Flotilla: ගාසා වෙත පැමිණි ක්‍රියාකාරීන්ට හිංසා කිරීම පිළිබඳ ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය ගිවියර්ට එරෙහි දැඩි විවේචන

Itamar Ben Gvir standing holding an Israeli flag with several people standing around him in dark classes and masks

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රඳවාගෙන සිටින ක්‍රියාකාරීන්ට හිංසා කරන වීඩියෝවක් බෙන් ගිවියර් පළ කළේ ය.
    • Author, මයිකල් ෂායිල්ස් මැක්නමී
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ගාසා වෙත සංකේතාත්මකව ආධාර රැගෙන යමින් සිටි යාත්‍රාව ඔවුන්ගේ යටතට ගැනීමෙන් පසුව රඳවාගෙන සිටි පලස්තීන හිතවාදී ක්‍රියාකාරීන් සිය ගණනක් පිටුවහල් කළ බව ඊශ්‍රායලය තහවුරු කර තිබේ.

අන්ත දක්ෂිණාංශිකයෙකු වන ජාතික ආරක්ෂක අමාත්‍ය බෙන් ගිවියර් විසින් පළ කරන ලද වීඩියෝවකට ප්‍රතිචාර වශයෙන් ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ විරෝධයකින් පසුව මෙය සිදු විය. ක්‍රියාකාරීන්ගේ දෑත් පිටුපසට බැඳ දණ ගසා සිටින ආකාරය ඔහු විසින් පළ කළ වීඩියෝවේ දැක්වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ සිටින ඊශ්‍රායලයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන භාරකාර ඩැනියෙලා ග්‍රුඩ්ස්කි එක්ස්ටීන් කැඳවූ බව එක්සත් රාජධානිය බ්‍රහස්පතින්දා [ මැයි 21] තහවුරු කළේය.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් රාජධානියේ විදේශ කටයුතු කාර්යාලය පැවසුවේ, මෙම පියවර මගින් ගෝලීය සුමුද් ෆ්ලෝටිලා සාමාජිකයන් කෙරෙහි බෙන් ග්විර්ගේ හැසිරීම එක්සත් රාජධානියේ "දැඩි හෙළා දැකීම" පිළිබිඹු කරන බව යි.

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය, ෆ්ලෝටිලා මානව හිමිකම් ක්‍රියාකාරීන්ට හිංසා කිරීම ගැන ඊශ්‍රායල ඇමතිවරයෙක් විවේචනයට

"[වීඩියෝවේ] පෙන්වන රැඳවුම් කොන්දේසි සම්බන්ධයෙන් අපි දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර ඊශ්‍රායල බලධාරීන්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින්නෙමු. [ආධාර ගෙන යාමට] සම්බන්ධ වූ සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඔවුන් බැඳී සිටින බව අපි පැහැදිලි කළෙමු," යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වේ.

ඒ හා සමානව, පෝලන්තය ද සිය රටේ සිටින ඊශ්‍රායල භාරකරු කැඳවා තිබේ.

සමාජ මාධ්‍යයේ පළ කළ සටහනක පෝලන්ත විදේශ කටයුතු අමාත්‍ය රදොශ්වාෆ් ෂිකෝස්කි පැවසුවේ තම පුරවැසියන්ට සැලකූ ආකාරය සම්බන්ධයෙන් "කෝපය" ප්‍රකාශ කරන බවත්, "ඊශ්‍රායල රජයේ සාමාජිකයෙකුගේ ඉතාමත් නුසුදුසු හැසිරීම සම්බන්ධයෙන් සමාව ඇයද සිටින්නැයි," ඉල්ලා සිටින බවත් ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පසුව පැවසුවේ ෆ්ලෝටිලාවට සම්බන්ධ වූ පෝලන්ත පුරවැසියන් දෙදෙනෙකු නැවත පැමිණෙමින් සිටින බවත්, බෙන් ගිවියර්ට පෝලන්තයට ඇතුළුවීම තහනම් කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බෙන් ගිවියර්ට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව සලකා බලන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටි බව බ්‍රහස්පතින්දා [මැයි 21] ඉතාලියේ විදේශ කටයුතු අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි පැවසුවේ ය.

"ජාත්‍යන්තර මුහුදේදී ක්‍රියාකාරීන් අල්ලා ගැනීම සහ මූලික මානව හිමිකම් උල්ලංඝනය කරමින් ඔවුන්ට හිරිහැර හා නින්දා අපහාසවලට ලක් කිරීමේ පිළිගත නොහැකි ක්‍රියාවන්" නිසා මෙය සිදු කළ බව ඔහු පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ග්‍රීසිය, නෙදර්ලන්තය, කැනඩාව සහ අයර්ලන්තය යන රටවලින් ද මෙම ක්‍රියාව හෙළා දැක තිබේ.

බෙන් ගිවියර්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ද විවේචනයක් එල්ල වූ අතර එය දුර්ලභ අවස්ථාවකි. ඔහු පැවසුවේ එය "ඊශ්‍රායලයේ වටිනාකම්වලට අනුකූල නොවන" බව යි.

ජනාධිපති අයිසැක් හර්සොග් සහ විදේශ අමාත්‍ය ගිඩියෝ සා'ර් ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිත විසින් වීඩියෝව හෙළා දැක ඇති බවත්, එය ඊශ්‍රායල රජයේ ප්‍රතිපත්තිය නියෝජනය නොකරන බවත්, නිවේදනයක් නිකුත් කරමින් ලන්ඩනයේ ඊශ්‍රායල තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

රඳවා ගත් අය වෙනුවෙන් පෙනී සිටින ඊශ්‍රායලය පදනම් කරගත් අයිතිවාසිකම් කණ්ඩායමක් වන Adalah, මීට පෙර පැවසුවේ ඇතැමුන්ට "බරපතළ, පැතිරී ගිය තුවාල" සිදුවී ඇති බවත්, අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවත් ය.

