සිංගප්පූරු ගිය ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ගැන අධිකරණය ගත් තීරණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා විදේශගත වූ තමන් යළි ශ්‍රී ලංකාවට පැමිණීමේදී තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්‍ෂ අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රයක් ගොනු කර තිබේ.
එය හෙට (ඔක්: 06) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිත ය.
අත්අඩංගුවට ගැනීමකින් තොරව ආරක්‍ෂිතව තමන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වන අයුරින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිරන්ති රාජපක්‍ෂ ගොනු කළ අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රය සලකා බැලීමෙන් අනතුරුව එය කැඳවීමට තීරණය කෙරිණි.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා නියෝග කළේ, අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රය හෙට දිනයේ කැඳවන ලෙස ය.
මෙම අපේක්‍ෂිත ඇප අයැදුම් පත්‍රයේ වගඋත්තරකරු වශයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා නම් කර ඇත.
සිරිලිය සවිය ගිණුමක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවත්වාගෙන යන විමර්ශනයකට අදාළව එම කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දෙන ලෙස දැනුම් දී තිබියදී පසුගිය මස 18 වන දා ශිරන්ති රාජපක්‍ෂ ඇගේ ඥාතියෙකු සමග කටුනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපළින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර, එසේ ගුවන් තොටුපළින් පිටත්ව යාමට සූදානම් වෙද්දී රහස් පොලිස් නිලධාරීන් විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් ද කර තිබිණි.
එලෙස දැනුම් දීම් කර තිබියදී ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය විදේශ ගතවූ අතර ඇසේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඇය සිංගප්පූරූවට ගිය බවත්, ප්‍රතිකාර අවසන් වී යළි ශ්‍රී ලංකාවට පැමිණී විගස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශයක් දීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මාධ්‍ය ලේකම් නීතීඥ මනෝජ් ගමගේ පසුගිය දා ප්‍රකාශ කළේ ය.





























