වැස්ස ගැන ලියැවුණු සිංහල කවි: බොහෝ දෙනෙකුට පීඩාකාරී වැස්ස කවියන්ට පෙනෙන හැටි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කුමුදු ජයවර්ධන
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
මේ වන විට දින දෙකක් තිස්සේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇද හැළෙමින් පවතී. වරින් වර ඇති වන තද වැසි හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටිති. නිවසින් පිටව රැකියාවට, පාසලට හෝ අධ්‍යාපන ආයතනයට යන බොහෝ දෙනෙකුට වැස්ස අමිහිරි අත්දැකීමකි.
එසේ වුවත්, වැස්ස මිහිරි අත්දැකීමක් ලෙස අත්විඳින පිරිසක් ද සිටිති. ඒ, කවියන් ඇතුළු නිර්මාණකරුවන් ය.
වැස්ස බොහෝ නිර්මාණකරුවන් විසින් ප්‍රතිනිර්මාණය කරනු ලැබූ අවස්ථා රැසක් සිංහල සාහිත්‍යයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේ ද දැකිය හැකි ය.
මේ ලිපියෙහි අරමුණ, සිංහල සාහිත්‍යයේ වැස්ස පිළිබඳව නිර්මාණය වූ කවි කිහිපයක් පිළිබඳව ආවර්ජණය කිරීම ය.
විද්‍යාත්මකව විග්රහ කළහොත් වර්ෂාපතනය සිදු වන්නේ, වායුගෝලීය තෙතමනය ඝනීභවනය වන විට වලාකුළු සෑදුණු විට ජල අංශු වර්ධනය වී ආපසු පොළොවට වැටෙන තරමට බර වන තුරු ඒකාබද්ධ වීමයි. මෙම ක්‍රියාවලිය ජල චක්‍රයේ කොටසකි, එහිදී ජලය වාෂ්ප වී, වලාකුළු සාදමින්, වර්ෂාපතනයක් ලෙස නැවත පොළොවට වැටෙයි.
පෘථිවියේ පැවැත්මට වැස්ස අතිශය වැදගත් වේ.
වැස්ස සාහිත්‍යකරුවෙකුට වැදගත් වන්නේ කෙසේ ද?
සාහිත්‍යකරුවන් වැස්ස දෙස බලන්නේ විද්‍යාත්මක ක්‍රියාවලිය මනසේ තබාගෙන නොවේ. ඔවුන්ට වැස්ස යනු පාළුව, හුදෙකලාව, සශ්‍රීකත්වය, අලුත්වීම ආදී විවිධ මනෝභාවයන් සංකේතවත් කරන සංසිද්ධියකි.
එඩ්වඩ් තෝමස් සිය 'Rain' නමැති නිර්මාණය හරහා 'මරණය සහ පාරිශුද්ධත්වය පිළිබඳ සිතුවිලි පොළඹවන හුදෙකලා සහකාරියක ලෙස "වැස්ස" භාවිත කරමින් මරණ විශ්ලේෂණය කරයි.
ඩබ්ලිව්.එච්. ඩේවීස්ගේ 'The Rain' නිර්මාණය තුළින් පත්‍ර මත පතිත වන වර්ෂාපතනයේ ස්වභාවය කේන්ද්‍රීය සහ සංවේදී ආකරයෙන් නිරූපණය කරයි.
ප්‍රකට සාහිත්‍ය විචාරකයෙකු වන මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පවසන පරිදි, "වැස්ස යනු සාහිත්‍යකරුවෙකුට අතිශය සංවේදී සංසිද්ධියකි."
