මෙතෙක් ලබාගත් වඩාත් ම සවිස්තරාත්මක ඡායාරූප හරහා මින් පෙර කිසි දා නොදුටු සූර්යයාගේ දසුන්
- Author, වික්ටෝරියා ගිල්
- Role, විද්‍යා වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ලොව ප්‍රබලතම සූර්ය දුරේක්ෂය භාවිත කරන විද්‍යාඥයින් සූර්යයාගේ මතුපිට පෙර නොවූ විරූ නව සවිස්තරාත්මක බවකින් යුතුව ග්‍රහණය කරගෙන තිබේ.
මෙම ඡායාරූප සහ දර්ශන මගින්, මීට පෙර නිරීක්ෂණය වී නොතිබූ, ක්‍රියාකාරීත්වයෙන් යුත් "සුළි" (whirlpools) පෙන්නුම් කෙරේ.
එය උණුසුම් වායුවල චලනය මගින් ඇඹරීමට සහ චලනයට ලක්වන සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රය යි.
එම නිරන්තර භ්‍රමණය සූර්යයාගේ ශක්ති පිපිරීම් පිටුපස ඇති ගාමක බලවේගයක් වන අතර, එය අභ්‍යවකාශ කාලගුණය නමින් හැඳින්වෙන තත්ත්වය නිර්මාණය කරයි. එමගින් පෘථිවියේ විදුලි බල ජාලවලට සහ චන්ද්‍රිකාවලට බලපෑම් එල්ල විය හැකි අතර ගගනගාමීන්ට පවා හානි සිදුවිය හැකි ය.
"සූර්යයා කියන්නේ එහි ශක්තියේ සහ එම සියලු අභ්‍යවකාශ කාලගුණික තත්ත්වයන්ගේ මූලාශ්‍රය යි," යනුවෙන් එක්සත් ජනපද ජාතික සූර්ය නිරීක්ෂණාගාරයේ (NSO) ආචාර්ය ඩේවිඩ් බොබෝල්ට්ස් පැහැදිලි කළේ ය.
අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා පිළිබඳ වඩාත් විස්තරාත්මක ඡායාරූප ලබා ගැනීම එම කාලගුණ තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට උපකාරී වනු ඇතැයි ඔහු පැවසීය.
අභ්‍යවකාශ කාලගුණය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට සහ අවසානයේදී එය පුරෝකථනය කිරීමට නම්, ඉතා ම කුඩා පරිමාණවල සිට ම සූර්යයාගේ භෞතික විද්‍යාව අප වටහා ගත යුතුව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, NSF/NSO/AURA/MPS
'Nature' සඟරාවේ පළවූ මෙම සොයාගැනීම් තහවුරු කර ගත හැකි වූයේ, දූවිලිවලින් තොර පැහැදිලි නිල් අහසක් සහිත හවායිහි උස් කඳු මුදුනක ඉදිකර ඇති 'Inouye' සූර්ය දුරේක්ෂය (Inouye Solar Telescope) මගිනි.
සූර්යයාගේ මතුපිට සමීපව නිරීක්ෂණය කරමින්, එම කණ්ඩායම කැරකෙන සුළිවල සවිස්තරාත්මක දසුනක් ග්‍රහණය කර ගැනීමට සමත් විය.
NSO ආයතනයේ තාරකා විද්‍යාඥ ආචාර්ය ඩේවිඩ් කුරිඩ්සේ BBC පුවත් සේවයට පැවසුවේ, "මෙම කරකැවීමේ චලනයන් මගින් චුම්බක ශක්තිය උත්පාදනය වන අතර, එම ශක්තිය එක්රැස් වීමෙන් එම දැවැන්ත පිපිරීම් ඇති විය හැකි," බව ය.

ඡායාරූප මූලාශ්‍රය, NASA/SDO
පුපුරායනසුලු අභ්‍යවකාශ
විද්‍යාඥයින් විසින් සූර්යයා මත නිරීක්ෂණය කර ඇති සංසිද්ධිය සඳහා භාවිත වන යෙදුම "කෙල්වින්-හෙල්ම්හෝල්ට්ස් අස්ථාවරත්වය" (Kelvin-Helmholtz instability) යන්න ය.
මෙම සංසිද්ධිය ඇති වන්නේ, තරල (මෙම අවස්ථාවේදී උණුසුම් වායු) එකිනෙක මතින් ගමන් කරන විට, ඒවායේ ඇති වන කුඩා කැළඹීම් වර්ධනය වී සර්පිලාකාර සුළි බවට පත්වීමෙනි. සාගරය තුළ, කුඩා රැළි දැවැන්ත හා ප්‍රබල රළ බවට පත්වන ආකාරය, මෙය පැහැදිලි කිරීමට උපකාරී වේ.
NSO ආයතනයේ ආචාර්ය ෆ්‍රෙඩ්රික් වෝගර් (Dr. Friedrich Woeger) පැහැදිලි කළේ, සූර්ය පෘෂ්ටය මත මෙය සොයා ගැනීම මගින් අභ්‍යවකාශ කාලගුණයට (space weather) බලපාන ගතික ක්‍රියාවලීන් පමණක් නොව, සූර්ය පෘෂ්ටය එතරම් අධික උෂ්ණත්වයකින් යුක්ත වීමට හේතුව පවා පැහැදිලි කෙරෙන බව ය.
එය ශක්තිය ඉහළට රැගෙන යන ආකාරය පෙන්වයි.
"ඉහළ ස්ථරවල ප්‍රමාණවත් තරම් ශක්තියක් රැස්වූ පසු, එය සූර්ය දැල්ලක් (flare) හෝ 'කොරෝනල් මාස් ඉජෙක්ෂන්' (coronal mass ejection) ලෙස හැඳින්වෙන සංසිද්ධියක් ලෙස මුදා හැරිය හැකි," බව ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, NASA
අභ්‍යවකාශ කාලගුණය පිළිබඳව අවබෝධ කර ගැනීමේ සහ ඉන් ආරක්ෂා වීමේ ප්‍රායෝගික අවශ්‍යතාවට අමතරව, මෙම නව සොයාගැනීම් මගින් සූර්යයා "අද්විතීය විද්‍යාගාරයක්" බව සිහිපත් කර දෙන බව බොබෝල්ට්ස් (Boboltz) වැඩිදුරටත් සඳහන් කළේ ය.
"ඒක අපට ආසන්නතම තාරකාව," ඔහු පැවසීය. "තව ද, භෞතික විද්‍යාවේ අතිශය මූලික නියමයන් කිහිපයක් අවබෝධ කර ගැනීමට එය අපට උපකාරී විය හැකියි."
අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය පිළිබඳ පළමු පර්යේෂණාත්මක සාක්ෂිය ලැබුණේ, සූර්ය ග්‍රහණ නිරීක්ෂණවලිනි.
"ඉතින් හුදෙක් මානව දැනුම වෙනුවෙන්, අපට මෙවැනි අත්හදා බැලීම් අවශ්‍ය යි," ඔහු තවදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, NSF National Solar Observatory



































