මිහින්තලේ විහාරාධිපති හිමි සහ මිහින්තලාව ගැන තොරතුරු වාර්තා කිරීමට එරෙහිව තහනමක්

වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි

ඡායාරූප මූලාශ්‍රය, Facebook | Mihintale Rajamaha Viharaya

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට සහ මිහින්තලා පුදබිමට අපහාස වන ආකාරයේ කිසිදු තොරතුරක් 'මිහින්තලාවෙන් හඬක්' යූ ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීම වළක්වාලමින් අනුරාධපුර දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අනුරාධපුර දිසා විනිසුරු සම්පත් හේවාවසම් නිකුත් කළ නියෝගය අනුව, මිහින්තලා විහාරාධිපති හිමියන් හෝ මිහින්තලා පුද බිම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් එම යූ ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීම තහනම් කර ඇත.

ඊට අමතරව, එම අතුරු තහනම් නියෝගය අනුව 'මිහින්තලාවෙන් හඬක්' යූ ටියුබ් නාලිකාවට අමතරව වෙනත් කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක් ඔස්සේ ද මිහින්තලා පුද බිමට හෝ මිහින්තලා විහාරාධිපති හිමියන්ට අපහාස වන ආකාරයේ හෝ වෙනත් කිසිදු තොරතුරක් ප්‍රචාරය කිරිම වළක්වා තිබේ.

පැමිණිල්ල කුමක් ද?

'මිහින්තලාවෙන් හඬක්' යූ ටියුබ් නාලිකාවේ පරිපාලකවරයාට එරෙහිව තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අනුරාධපුර දිසා විනිසුරු සම්පත් හේවාවසම්, ඉකුත් අප්‍රේල් මස 03 වන දා මිහින්තලා පුද බිමට හෝ මිහින්තලා විහාරාධිපති හිමියන්ට අපහාස වන ආකාරයේ තොරතුරු ඇතුළත් බව කියන මිහින්තලාවෙන් හඬක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ මුදාහැර ඇති වැඩසටහන මින් මතුවට ප්‍රචාරය කිරීම අත්හිටුවීමට ද නියෝග කරනු ලැබී ය.

එළැඹෙන මැයි මස 11 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද විත්තිකාර පරිපාලකවරයාට නියෝග කළ දිසා විනිසුරුවරයා මෙම පෙත්සමට අදාළව විරෝධතා ඇත්නම් එදිනට ගොනු කරන ලෙසට ද නියෝග කෙරිණ.

අනුරාධපුර දිසා විනිසුරුවරයා මෙසේ නියෝග කළේ, මිහින්තලය රජ මහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් නීතීඥ ජයමුදිතා ජයසූරියගේ උපදෙස් මත නීතීඥ සුරාජ් වල්ගම මගින් අනුරාධපුර දිසා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

වගඋත්තරකරු

මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ, 'මිහින්තලාවෙන් හඬක්' යූ ටියුබ් නාලිකාවේ පරිපාලකවරයා වන මිහින්තලය, නුවර පාර, යස ඉසුරු ගෙස්ට් හවුස් ලිපිනයේ පදිංචි අජිත් එදිරිසිංහ නැමැත්තෙකි.

නීතිඥ ජයමුදිතා ජයසුරියගේ උපදෙස් මත නීතීඥ සුරාජ් වල්ගම මෙම පෙත්සම ඉදිරිපත් කරමින් මිහින්තලය රජ මහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් වෙනුවෙන් කරුණු දක්වමින් අධිකරණයට කියා සිටියේ විත්තිකාර යූ ටියුබ් නාලිකාවේ පරිපාලකවරයා කලක සිට මිහින්තලා පුද බිමට සහ තම සේවාදායක මිහින්තලය රජ මහා විහාරාධිපති හිමියන්ට අපහාස වන අකාරයේ විවිධ ප්‍රකාශ ඔහු විසින් මෙහෙයවනු ලබන යූ ටියුබ් නාලිකාව ඔස්සේ පදනම් විරහිතව ද්වේශසහගතව ප්‍රචාරය කරමින් සිටින බව ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