"වැස්ස කියන්නේ සාහිත්‍ය නිර්මාණකරුවෙකුට අතිශය සංවේදී සංසිද්ධියක්. ඔවුන් වැස්ස දකින්නේ ජල චක්‍රයේ ක්‍රියාවලියක් විදිහට නෙවෙයි. වැස්ස විවිධ විදිහට සාහිත්‍ය නිර්මාණවලට යොදාගෙන තිබෙනවා. සමහර කවියන් වැස්ස ගැන ම කවි නිර්මාණය කරල තියෙනවා. ඒ අතරින්, සුවිශේෂී පද්‍ය නිර්මාණයක් තමයි, ගුණදාස අමරසේකරගේ 'වැස්ස' කියන පද්‍ය පන්තිය. ඒ කවිය කියවීමෙන් වැස්ස අපට දැනෙන්න ගන්නවා. වැස්ස වෙලාවට ඇති වෙන ශබ්ද, මඩ ඉහිරීම්, අප්‍රසන්න ස්වභාවය වගේ සියලු දේ අපට දැනෙන්න ගන්නවා," මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පැහැදිලි කළේ ය.
'වැස්ස' - ගුණදාස අමරසේකර
චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන
පොද නොකැඩි තෙත බරි ව හිරිකිතෙන් කිළිපොළන
පාරතොට, ගහකොළ ද වසාගෙන හැම අතින
වහින වැහි වහින වැහි, නොපායන මුළු දවස
ගොහොරු මඩ ඇඟිලිකරු අතර චිරි චිරි ගාන
මඩ කඩිති හැම තැන ම මඩ පාට දිය රැඳුණ
අලුත පස් දැමු පාර දණිහ තෙක් මඩ එරෙන
බැනියම ද ඇඟට ඇලි උදේ සිට තෙත බරි ව
තෙමුණ රෙදි ඇඟ ඇලුණු හබුරු කොළ මලිපිටි ද
දෝර ගොස් හැම තැන ම වක්කලන් ඇලි හැදුණ
හැට්ට අත් කඳ කලව තෙත රෙද්ද ඇඟ එතුව
වහින වැහි, වහින වැහි නොපායන මුළු දවස
ඔළුව කෙස් තෙතබරි ව පිට දිගේ වැක්කෙරෙන
කාර් රෝදෙන් 'චිරිස්' ඇඟ පුරා මඩ ඉහෙන
ආයිමත් හිටි ගමන් තද කරන් එන සැණින
වහින වැහි වහින වැහි නොපායන මුළු දවස
ගෙදර ගොස් ඇඳපු දේ මොහොතකින් ඉවර කොට
තුවායෙන් ඇඟපත ද පිස දමා හිස කෙස් ද
තාන් සරමක් ඇඳන් උණට උණු තේ වතුර
ඇඳෙහි ඉඳ උණුසුමට බොන්නෙ කොයි මොහොතෙදැයි
වැහි පොදෙහි පෙඟුණු සිත හිත හිතා ළතැවේ ය
මෙය ගුණදාස අමරසේකරයන්ගේ 'භාව ගීත' නමැති පද්‍ය සමුච්චයේ පළ කරන ලද පද්‍ය පන්තියකි.
වැස්ස පවතින අවස්ථාවක නිවසින් බැහැරව සිටින පුද්ගලයෙකුගේ මනෝභාවය මෙමගින් ප්‍රතිනිර්මාණය කර තිබේ.
