ගුවන් අනතුරට හේතුව පිටස්තර බලවේග - මෙත්රෝජෙට් සමාගම

ඡායාරූප මූලාශ්‍රය, AP

Published

පසුගියදා ඊජිප්තුවේ සිනායි කලාපයට කඩා වැටුණ රුසියානු ගුවන්යානය මුහුණ දුන් අනතුරට එකම හේතුව ‘පිටස්තර බලවේග’ විය හැකි බව එම යානය අයත් ‘මෙත්රෝජෙට්’(Metrojet) ගුවන් සමාගම පවසයි.

අද (02) මොස්කව් නගරයේ පැවැත්වුන ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දැක්වූ එකී සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේ ගුවන් යානයේ නියමුවාගේ වරදක් සහ යානයේ තාක්ෂණික දෝෂ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙමින් පවතින අදහස් බැහැර කරන බවයි.

ගුවන් යානය අනතුරට ලක් වුණේ ඊජිප්තුවේ ‘ෂරාම් එල් ෂේක්’ නිවාඩු නිකේතනයේ සිට රුසියාවේ පීටර්ස්බර්ග් නගරය කරා පියාසර කරමින් තිබියදී.

මොස්කව් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ‘මෙත්රෝජෙට්’ ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා අනතුරට ලක් වූ යානය ගුවන් ගත කිරීමට පෙර එහි වලිගයේ අලුත්වැඩියාවක් කරන ලද බව පිළි ගත්තේය.

ඡායාරූප මූලාශ්‍රය, AP

යානය අනතුරකට ලක් වීමට එම අලුත්වැඩියාවට හේතු වූ තාක්ෂණික දෝෂය හේතු විනැයි සිතිය නොහැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

අඩි 31000 ක් ඉහළ අහසේ දී සිදු වූ ගුවන් අනතුරින් ජීවිත 224 ක් විනාශ විය.

යානය බිම හෙලන ලද බවට IS ඉස්ලාමීය ගරිල්ලන් කරන ප්‍රකාශය රුසියාව මෙන්ම ඊජිප්තුව විසින් බැහැර කරනු ලැබ ඇත.