රනිල්ගෙන් සජිත්ට විශේෂ උපදෙසක්: විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී මොක ද වුණේ?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ රැසක නායකයින් සහ නියෝජිතයින් පිරිසක් බ්‍රහස්පතින්දා (ජූලි 23) ඒකාබද්ධ සාකච්ඡාවක් සඳහා රැස්වූහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ හමුව පැවැත්වුණේ, විපක්ෂ නායක කාර්යාලයේදී ය.
මෙම රැස්වීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
රැස්වීමේ අරමුණ කුමක් ද?
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය කර ඇති යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
රැස්වීම අතරතුර අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ, 'ආණ්ඩුව අධිකරණයට අත තබා ඇති' බව ය.
"අනුර කුමාර දිසානායකගේ මේ ආඥාදායක, ඒකාධිපති ආණ්ඩුව අත තියල තියෙන්නෙ අධිකරණයට. හැබැයි, ප්රගතිශීලී ප්‍රජාව හැටියට අපට ඒ උත්සහය පරාජය කරල අධිකරණයට අත තැබීම, අත පුච්චා ගැනීමක් බවට පරිවර්තනය කරන්න අපට හැකියාව තියෙනවා." යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Sajith Premadasa
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ කුමක් ද?

මෙහිදී, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, විනිසුරුවරුන්ගේ වෘත්තිය පිළිබඳව අධිකරණ අමාත්‍යවරයාට අවබෝධයක් නොමැති බව පෙනී යන බව ය.
"අධිකරණ ඇමතිතුමා කියනව, (මේ යෝජනාව ගේන්න හේතුව) මේ රටේ නඩුවලට යන ප්‍රමාදය කියල. ඒක විසඳන්න ඕන කියල. මම ඒකට 100%ක් එකඟ යි, ඇත්ත වශයෙන් ම. මගෙ විරුද්ධත්වයක් නෑ. කොහොම ද ඒක කරන්නෙ? එතුමා කියල තියෙනවා, මේ රටේ තියෙනව කියල නඩු ලක්ෂ 11ක්. නඩු ලක්ෂ 11ක් හැන්දෑ වරුවේ මහේස්ත්‍රාත්වරු, දිස්ත්‍රික් විනිශ්චයකරුවොයි වාඩි වෙලා කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. මං හිතන්නෙ එතුමාගෙ මතයක් තියෙනව, විනිශ්චයකාරවරුන්ට හැන්දෑවට කරන්න දෙයක් නෑ කොත්තු රොටී හදනව කියල."
මේ අතර, රනිල් වික්‍රමසිංහ පවසන්නේ, විශ්‍රාම ගැනීමේ වයස් සීමාව දීර්ඝ කිරීමෙන් විනිසුරුවරුන්ට මූල්‍ය වාසියක් අත් වන හෙයින්, ඔවුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම නීතිවිරෝධී බව ය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව දීර්ඝ කළ හැක්කේ, ජනමත විචාරණයකින් පමණක් බව ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
"නඩුව අහන්න ව්‍යවස්ථාවෙන් ම තව අධිකරණයක් පත් කරල තියෙනව. ඒ තමයි ජනමත විචාරණය. අපි යි නඩුකාරයො. නඩුකාරයො මිලියන 17ක් ඉන්නවා. ඉතින්, ආණ්ඩුවට තියෙන්නෙ, ඇත්ත වශයෙන් ම මේ නඩුව ආව ගමන් 80 (2) යටතේ ව්‍යවස්ථාවේ සහතික කරන්න ජනමත විචාරණයක් වුවමනා යි කියල. ඉතින් අපි මේ ව්‍යාපාරය ගෙනියන්න ඕනෙ. රට වටේ ම ගිහින් කියන්න, 80 (2) යටතේ සහතික කරල මේ බලය ජනතාවට දෙන්න කියල."
මෙය "සිවිල් ජනතාවට තියෙන අධිකරණ බලය හොරකම් කිරීමක්" බව ද ඔහු පැවසීය.
රනිල්ගෙන් විපක්ෂ නායකවරයාට උපදෙසක්
මෙහිදී, රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, නඩු ලක්ෂ 11ක් විභාග කර අවසන් කිරීම සඳහා විපක්ෂය ආණ්ඩුවට සහය දිය යුතු බව ය.
ඔහු ඊට ක්‍රමවේදයක් ද ඉදිරිපත් කළේ ය.