වැස්ස - එච්.එම්.කුඩලිගම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ගැබිනියකගේ තනපුඩුවල පැහැය උරා
පාවෙන වලාකුළු පවතියි අහස පුරා
මිටියාවතේ මීදුම් ගොබ දෙපළු ඉරා
ඉගිලෙති කුරුලු හමුදාවෝ කැදලි කරා
අහසේ වලාකුළු හා තරගයෙක යෙදී
තොටියා ඔරුව ආපසු තොටුපළට පදී
දියවල බිදී දෙන රාවය දෙකට බෙදී
හබලේ ගැඹුරු හඬ සමග ම ගොඩට වදී
පදමට වෙරළු මිණිකැට සුනු විසුළ හැඩ
ජෝතිය ලැගුම් ගත් ළා තණපිටිය උඩ
නැහැ පුඩු මහත් කොට මී ගොන් මුළුව නැඩ
කිමිදෙති නැවුම් පුස්බෙහි වෙල් කුඹුරු බඩ
ඇළ දොළ ගලා බස්වන්නට ඉවුරු කඩා
ගොඩබිම නිවා සනහන්නට සියලු විඩා
ඝණ වැහි වලා ඉගිළී එන විටදි අඬා
මට මහා සොම්නසක් ඇත මොණරෙකුට වඩා
වැසි බිඳු ඇද වැටී කුර ගැටෙන හඬ දිදී
මිදුලේ රළ බැඳෙයි පෙණ බුබුළු බිඳී බිඳී
සුළගින් ගසා ගෙන එන මිහිරි බව රැඳී
සිතුවිලිවලට මුළු හදවත ම ඉඩ මදී
වෙහෙසට පත්ව වට වැහි බිඳු පොකුරු ගිල
දිය වළ වමාරන්නා මෙනි, පියසි තල
මිදුලේ පුංචි ගංගාවල් ගලන කල
පාසල් ළමුන් පාවෙති සිය සිහින වල
නැති වළ ගොඩැලි මතුකොට ගල් කැට බේරා
පටු මාවතේ දුහුවිලි, කොළ රොඩු සූරා
දෙපසෙහි සැදි අගල් සුළි නැගී නැගී හාරා
පිඹුරන් සේ ඇදෙයි ගුරු පැහැ දිය දාරා
ගස් වැල් තිගැස්සෙයි මේ කුළු ගැටෙන හඬින්
කඳු ගැට වසා විහිදෙයි වැහි ගිලිය ගොඩින්
නිකෙළෙස් හැඟීමක් ඩැහැගත් වන ම ගොඩින්
හදවත පියඹා යයි, වෙල් කුඹුරු උඩින්
උපදින අලුත් කලබලයෙන් පපුව යට
ලොව පෙම්වතුන් පෙම්වතියන් උමතු කොට
වැටකේ අරලියා බඩවැටි අතර සිට
මුර ගාගෙන ඇදෙයි හිරිකඩ සුළඟ ගෙට
පොළොවට වැටෙන හැම වැහි බිඳුවක ම පහේ
ගැබ්වුණ සිසිල එයි, ඊතල පරිදි මෙහේ
ළා අතු රිකිලි, රුක්ගොමු, ලියමඩුලු ඉහේ
දැඩි වේදනාවෙන් මිරිකී හඬනු ඇහේ
හැම වැහි වලාව ම ඉගිලීගෙන එද්දී
මට එයි ජීවමය ගී රසයක් ඇද්දී
මුළු ජීවිතය සතු සිහිකටයුතු සිද්දී
සිදු වුණ සේ හැඟෙයි මහ වැසි පවතිද්දී
සුළගට විදුලියට ගිගිරුම් හැඩ ගගා
ගැඹුරු ම නිසල බව පිටුතලය කොට නඟා
රැය සීතලත් අඳුරත් සමග කුර ගගා
සැන්දෑවට කලින් මේ ගමට විය ළඟා
ගී දේවියට කැප කළ දෙවොලකට සම
කුටියක සුවඳ දෙයි කළුවැල් කපුරු දුම
අද නම් නුවර එළියකි මා වෙසෙන ගම
මෙ පමණ අලස දවසක් නොදුටුවෙමි මම
කොළඹ යුගය නියෝජනය කළ ප්‍රකට කවියෙකු වූ එච්.එම්. කුඩලිගම වැස්ස විවිධ පුද්ගලයින්ට සංවේදනය වන ආකාරය පිළිබඳව මෙම පද්‍ය පන්තියෙන් ප්‍රතිනිර්මාණය කර ඇත.
වැස්ස - මහගම සේකර
සිංහල කාව්‍ය සාහිත්‍යයේ සුවිශේෂී කවියෙකු ලෙස සැලකෙන මහගම සේකර ද 'වැස්ස' නමින් පද්‍ය පන්තියක් රචනා කර තිබේ.
'හංස ගීතය සහ තවත් නිර්මාණ' නමැති කෘතියේ එම පද්‍ය පන්තිය ඇතුළත් කර තිබිණි.