විත්තිකරුගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් ඓතිහාසික මිහින්තලය පුදබිමට සහ මිහින්තලය විහාරාධිපති ස්වාමීන් වහන්සේ පිළිබඳව දෙස් විදෙස් වශයෙන් වැරදි මත සමාජගත වන බවත්, ඉන් බරපතළ අපහාසයක් සිදුවන බවත්, නීතීඥ සුරාජ් වල්ගම අධිකරණය හමුවේ කියා සිටියේ ය.

මිහින්තලාවට හඬක් යූ ටියුබ් නාලිකාවෙන් තම සේවාදායක විහාරාධිපති හිමියන්ට සහ මිහින්තලා පුදබිමට සිදු කරන අපහාස සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනත් නඩුවක් පවතින බව ද ප්‍රකාශ කළේ ය.

'මිහින්තලාවෙන් හඬක්' යූ ටියුබ් නාලිකාවෙන් මිහින්තලය විහාරාධිපති හිමිට සහ මිහින්තලය පුද බිමට අපහාස වන ආකාරයේ හෝ වෙනත් කිසිදු තොරතුරක්, ප්‍රචාරය කිරීම වළක්වාලමින් මෙම විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ද වාරණ නියෝගයක් පනවා ඇති බව ද අවධාරණය කළ නීතිඥවරයා, එම අධිකරණ නියෝග ද නොතකමින් විත්තිකරු තම යූ ටියුබ් නාලිකාවෙන් තම සේවාදායක විහාරාධිපති හිමියන්ට සහ මිහින්තලය පුද බිමට දිගින් දිගට ම අපහාස කරමින් සිටින බවට ද චෝදනා කළේ ය.

මේ තුළින් විත්තිකරු අධිකරණයට අපහාස කර ඇති බව ද අවධාරණය කළ නීතීඥ සුරාජ් වල්ගම විත්තිකරු සිය යූ ටියුබ් නාලිකාවෙන් ප්‍රචාරය කරන අපහාසාත්මක අසත්‍ය තොරතුරු හේතුවෙන්, ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ මූලාරම්භය සනිටුහන් කරමින් මිහිඳු මහ රහතන් වහන්සේ වැඩි අතිශය පූජනීය මිහින්තලා පුද බිමට පිරිමැසිය නොහැකි අපකීර්තියක් ගෙන දෙමින් පවතින බව ද සඳහන් කළේ ය.

රු. කෝටි 10ක වන්දියක්

මෙම නඩුව විභාගයට ගෙන විත්තිකාර පරිපාලක අජිත් එදිරිසිංහ නමැත්තා මිහින්තලාවෙන් හඬක් සිය යූ ටියුබ් නාලිකාවෙන් තම සේවාදායක මිහින්තලා විහාරාධිපති හිමියන්ට සහ මිහින්තලා ඓතිහාසික පුද බිමට අපහාස කර ඇති බවට තීන්දු කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටි නීතීඥවරයා එකී අපහාසය නිසා සිදුවූ හානිය වෙනුවෙන් විත්තිකරුගෙන් රුපියල් කෝටි 10ක මුදලක් වන්දි වශයෙන් අය කරන ලෙස ද ඉල්ලා සිටියේ ය.

පෙත්සම්කාර මිහින්තලය රජ මහා විහාරාධිපති හිමියන් විත්තිකාර අජිත් එදිරිසිංහ නමැත්තාට එරෙහිව පවරා ඇති තවත් නඩු 3ක් කොළම දිසා අධිකරණයේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ දැනට විභාග වෙමින් පවතී.

එම නඩු තුන ද අදාළ යූ ටියුබ් නාලිකාවෙන් මිහින්තලා රජ මහා විහාරාධිපති හිමියන්ට සහ මිහින්තලා පුද බිමට අපහාස කර ඇති බව කියන සිද්ධිවලට අදාළ ඒවා ය.