"මේකට තියෙන්නෙ ආණ්ඩුවට උදව් කරන්න. මම විපක්ෂ නායකතුමාට කියන්නෙ, පාර්ලිමේන්තුවේ ඉන්න අය එකතු වෙලා යෝජනාවක් දාන්න. එන සුමානෙ භාර දෙන්න, මේ නඩු ලක්ෂ 11 විසඳන්න කියල හොයල බලන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න කියල."

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Sajith Premadasa
රැස්වීම අවසන් වී පිටතට පැමිණි නියෝජිතයින් පැවසුවේ මොනවා ද?
- නාමල් රාජපක්ෂ - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක
(ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ රැස්වීම අතරතුර පිටව ගියේ, වෙනත් උත්සවයකට සහභාගි වීමට ඇති බව පවසමිනි.)
"ආණ්ඩුව මේ රටේ අධිකරණ පද්ධතිය තමන්ගේ දේශපාලන හස්තයක් විදිහට පාවිච්චි කරන්න උත්සහ කරනවා නම්, මේ රටේ පොලිසිය තමන්ගේ දේශපාලන ශාඛාවක් වගේ පාවිච්චි කරන්න උත්සහ කරනවා නම්, මේ රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න වගකීමක් තියෙනවා."
- රාවුෆ් හකීම් - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක
"මේ ගේන්න යන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අනිවාර්යයෙන් ම මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි විතරක් නෙවෙයි, ඇත්ත වශයෙන් ම මෙය ජනමත විචාරණයකට භාජනය කළ යුතු කාරණාවක් කියන එක පිළිබඳව ජනමතයක් ගොඩනැගීම අවශ්‍යයි කියන තීරණයට, ඒවගේ ම අනෙකුත් තීරණ කිහිපයකට එළඹුණා."
- විමල් වීරවංශ - ජාතික නිදහස් පෙරමුණේ නායක
"සෑහෙන කාලයකින් විපක්ෂ නායක කාර්යාලයට අපට යන්න කියල තියෙන්නෙ ආණ්ඩුව. නැත්නම් විපක්ෂ නායක එක්ක එකතු වෙලා සාකච්ඡා පවත්වන්න ඕනකමක් මතු වෙලා තිබුණෙ නෑ. ආණ්ඩුව දැන් මේ අධිකරණය සිරගත කරල තියෙන්නෙ. තමන් භාරයට අරගෙන තියෙන්නෙ. ඒ තමන් භාරයට අරගෙන තමන්ට ඕන විදිහට නටවන්න හදන අධිකරණ පද්ධතිය නිදහස් කර ගැනීම අද සියලු මත දරන දේශපාලන බලවේගවල පොදු ඕනකමක්."
- පාඨලී චම්පික රණවක - එක්සත් ජනරජ පෙරමුණේ නායක
"ජනතා විමුක්ති පෙරමුණට යම්කිසි චෝදනාවක් සාමාජිකයින්ට එල්ල වෙච්ච වෙලාවට ඒකට නීතිය ක්‍රියාත්මක වන බවක් අපට පේන්නෙ නෑ. නමුත් අනික් අයට ඉතා කඩිනමින්, වේගයෙන් සාක්ෂි ඇතිව හෝ නැතිව, සාක්ෂි නිර්මාණය කරල නඩු විභාග කරන බවක් අපට පේනවා. ඉතින් මේ සියල්ලේ ම ප්‍රතිඵලයක් හැටියට රටේ ප්රජාතන්ත්රවාදය අනතුරේ වැටෙන ස්වභාවයක් තියෙනවා."
- චාමර සම්පත් - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක
"බලය තියෙනකොට මොළය නැහැ. වයස දීර්ඝ කරන්න ගිහිල්ල ආණ්ඩුවත් නැති කර ගන්න යනව වගේ වැඩක් මේ… කැඩිල තිබුණ විපක්ෂය එකතු කළේ, එක මිනිහෙක් රජ කරන්න ගිහිල්ලා."
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට වෙනත් වැඩක්
මේ අතර, ඊයේ පැවති රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි වූයේ නැත.
ඒ, තමන් පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වූ හෙයින් බව ඔහු මාධ්‍යවේදීන්ට පැවසී ය.



































