කාටත් පිළිගත හැකි දේශීය යාන්ත්‍රණයකට සහය - ඇමරිකාව

ඡායාරූප මූලාශ්‍රය, U.S. Embassy Colombo

Published

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සඳහා කාටත් පිළිගත හැකි දේශීය යාන්ත්‍රණයකට සහය දක්වන බව ඇමරිකාව ප්‍රකාශ කරයි.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් අද, බදාදා මාධ්‍ය හමුවක් අමතමින් එසේ ප්‍රකාශ කළාය.

සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කොමිසමේ දී ඉදිරිපත් කෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාව ගැනත් සාකච්ඡා කෙරෙන බව පැවසූ ඇය ජිනීවා සාකච්ජාවලදී දේශීය යන්ත්‍රණයක් සඳහා ඇති ඉඩ කඩ සාකච්ඡා කෙරෙන බව කියා සිටියාය.

ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාව

එහෙත් දෙමළ ජාතික සන්ධානය ඇමරිකාවෙන් ඉල්ලා සිටින්නේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාව ගැන රජය සමඟ සාකච්ඡා කරන ලෙසයි.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්න, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, නැවත පදිංචි කිරීම් ඇතුළු දෙමළ ජාතිකයන් මුහුණ දෙන ගැටළු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සමඟ සාකච්ඡා කළ බව බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම.සුමන්දිරන් පැවසුවේය.