අන්තවාදීන්ට ආණ්ඩුව පෙරලන්න බෑ - ජනපති

"ඒ අන්තවාදීන් කියනවා මේ රටේ නැවත එල්ටීටීඊය ඔලුව උස්සන්න අපේ ආණ්ඩුව ඉඩදෙනවයි කියල. මේ රටේ නැවත යුද්ධයක් ඇතිවෙන්න කිසිසේත් අපි ඉඩදෙන්නේ නෑ කියල සහතික වෙනවා"
ඡායාරූප ශීර්ෂ වැකිය, "ඒ අන්තවාදීන් කියනවා මේ රටේ නැවත එල්ටීටීඊය ඔලුව උස්සන්න අපේ ආණ්ඩුව ඉඩදෙනවයි කියල. මේ රටේ නැවත යුද්ධයක් ඇතිවෙන්න කිසිසේත් අපි ඉඩදෙන්නේ නෑ කියල සහතික වෙනවා"
Published

ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කරනු වස් සිය ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙල රටේ ජනතාව අනුමත කරන බැවින් කුමන්ත්‍රණ මගින් සිය රජය පෙරලීමට අන්තවාදීන්ට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ නත්තල් කැරොල් වැඩසටහනකට සහභාගි වීම පිණිස යාපනයේ සංචාරයක් යෙදුනු අවස්ථාවේ යුද අනාථයන් හමුවීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින්.

"ඒ අන්තවාදීන් කියනවා මේ රටේ නැවත එල්ටීටීඊය ඔලුව උස්සන්න අපේ ආණ්ඩුව ඉඩ දෙනවයි කියල. මේ රටේ නැවත යුද්ධයක් ඇතිවෙන්න කිසිසේත් අපි ඉඩදෙන්නේ නෑ කියල සහතික වෙනවා." ජනාධිපතිවරයා පැවසීය.

2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වූ නමුත් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට පැවති රජය අපොහොසත් වූ බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන: "මේ රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටිලයි කියන අය යුද්ධය ඇතිවීමට හේතු සෙවිය යුතුයි. මේ රටේ අන්තවාදීන්ට මම ආරාධනා කරනවා උතුරේ ජනතාව හමුවෙන්නයි කියල."

ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට තමන් සූදානම් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

වසර විසිපහක් මුළුල්ලේ අනාථ කඳවුරුවල වෙසෙන දෙමළ ජනතාව මුණගැසීම පිණිස කෝනපුලම් සහ මල්ලාකම් කඳවුරුවලද සංචාරය කළ ජනාධිපතිවරයා, එහි පැමිණ එම ජනතාවගේ දුක සැප විමසා බලන මෙන් සිය 'විරුද්ධවාදීන්' ගෙන් ඉල්ලා සිටියේය.

"ඒගොල්ල සියලු දෙනාම එක හඬින් අත් උස්සලා ඒක කතාවක් කිවුව. අපි අවුරුදු 25 කට කලින් හිටපු තැනට අපිව ගෙනිහින් දාන්න කියල. ඒක නිසා මම කොළඹ ඉඳන් කෑගහන අන්තවාදීන්ට කියනවා, බොරුවට කෑගහන්නේ නැතුව ප්‍රශ්නේ තේරුම් ගන්න කියල."

ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇති බව පවසමින් 'ඉක්මනින් ආණ්ඩු හදන්න බලාපොරොත්තු වන අන්තවාදීන්ට' කුමන්ත්‍රණ මගින් ආණ්ඩු පිහිටුවීමට ජනතාව ඉඩ නොතබන බවත් ඔහු පැවසීය.

"පාර්ලිමේන්තු කුමන්ත්‍රණවලින් අලුතෙන් ආණ්ඩු හදන්න මමත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයත් ඉඩ තියෙන්නේ නැහැ."

ශ්‍රී ලංකාවාසීන්ගේ නිදහස සහ සංහිඳියාව වෙනුවෙන් එකමුතු වන මෙන් නත්තලේදී සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.