10 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළ අනුරාධපුර තවත් හිමිනමකට බරපතළ වැඩසහිත සිරදඬුවමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
10 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව විත්තිකාර විහාරාධිපති හිමිනමක වරදකරු බවට අධිකරණය තීන්දු කළේ ය.
ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු සහ මධ්‍යම පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ වත්මන් විනිසුරු රුවන් ධම්මික දිසානායක අද දින (ජූනි 05) මෙම තීන්දුව ලබා දුන්නේ ය.
ඒ අනුව, විත්තිකාර විහාරාධිපති හිමිනමට වසර 24ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, ඊට අමතරව චෝදනා දෙකට රුපියල් ලක්ෂ දෙක හමාර බැගින් රුපියල් ලක්ෂ 5ක වන්දියක් වින්දිත දරුවාට ගෙවන ලෙසට ද නියෝග කළේ ය.
නියම කළ වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකාර හිමිනමට තවත් වසර දෙකක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු රුවන් ධම්මික දිසානායක, චෝදනා දෙකට වෙන් වෙන් වශයෙන් රුපියල් 1500.00 බැගින් දඩ ගෙවන ලෙසට ද නියෝග කෙරිණි.
දඩ ගෙවීම පැහැර හැරියහොත් විත්තිකාර හිමිනම තවත් වසරක සිරදඬුවමකට යටත් වන බව නියෝගයේ සඳහන් විය.
එක් අධිචෝදනාවකට වසර 12 බැගින් වසර 24ක බරපතළ වැඩ සහිත සිරදඬුවම නියම කෙරිණි.
විත්තිකරු නොමැතිව විභාග කෙරුණු නඩුව
මෙසේ දඬුවම් නියම වූයේ, ගලෙන්බිඳුණුවැව සිවලාකුලම ශ්‍රී සීවලි චෛත්‍යාරාම විහාරාධිපති පොල්ගම්පොළ ධර්මාලෝක නමැති 40 හැවිරිදි විහාරාධිපති හිමිනමකට ය.
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවල විත්තිකාර විහාරාධිපති හිමිනම දිගින් දිගට ම අධිකරණය මගහැර පලාගොස් සැඟව සිට තිබිණි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අනතුරුව, විත්තිකරු නොමැතිව මෙම නඩුව විභාගයට ගෙන එහි තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කිරීමට විනිසුරුවරයා කටයුතු කළේ ය.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළ අද දිනයේ ද [ජූනි 05] විත්තිකාර හිමිනම අධිකරණයේ පෙනී නොසිටි අතර, දඬුවම් නියම කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු රුවන් ධම්මික දිසානායක, ගලෙන්බිඳුණුවැව පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ, විත්තිකාර හිමිනම වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.
එකී අත්අඩංගුවට ගැනීමට අදාළව විවෘත වරෙන්තුවක් ද නිකුත් කෙරිණි.
2015 වසරේ මැයි මස 01 වන දා සිට 24 වන දා දක්වා අතර කාලය තුළ අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් ගලෙන්බිඳුණුවැව සිවලාකුලමදී, අවස්ථා දෙකකදී 10 හැවිරිදි බාලවයස්කාර දරුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට නීතීපතිවරයා විසින් ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 365 ආ (2) ආ වගන්ති ප්‍රකාරව ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ විතිතිකාර විහාරාධිපති හිමිනමට එරෙහිව වෙන් වෙන් වශයෙන් අධිචෝදනා 2ක් ගොනු කරනු ලැබ තිබිණි.
මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති අතර නීතිපතිවරයා විත්තිකාර හිමිනමට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණයට නඩුව යොමු කෙරිණි.
පැවිදිවීමට පෙර අත්හිටවූ සිර දඬුවම් ලැබූ අයෙක්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ එවකට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාව සිටි හර්ෂණ මහේන්ද්‍ර කුමාර සේනානායක, මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ ගලෙන්බිඳුණුවැව පොලිසියේ නිලධාරීන් සහ වින්දිත බාල වයස්කාර දරුවා ඇතුළු පිරිසක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියහ.
දස හැවිරිදි බාලවයස්කාර දරුවාගේ දෙමාපියන් තම දරුවාට යහපත් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් දරුවා ගලෙන්බිඳුණුවැව සිවලාකුලම ශ්‍රී සීවලී ච්යෛත්යාරාම විහාරස්ථානයේ විහාරාධිපති වූ මෙම විත්තිකාර හිමිනමට භාර දී ඇති බවත්, ඉන් අනතුරුව විත්තිකාර හිමිනම 10 හැවිරිදි දරුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ අධිනීතීඥ චමික ගුරුගේ පෙනී සිටි අතර, විත්තිකාර විහාරාධිපති හිමිනම අධිකරණය මගහැර පලාගොස් සිටි නිසා එම හිමිනම වෙනුවෙන් කිසිදු නීතීඥයෙකු පෙනී සිටියේ නැත.
ගලෙන්බිඳුණුවැව පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා තිබිණි.
මෙලස බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම වූ පොල්ගම්පොළ ධම්මාලෝක නමැති හිමිනම සිය ගිහි ජීවිතයේදී ගෙවල් බිදිම් සහ මංකොල්ලකෑම්වලට අදාළව අධිකරණයේ පෙර වැරදි දෙකක් ඇති අයෙකු බවත්, එකී පෙර වැරදි සදහා අධිකරණය මගින් අත්හිටවූ සිර දඬුවම් ලබා සිටි අයෙකු බවත් නඩු විභාගයේදී තවදුරටත් හෙළිවිය.


































