දෙජාස දෙවැනි බෝනස් ආසනය කාන්තාවකට

TNA leaders after election victory
ඡායාරූප ශීර්ෂ වැකිය, ලබන වසරේ කෝටාව ජන කණ්ඩායමකට ලබා දෙන බව දෙජාස පවසයි
Published

උතුරු පළාත් සභාවේ තමන්ට හිමි වූ දෙවැනි බෝනස් ආසනය විවිධ ජාතීන් සහ ජන කණ්ඩායම් වෙනුවෙන් කෝටා ක්‍රමයකට ලබා දීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

එක් මන්ත්‍රීවරයෙකුට බෝනස් ආසනය හිමිවන කාල සීමාව වසරක් බවද දෙජාස මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් බීබීසී දෙමළ සේවයට කියා සිටියේය.

මේ අනුව කාන්තාවන් වෙනුවෙන් මුලතිවු ප්‍රදේශයෙන් තරඟ වැදුණු කමලා ගුනසීලන් පළමු වසර සඳහා පත් කිරීමට සන්ධානය තීන්දු කොට තිබේ.

මෙතෙක් උතුරු පළාත් සභාවට තේරී පත් වී සිටි එකම කාන්තාව, හිටපු එල්ටීටීඊ නායක එලීලන්ගේ බිරිඳ ආනන්දි සසීහරන් පමණි.

කාන්තාවන්, ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව සහ විවිධ ආගම්වල නියෝජිතයන්ට බෝනස් ආසනය පිරිනැමීම පිළිබඳව සන්ධාන නායකයන්ගේ අවධානය යොමු වී තිබේ.

කෙසේ නමුත් අමාත්‍ය පදවි පිළිබඳව තවමත් එකඟත්වයක් නැති බවද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පළමු බෝනස් ආසනය සඳහා මැතිවරණයේදී පරාජයට පත් වූ දෙජාස අපේක්ෂක අස්මින් අයුබ් පත් කිරීමට සන්ධානය පසුගියදා තීන්දු කළේය.