Italian lawmaker Dario Carotenuto is embraced by a relative

ඡායාරූප මූලාශ්‍රය, Reuters

චෝදනා සම්බන්ධයෙන් ඊශ්‍රායල බලධාරීන් අදහස් දක්වා නොමැත.

තම රට තුර්කි පුරවැසියන් මෙන් ම අනෙකුත් රවටල්වලින් සහභාගී වී සිටි ක්‍රියාකාරීන් තුර්කියට ගෙන ඒම සඳහා විශේෂ ගුවන් ගමන් යොදවා ඇතැයි තුර්කි විදේශ අමාත්‍ය හකන් ෆිදාන් පැවසුවේ ය.

බ්‍රහස්පතින්දා තුර්කි ජාතිකයන් 85 දෙනෙකු ඇතුළුව ක්‍රියාකාරීන් 422 දෙනෙකු දකුණු ඊශ්‍රායලයේ සිට තුර්කි ගුවන් සේවය විශේෂ ගුවන් යානා තුනකින් රැගෙන ආවේ ය.

තුර්කි නියෝජ්‍ය අමාත්‍ය එච්. අලි ඔසෙල්, ඉස්තාන්බුල් ගුවන්තොටුපළේදී කෆීයා පැළඳ පැමිණ සිටි ක්‍රියාකාරීන් හමුවූ අතර ඔවුන්ව ජනතාව විසින් ද පිළිගන්නා ලදී.

මෙම කණ්ඩායමට ප්‍රංශ ජාතිකයන් 37 දෙනෙකු ද ඇතුළත් බව ප්‍රංශ විදේශ අමාත්‍යාංශය පවසයි.

ස්පාඤ්ඤ විදේශ අමාත්‍යවරයා පැවසුවේ ස්පාඤ්ඤ ජාතික ෆ්ලෝටිලා සාමාජිකයින් 44 දෙනෙකු පමණ ඊශ්‍රායල වේලාවෙන් පස්වරු 3.00ට ඊශ්‍රායලයෙන් පිටත් වන බව ඊශ්‍රායලයේ සිටින තම රාජ්‍ය තාන්ත්‍රිකයින්ට දැනුම් දී ඇති බව යි.

අයර්ලන්ත විදේශ කටයුතු අමාත්‍ය හෙලන් මැක්එන්ටී පැවසුවේ රඳවාගෙන සිටින අයර්ලන්ත පුරවැසියන් 15 දෙනෙකු තුර්කියට ගුවන් මගින් යැවීමට අපේක්ෂා කරන බව යි.

පිටුවහල් කරන ලද අයර්ලන්ත පුරවැසියන් අතර අයර්ලන්ත ජනාධිපති කැතරින් කොනොලිගේ සහෝදරිය වන ආචාර්ය මාග්‍රට් කොනොලි ද සිටියා ය.

ශ්‍රී ලාංකික වෛද්‍යවරියක සහ ක්‍රියාකාරිනියක වන සමීරා මහ්බුදීන් ද මෙම කණ්ඩායම අතර සිටි අතර, ඇය ද මේ වන විට ඉස්තාන්බුල් වෙත ආරක්ෂිතව ළඟා වී සිටින බව ඇගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා රජය ද, ශ්‍රී ලංකික පුරවැසියෙකු වන ඇයගේ ආරක්ෂාව තහවුරු කිරීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ප්‍රකාශ කළේ ය.

ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පැවසීය: "ප්‍රසිද්ධිය වෙනුවෙන් පැමිණි ෆ්ලෝටිලා කණ්ඩායමේ සියලු ම විදේශීය ක්‍රියාකාරීන් ඊශ්‍රායලයෙන් පිටුවහල් කර ඇත."

"ගාසා තීරයේ නීත්‍යානුකූල නාවික අවහිරය උල්ලංඝණය කිරීමට ඊශ්‍රායලය ඉඩ දෙන්නේ නෑ."

ග්ලෝබල් සුමුද් ෆ්ලෝටිලාවට (GSF) සහභාගී වන බෝට්ටු 50 කට වැඩි ප්‍රමාණයක් පසුගිය බ්‍රහස්පතින්දා [මැයි 14] තුර්කියෙන් සංකේතාත්මක ආධාර ප්‍රමාණයක් රැගෙන පිටත් විය. රටවල් 40කට වැඩි සංඛ්‍යාවකින් පුද්ගලයෝ හාරසිය තිහක් එහි සිටියහ.

ඊශ්‍රායලය එම ක්‍රියාව ප්‍රතික්ෂේප කළේ "හමාස් සංවිධානයේ අවශ්‍යතාවලට සහාය දක්වමින් ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා කළ ක්‍රියාවක්," ලෙස ය.

සඳුදා උදෑසන [මැයි 18], සන්නද්ධ ඊශ්‍රායල නාවික කමාන්ඩෝ භටයින්, සයිප්‍රසයට බටහිරින් පිහිටි ජාත්‍යන්තර මුහුදේදී, ඊශ්‍රායලය විසින් ප්‍රවේශය අවහිර කර ඇති ගාසා වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 250ක් (කිලෝමීටර් 460ක්) පමණ දුරින්, යාත්‍රා සියතට ගැනීම ආරම්භ කළහ.