ඥානසාර හිමිට එරෙහි වසර 12ක් පැරණි චෝදනාවක් ගැන අධිකරණය ගත් තීරණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කරන දිනය නියම කිරීම සඳහා එය එළඹෙන ජූනි මස 26 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.
ඒ, මෙම නඩුව සඳුදා (ජූනි 1) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.
එහිදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ආරම්භ කෙරුණු අතර රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ වීඩියෝ සාක්ෂි මෙහෙයවීමට තමන් අපේක්ෂා කරන බවත්, ඊට අදාළ වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තිබෙන බවත් සඳහන් කළේ ය.
එම සංයුක්ත තැටි කොළඹ මහාධිකරණයට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස ද රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
'නඩුව කෙටියෙන් අවසන් කර ගන්න අපේක්ෂා කරනවා'
එම අවස්ථාවේදි විත්තිකාර පූජ්‍ය ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසෝක වීරසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, "මීට වසර 14කට පමණ පෙර" සිදුවූ සිද්ධියක් පදනම් කරගෙන මෙම නඩුව ගොනු කර තිබෙන බවත්, එය "කෙටියෙන් අවසන් කර ගැනීමට" සිය සේවාදායකයා අපේක්ෂා කරන බවත් ය. ඒ පිළිබඳ නීතිපතිවරයා සමග සාකච්ඡා කිරීමට තමන් කටයුතු කරන බව ද නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.
එම අවස්ථාවේදී විනිසුරුවරයා ප්‍රකාශ කළේ මෙම චෝදනාවලට වරද පිළිගෙන නඩුව අවසන් කිරීමට විත්තිකරුට හැකියාව තිබෙන බවයි. කෙසේ වෙතත් එම කටයුතුවලට තම අධිකරණය මැදිහත් නොවන බව ද විනිසුරුවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ විත්තියේ නීතිඥවරයා කියා සිටියේ, මෙම නඩුවේ සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කෙරෙන මොරටුව විශ්වවිද්‍යාලය මගින් ඉදිරිපත් කළ වෝහාරික පරීක්ෂණ වාර්තාවේ පිටපත් තමන්ට ලැබී නොමැති බව ය.
එම ලේඛනය විත්තියේ නීතිඥවරයාට ලබා දෙන ලෙස රජයේ නීතිඥවරයාට දැනුම් දුන් විනිසුරුවරයා මෙම නඩුව විභාග කරන දිනය නියම කිරීම සඳහා ජූනි මස 26 වන දා කැඳවන ලෙස නියම කළේ ය.
2014 වසරේ විල්පත්තුව ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකින් ඉස්ලාම් දහමට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.


