සඳ මඩල වසාගෙන කළු වලාකුළු ඇදී
මුළු ලොව ම ගනඳුරෙන් වසා ගන්නා ලදී
මම මගේ කාමරේ ගන අඳුර මැද වැතිර
අතරමං වී හුණිමි සිහින සිතිවිලි අතර
සැඩ සුළං වැල් හමා
අකුණු විදුලිය කොටා
මහා වැහි වලාවක් හදිසියෙන් ඇද හැළිණි
ලොව පැවති දා පටන්
මෙතෙක් සුවහස් ගණන්
පෙම්වතුන් විසින් ලූ - උණු කඳුළු කැටිවලින්
එ වැසි බිඳු සැදීලා - ඇතැයි මා හට සිතිණි
උන් සොවින් ලූ සුසුම්
එකට එකතුව එයින්
මේ මහා කුණාටුව සෑදුණේ යැයි සිතිණි
ඔවුන් එක් මොහොතකදි
පෑ සුමුදු සිනා රැලි
විදුලියක් ලෙසින් දැන් - ඇදී ඒ යැයි සිතිණි
කාමරේ අඳුර මැද - හුදෙකලාවේ වැතිර
සිහින සිතිවිලි අතර අතරමං වී උනිමි
කළු වලා ඇදී ගොස්
කුණාටුව සංසිඳී
යළිත් යම් දිනයකදි - සඳ එළිය වැටෙනු ඇත
පෙරදි නොපැවති මහා - අලුත් කලඑළියකින්
එවිට ලෝකය යළිදු - පුබුදු වන බව දනිමි
මෙම පද්‍ය පන්තිය හුදෙක් වැස්ස පිළිබඳව රචනා කළ එකක් නොවන අතර, විරහ වේදනා විඳින පෙම්වතුන්ගේ සංවේදනා විස්තර කිරීම සඳහා වැස්ස යොදාගෙන ඇති බවක් පෙනී යයි.
මහගම සේකරයන්ගේ 'නොමියෙමි' කාව්‍ය සංග්‍රහයේ ද වැස්ස භාවිත කර ජීවිතයේ නිස්සාරත්වය පැහැදිලි කර තිබේ.
වලාකුළු දිය වේවි
ඇදහැලෙන වැසි දහර
දෙපස ගං ඉවුරු බිඳ
ගලන බොර තඹ වතුර
වනත් ගං හෝ වෙරළ
පැන නොයන මහ සයුර
වටයක් ය - දිගු ගමන
අක්-මුලක් නැති සසර
මඩවල එස්. රත්නායක
මඩවල එස්. රත්නායකයන් වැස්ස දුටු ආකාරය පහත පද්‍ය පන්තියෙන් හැඟවෙයි.
කඳු බිම් ද තැනිතලා
ගහ වැල ද වනපෙත් ද
මගේ සිත පරිද්දෙන්
දැලි අඟුරු ගෑවිලා
මොකක්දෝ ශෝකෙකින්
මෙතෙක් වේදනා ලද
ගුවන් ගැබ අඬනවා
වහිනවා වහිනවා
පාළුව, හුදෙකලාව, ශෝකය යන මනෝභාවයන්ගෙන් වෙළී සිටින්නෙකු වැස්ස සිය අත්දැකීම් සමග බද්ධ කර ගන්නා ආකාරය මෙම පද්‍ය පන්තියෙන් ගම්‍ය වෙයි.
වැස්ස පිළිබඳව ලියැවුණු ප්‍රකට පද්‍ය පන්ති කිහිපයක් පමණක් පිළිබඳව මෙහි සඳහන් කර ඇති අතර, තවත් නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයේ හමුවේ.
මීට අමතරව, සිංහල ගීත නිර්මාණ රැසක් සඳහා ද වැස්ස යන සංකල්පය භාවිත කර තිබේ.
මහාචාර්ය කුලතිලක කුමාරසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවේ, වැස්ස යනු නිර්මාණකරුවෙකුගේ භාවමය උද්දීපනයට හේතු වන සුවිශේෂී අනුභූතියක් වන බව ය.
එය අතීතයේ පමණක් නොව අනාගතයේදී ද කවියන්ගේ සිත කළඹන අත්දැකීමක් වනු ඇතැයි මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.


































