත්‍ය ප්‍රකාශ කළා. නිමල් පෙරේරා නමැති සාක්ෂිකරුට එල්ල වී තිබෙන ජීවිත තර්ජන නිසා ඔහු ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. එම නිසා මෙම සැකකරු ඇප මත මුදා හැරීම තුළින් සාක්ෂිකරුවන්ටත් බලපෑම් ඇති වීමට හැකියාව තිබෙනවා."
ඒ අනුව, නාමල් රාජපක්ෂ නමැති සැකකරුට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නොවැම්බර් මස 03 වැනිදා නිකුත් කළ ඇප නියෝගය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
'මෙවැනි ඉල්ලීමක් හදිසියේ ඉදිරිපත් කරන්නේ ඇයි කියා බරපතළ ප්‍රශ්නයක් මතු වෙනවා'
එම ඉල්ලීමට නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දැඩි විරෝධය පළ කරමින් අධිකරණයට මෙසේ කරුණු දැක්වීය:
"ස්වාමීනි, මෙවැනි ඉල්ලීමක් හදිසියේ ඉදිරිපත් කරන්නේ ඇයි කියා බරපතළ ප්‍රශ්නයක් මතු වෙනවා. මොකද මගේ සේවාදායකයා දැනටමත් සිටින්නේ රිමාන්ඩ් භාරයේ. මෙම නඩුකරය හරහා අල්ලස් කොමිසම විසින් ඉල්ලා සිටින අතුරු සහන නියෝගය සහ අවසන් නියෝගය එක හා සමානයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිශ්චිත තීන්දුවලට අනුව අවසානාත්මක නියෝගයක් අතුරු තහනම් නියෝගයක් වශයෙන් ඉල්ලා සිටින්න බැහැ. මහේස්ත්‍රාත්වරයා නීතියේ රාමුව තුළ කටයුතු කරමින් තමයි මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. සැකකරුගේ මවට පැවති බරපතළ හෘද රෝග තත්ත්වය සුවිශේෂී කරුණක් වශයෙන් මහේස්ත්‍රාත්වරයා හඳුනා ගැනීම තුළ ඇති වරද කුමක්ද? අල්ලස් කොමිසම කරනු ලබන මේ ඉල්ලීම තුළ කිසිදු නීතිමය පදනමක් නැහැ."
ඒ අනුව අල්ලස් කොමිසම විසින් ඉල්ලා සිටින මෙම අතුරු තහනම් නියෝගය ප්‍රතික්ෂේප කරන ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා, අල්ලස් කොමිසම ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය නිකුත් කරනවාද, නැද්ද යන නියෝගය නොවැම්බර් මස 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

































