පාසල් දරුවන්ගේ නිවාඩු කාලය සීමා කර තිබීම ඔවුන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට බලපාන්නේ කෙසේ ද?

මුහුදු වෙරළක රැල්ල පාගන පාසල් සිසුවියන් පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, කුමුදු ජයවර්ධන
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

පාසල් අධ්‍යාපනය ගත් කල නිවාඩු කාලය යන්න වැදගත් කරුණක් ලෙස සැලකෙන්නේ, පාසල් දරුවන්ට අවශ්‍ය විවේකය, අවිධිමත් අධ්‍යාපනය සහ විෂය බාහිර ක්‍රියාකාරකම් ලබා ගැනීම සඳහා එම කාලය ඉවහල් වන හෙයිනි.

මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම් අනුව, පාසල් නිවාඩුව යනු අධ්‍යයන කටයුතුවලින් තාවකාලිකව ඉවත් වීමක් පමණක් නොවේ. නිවාඩුව දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මානසික සමතුලිතතාව සහ දරුවන්ගේ සමස්ත සංවර්ධනය ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් සඳහා ලැබෙන නිවාඩු දින ගණන ඉතා අඩු වී තිබේ.

සාමාන්‍යයෙන් මසක කාලයක් ලබා දෙන නිවාඩුව බොහෝවිට සති දෙකක කාලයකට සීමා වී ඇත.

ඉන් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගේ මානසික සහ ශාරීරික යහපැවැත්මට ඇති වන බලපෑම කෙබඳු ද?

පාසල් නිවාඩුව අඩු වුණේ ඇයි?

2025 වසරේ පාසල් නිවාඩුව පළමු වාරයේදී අඛණ්ඩව නොලැබුණු අතර, දින 16, දින 08ක් සහ දින 03ක් යනුවෙන් අවස්ථා තුනකදී නිවාඩු ලැබිණි.

එම වසරේ දෙවන වාරයේ නිවාඩු දින ගණන 09කට සීමා වූ අතර, තෙවන වාරය සඳහා නිවාඩු 28ක් පමණ ලැබිණි.

මේ අතර, 2026 වසරේ පළමු වාරයේ නිවාඩු ද කොටස් දෙකක් වශයෙන් ලබා දුන් අතර, දින 16ක් පළමුව ද දින 9ක් ඊට පසුව ද ලබා දුන්නේ ය.

මෙලෙස අඛණ්ඩව නිවාඩු ලබා දීමට නොහැකි වීමටත්, නිවාඩු දින ගණන අඩු වීමටත් හේතු වූයේ, කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ 2020 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ විභාග පැවැත්වීමට තිබූ බාධා හේතුවෙන් විභාග කාලසටහන වෙනස් කිරීමට සිදුවූ හෙයිනි.

වසර 6ක් ගත වී ඇතත්, 2020 වසරේ සිට ඇති වූ එම විභාග ප්‍රමාදය තවමත් යථාතත්ත්වයට පත්වී නොමැති අතර, 2025 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූයේ, 2026 වසරේ පෙබරවාරි මාසයේදී ය.

'ළමයෙකුට මාසයක නිවාඩුවක් දෙන එක අපරාධයක් විදිහට දකින එක ඉතා ම විනාශාකාරී දෙයක්'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසන්නේ, පාසල් දරුවන්ට වසරකදී මාස තුනකට වරක් මාසයක කාලයක් අඛණ්ඩව නිවාඩු ලබා දීම ඔවුන්ගේ ශාරීරික මෙන් ම මානසික වර්ධනයට ඉතා වැදගත් බව ය.

