මැයි 11 සිට විදුලිය ගාස්තු 18%කින් ඉහළ දැමීම බලපාන්නේ කාට ද?

Elec bill

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

2026 වසරේ දෙවන හා තෙවන කාර්තුවලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ මාසිකව ඒකක 180 ඉක්මවා විදුලිය පරිභෝජනය කරන පාරිභෝකයින්ගේ විදුලිය ගාස්තු 18%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ.

ඒ අනුව, ඒකක 180ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොවනු ඇත.

විදුලි පිරිවැය ඉහළ යාම හේතුවෙන් රුපියල් බිලියන 38ක පමණ හිඟයක් ඇතුළු කාරණා 3ක් මුල්කර ගනිමින් විදුලිය ගාස්තු 18%කින් ඉහළ නැංවීමට අවසර දුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසීය.

මෙම විශේෂ ගාස්තු සංශෝධනය මැයි 11 වන දා සිට ක්‍රියාත්මක වේ.

මෙම ගාස්තු සංශෝධනය අනුව 18%ක ගාස්තු වැඩිවීම බලපාන කාණ්ඩ

  • ගෘහස්ථ හා ආගමික සිද්ධස්ථාන (ඒකක 180ට වැඩි නම්) – 18%ක වැඩිවීමක්
  • පොදු කාර්යය (GP 1/) ඒකක 180ට අඩු කාණ්ඩ සඳහා ගාස්තු වැඩිවීමක් නොමැත
  • පොදු කාර්ය (GP 2, GP 3) කාණ්ඩ සඳහා - 18%ක ගාස්තු වැඩිවීමක්
  • සියලු ම රාජ්‍ය ආයතන - 18%ක ගාස්තු වැඩි වීමක්
  • හෝටල් ක්ෂේත්‍රයේ H1 සහ H2 සඳහා ගාස්තු ඉහළ යාමක් නොමැත. විදුලි පරිභෝජනය වැඩිනම් 18%ක ගාස්තු වැඩි වීමක්
  • සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා ගාස්තු වැඩිවීමක් නොමැත. විශාල ප්‍රමාණයේ කර්මාන්ත සඳහා 18%ක ගාස්තු වැඩිවීමක්.

කොන්දේසි 4ක්

මෙම ගාස්තු සංශෝධනයට සමගාමීව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලි බල කර්මාන්තයේ බලපත්‍රලාභීන්ට කොන්දේසි කිහිපයක් ද පනවා තිබේ.

  • ආනයනික ද්‍රව පොසිල ඉන්ධන මත රඳා පැවැත්ම ඉවත් කිරීම සඳහා නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් 2026දී විදුලි ජනන සැලැස්ම සංශෝධනය කර 2030 වන විට ඉලක්ක ළඟා කර ගත යුතු ය.
  • 2030ට පෙර විදුලි පාරිභෝගිකයින්ගේ මට්ටමින් කෙටි හා මධ්‍ය කාලීන බැටරි ගබඩා ප්‍රවර්ධනයට පියවර ගත යුතු ය.
  • බලපත්‍රලාභීන් විසින් නිසි කලට නිවැරදි ලෙස ගාස්තු සංශෝධනවලට අදාළ තොරතුරු ඉදිරිපත් කළ යුතු බව සහ ප්‍රමාද වී කෙරෙන ඉදරිපත් කිරීම් සහ දෝෂ සහිත ඉදිරිපත් කිරීම් හේතුවෙන් මතු වන හිඟයන්වල වගකීම බලපත්‍රලාභීන් විසින් දැරිය යුතු අතර, එම හිඟයන් පාරිභෝගිකයින්ගෙන් අය කර ගැනීමට ඉඩ නොදෙනු ලැබේ.
  • විදුලි ගාස්තුවලදී ලැබෙන අතිරික්ත ප්‍රතිපාදන ඉදිරි ගාස්තුවලදී පාරිභෝගිකයින් වෙත සම්ප්‍රේෂණය තහවුරු කිරීම සඳහා එම මුදල් වෙනත් අවශ්‍යතා සඳහා වියදම් කිරීම වැළැක්වීමට පියවර ගත යුතු ය.

විශේෂ තීන්දු කිහිපයක්

ඊට අමතරව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විශේෂ තීන්දු කිහිපයක් ද ගෙන තිබේ.

  • විදුලිය ජනනය සඳහා සාධාරණ මිල ගණන් යටතේ ඉන්ධන මිල දී ගැනීම සඳහා ගිවිසුම් ගත වන ලෙස නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට නිකුත් කර තිබූ බලාත්මක කිරීමේ නියෝගය කඩකිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.
  • විදුලි ජනනය සඳහා මිල දී ගන්නා ඉන්ධන සඳහා මිල නියම කිරීමේ විනිවිදභාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විභාගයක් පැවැත්වීම.
  • විදුලි ජනනය සඳහා භාවිත කෙරෙන ඉන්ධන මිල පාරදෘශ්‍ය ක්‍රමයකට තීරණය කිරීම සඳහා ගිවිසුම්ගත විය යුතු බවට පෞද්ගලික බලාගාරවලට නියෝග කිරීම.
  • විදුලිය මිල දී ගැනීම සහ සැපයීමට අදාළව 2026 සැප්තැම්බර් 9 වන දිනට පෙර ගිවිසුම්ගත විය යුතු බවට නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම, ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් සමාගම, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් සමාගම සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට බලාත්මක කිරීසේ නියෝගයක් නිකුත් කිරීම.

එම තීන්දු 4 වේ.