ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීම: CID නිලධාරීන්ගෙන් අධිකරණය වෙත අලුත් කරුණු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
මහා භාණ්ඩාගාරය හරහා ණය වාරිකයක් ගෙවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධව සිදු කරන විමර්ශනවල ප්‍රගතිය ජූලි මස 08 වන දා ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූනි 03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
මෙම නඩු කරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබී ය.
CID නිලධාරීන් අධිකරණයට දුන් තොරතුරු
එහිදී විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ, ණය ගෙවීම් කටයුතු සිදුකළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුල් ගිවිසුම පිළිබඳ කරුණු විමසීමක් සිදුකර හෝ කිසිදු තොරතුරු විමසීමකින් තොරව එක්ස්පෝට් ෆයිනෑන්ස් ඔස්ට්‍රේලියා නම් ආයතනයේ ඊමේල් ලිපිනය හරහා ලැබී ඇති ඉන්වොයිස් එකක් මත පදනම්ව ණය ගෙවීම් කටයුතු සිදුකර තිබෙන බව ය.
එම මුදල් ගෙවීම්වලට අදාළ ඉන්ටර්නෙට් සර්වර් පද්ධතියේ දත්ත පිටපත් කර අවසන් බවත් පොලීසිය පැවසීය.
එම දත්ත ඇතුළත් සංයුක්ත තැටි 04ක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික පරිගණක අංශයට යොමු කර වාර්තාවක් කැඳවීමට අවශ්‍ය බවත්, ඊට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා ඊට අදාළ නියෝග නිකුත් කළේ ය.
42 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනේ
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 42දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.
වැඩ තහනමට ලක්ව සිටියදී මියගිය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්ත රාජපක්ෂගේ මරණ පරීක්ෂණ වාර්තාවේ පිටපතක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට ඉදිපත් කළහ.
මෙම විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීම සඳහා ඉදිරි දිනයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඉන් අනතුරුව මෙම නඩුකරය ජූලි මස 8 වන දා යළි කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එදින විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කළේ ය.

