කොවිඩ් වසංගතය නිසා ලෝකයේ බොහෝ රටවල විභාග දින වෙනස් කිරීමට සිදුවුව ද, එම රටවල් මේ වන විට එය යථාතත්ත්වයට පත් කර ඇතත්, ශ්‍රී ලංකාවේ බලධාරීන් මෙතෙක් එය කිරීමට සමත් වී නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

"ලෝකෙට ම කොරෝනා ආවනෙ. එතකොට ඒ ගොල්ලන්ට පුළුවන් වුණා ඒ රටවල් අධ්‍යාපනය තමන්ට අවශ්‍ය ආකාරයෙන් වෙනස් කර ගන්න, විභාග ක්‍රමය. දැන් අපට 2026 අවුරුද්දත් ඇවිල්ල තියෙනව. තවමත් බැරි වෙලා තියෙනව ලංකාවට විභාග කාලසටහන නිවැරදි දිනයට දාගන්න. තවමත් විභාග තියෙන්න පහු වෙලා. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ."

"මෙතනදි ඉතා ම විනාශකාරී තත්ත්වය තමයි මේ ළමයෙක් මාසයක් විවේක ගන්න එක නිකම් අපරාධ කාලයක් වගේ දකින්න පුරුදු වෙලා තියෙන්නෙ. අනිත් එක තවත් දෙයක් සිද්ධ වෙනව. ළමයින්ට නිවාඩු දුන්නට පස්සෙ පළාත් සභා විසින් ගේනවා, 'නිවාඩුවට අරුතක්' කියල වැඩසටහනක්. නිවාඩුවට අරුතක් කියන්නෙ නිවාඩු කාලෙ පන්ති පැවැත්වීම. ඒක ඇත්තට ම ඊට වඩා විනාශයක්. ඒ දෙන සුළු නිවාඩු කාලෙත් නැති කරනව. ළමයාගේ විවේකය ගැන හිතන්න ඕනෙ."

මේ අතර, උපදේශන මනෝවිද්‍යාඥ ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දෙන්නේ, "අධ්‍යයන ක්‍රියාවලිය තුළ සියලු දරුවන්ට අධ්‍යාපනයෙන් තාවකාලික විවේකයක් ලැබිය යුතු" බව ය.

කෙසේ වෙතත්, දෙමාපියන් කාර්ය බහුල වී ඇති හෙයින් හුදෙකලාව නිවාඩු කාලය ගත කිරීමට සිදුවන ඇතැම් දරුවන් නිවාඩු කාලයට කැමැත්තක් නොදක්වන බව ද ආචාර්ය භාග්‍යා අබේසිංහ පෙන්වා දුන්නේ ය.

'මේ අවුරුද්දේ ඉඳලා ප්‍රශ්නය විසඳනවා' - අධ්‍යාපන නියෝජ්‍ය ඇමති

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කළේ, විභාග කාලසටහන යථාතත්ත්වයට පත් කිරීමට මේ වසරේදී පියවර ගන්නා බව ය.

"නිවාඩු සම්බන්ධයෙන් මේ මොහොතට අදාළව වෙනසක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. අවුරුද්දට මාස තුනක නිවාඩු ප්‍රමාණයක් ඉස්සර තිබුණා. නමුත් කොවිඩ් කාලෙන් පස්සෙ හරියට දින වකවානුවලට විභාග කර ගන්න බැරි වුණා. අපි දැන් මේ අවුරුද්දෙ ඉඳලා මේක යථාතත්ත්වයට පත් කරනවා. ඒකත් එක්ක අපි නිවාඩු කාලය නිසි පරිදි ලබා දෙන්නත් පියවර ගන්න බලාපොරොත්තු වෙනවා."

සාමාන්‍ය ක්‍රමවේදය අනුව වසරකදී අවම වශයෙන් දින 180ක් පාසල පැවැත්වෙන අතර, නිවාඩු කාලය, සෙනසුරාදා, ඉරිදා, පොහොය ඇතුළු විශේෂ නිවාඩු දිනවල පාසල පවත්වන්නේ නැත.

පාසල් නිවාඩුව දරුවන්ට වැදගත් ඇයි?

පාසල් නිවාඩුව මගින් දරුවන්ට ප්‍රතිලාභ රැසක් අත් වන බව ළමා මනෝවෛද්‍යවරුන්ගේ සහ අධ්‍යාපනඥයින්ගේ මතය යි.

ඇමෙරිකාවේ ප්‍රකට ද්විතීක පාසලක් වන Allison Academy අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති ලිපියක මේ පිළිබඳව පැහැදිලි කර තිබේ.

