බොදු බල සේනාව ඇමැති කාර්‍යාලයත් වටලති

Published

අද (බදාදා) දහවල් බොදුබල සේනාවට අයත් පිරිසක් කොළඹ කොල්ලුපිටියේ ඇති රිෂාඩ් බද්යුදීන් ඇමැතිවරයාගේ කාර්‍යාලය වැටලූහ.

ඉන්පසු වටරැක විජිත හිමි එතුළ සැඟවී ඇති බව පවසමින් ඔවුන් කාර්යාල ගොඩනැගිල්ල තුලට ඇතුල් වී ඇත.

සිද්ධිය වන විට අමාත්‍යවරයා කාර්යාලයේ නොසිටි බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේ වටරැක විජිත හිමියන් විසින් පවත්වන්නට යෙදුනු ජාතික බල සේනා සංවිධානය හඳුන්වා දීමේ මාධ්‍ය හමුවට කඩා වැදුණ බොදු බල සේනා කණ්ඩායම ඉන් පසු ඊයේ (අඟහරුවාදා) මහියංගන ප්‍රාදේශීය සභා රැස්වීමට සහභාගී වීමට ගිය විජිත හිමියන් ට එහි ඇතුළු වීමට ඉඩ නො දෙමින් විරෝධතාවය පළ කළහ.

මහියංගනයේ පැවති විරෝධතාවයෙන් පසු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹට රැගෙන ආ විජිත හිමි රිෂාද් ඇමතිවරයාගේ කාර්යාලයේ සැඟවී සිටින බවට ලැබුණ තොරතුරක් අනුවයි ඔවුන් මෙසේ එම කාර්යාලය වටලා ඇත්තේ.