ඒ අනුව, පාසල් නිවාඩු කාලය හරහා දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ කිහිපයක් මෙසේ ය.

පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීම - නිවාඩු කාලය යනු පවුලේ සාමාජිකයින් එකට එකතු වී එකිනෙකාගේ ඇසුර භුක්ති විඳීමට ලැබෙන පොදු කාලයකි.

  • මානසික විවේකය - නිවාඩු කාලය දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ සුවතාව සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් බව ඔප්පු වී ඇත. මන්ද නිවාඩු කාලය විවේකීව සිටීමට හෝ පෞද්ගලික අභිමතය පරිදි විවිධ ක්‍රියාකාරකම් කිරීමට ඉඩ සලසන බැවිනි.
  • කායික සෞඛ්‍යය - නිවාඩු කාලය මානසික සෞඛ්‍යයට පමණක් නොව, ශාරීරික සෞඛ්‍යයට ද ප්‍රයෝජනවත් වේ. පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යය සමතුලිත වන විට ශරීර සෞඛ්‍යයට ද ප්‍රතිලාභ ලැබේ.
  • සංචාරක අත්දැකීම් - නිවාඩු කාලය තුළ සෑම විට ම සංචාර සඳහා නැඹුරුවක් තිබේ. සංචාරවල නිරත වීමෙන් දරුවන්ට නවමු අත්දැකීම්, නව දැනුම සහ මානසික විවේකය හිමි වෙයි.
  • අවධානය වෙනස් කර ගැනීම - නිවාඩු විවේකය දරුවන්ට ඔවුන්ගේ අවධානය වෙනස් කිරීමට සහ පාසල් වර්ෂය තුළ සාමාන්‍යයෙන් ආමන්ත්‍රණය කිරීමට නොහැකි වෙනත් වැදගත් කාර්යයන් සම්පූර්ණ කිරීමට ඉඩ සලසයි. අතපසු වී ඇති හෝ වැඩි අවධානයක් සහ කාලය අවශ්‍ය විය හැකි දේවල් නිම කිරීමට කාලය සහ අවකාශයක් ද නිවාඩු කාලය තුළින් ලැබේ.

දරුවන්ගේ නිවාඩු කාලය අර්ථවත් කරන්නේ කෙසේ ද?

උපදේශන මනෝවිද්‍යාඥ ආචාර්ය භාග්‍යා අබේසිංහ පවසන පරිදි නිවාඩු කාලය අර්ථවත් ලෙස ගත කිරීමට දෙමාපියන්ට නොහැකි වන්නේ නම් දරුවන්ට නිවාඩු කාලයක් ලබා දීමේ ප්‍රතිලාභ ලබා ගත නොහැකි වනු ඇත.

ඇය පෙන්වා දුන්නේ, දෙමාපියන් කාර්ය බහුල වූ විට නිවාඩු කාලය තුළ දරුවන් නිවෙස්වල හුදෙකලා වන බව ය.

එහෙයින්, නිවාඩු කාලයේදී දරුවන් සමග විනෝද චාරිකාවක නිරත වීම, නෑ හිත මිතුරන් හමුවීම, වෙනත් විනෝදාත්මක කටයුත්තක නිරත වීම වැනි බාහිර ක්‍රියාකාරකම්වල නිරත වීමට දෙමාපියන් උත්සහ කළ යුතු බව ඇය අවධාරණය කළා ය.

"දෙමාපියන් දරුවන්ගේ නිවාඩු කාලයේ ඔවුන් සමග හැකි පමණින් කාලය ගත කරන්න උත්සහ කරන්න ඕන. දරුවන්ට නිදහසේ තමන්ගේ දෙමාපියන් එක්ක ගමනක් යන්න, විනෝද වෙන්න, කාලය ගත කරන්න ඉඩක් ලැබෙන්න ඕනෙ. එතකොට තමයි දරුවන්ගේ නිවාඩු කාලය අර්ථවත් වෙන්නේ," ආචාර්ය භාග්‍යා අබේසිංහ වැඩිදුරටත් පැවසීය.