කොළඹ වරායේ ඩොලර් මිලියන 390ක ලොජිස්ටික් ව්යාපෘතියෙන් චීන සමාගමක් ඉවත් වුණේ ඇයි?

ඡායාරූප මූලාශ්රය, Getty Images
- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
'චයිනා මර්චන්ට්ස් පෝට් හොල්ඩින්ග්ස්' නමැති චීන සමාගම, කොළඹ වරායේ ස්ථාපනය කිරීමට යෝජිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 390කට ආසන්න සැපයුම් මධ්යස්ථාන ව්යාපෘතියෙන් ඉවත් වී තිබේ.
චීනයේ ෆෝචූන් සෙන්ටර් ගෲප් ලිමිටඩ් (FCGL) හි අනුබද්ධ සමාගමක් වන 'චයිනා මර්චන්ට්ස් පෝට් හොල්ඩින්ග්ස්' සඳහා මෙම ව්යාපෘතිය වෙනුවෙන් ශ්රී ලංකා රජය අවසර ලබාදී තිබුණේ, 2023 වසරේදී ය.
දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්යස්ථාන ව්යාපෘතිය අත්හිටුවීමට තීරණය කළ බව එම චීන සමාගම 2026 ඔක්තෝබර් 15 වන දින හොංකොං කොටස් වෙළෙඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී තිබිණි.
වසර 50ක කාලසීමාවකට අයත් 'ඉදිකිරීම, මෙහෙයවීම සහ පැවරීම' පදනම යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබූ මෙම ව්යාපෘතිය, දකුණු ආසියාවේ විශාලතම සැපයුම් සංකීර්ණවලින් එකක් වීමට නියමිතව තිබිණි.
ව්යාපෘතියේ හිමිකාරිත්වය සහ ආයෝජන මුදල
මෙම ව්යාපෘතියේ 70%ක කොටස් හිමිකාරිත්වයක් චීන සමාගම සතුව පැවති අතර, ශ්රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සස් ඉංජිනියරින් සමාගම 15% බැගින් වූ කොටස් හිමිකාරිත්වයක් දැරීය.
එම පාර්ශව එක්ව අමෙරිකානු ඩොලර් මිලියන 37.14ක මුදලක් ව්යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කර තිබූ අතර, ඉන් ඩොලර් මිලියන 26ක් චීන සමාගම යොදවා තිබිණි. සෙසු මුදල ශ්රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සස් ඉංජිනියරින් සමාගම යොදවා තිබිණි. එහිදී ශ්රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සස් ඉංජිනියරින් සමාගම ඇමෙරිකානු ඩොලර් 5.57 බැගින් ව්යාපෘතිය සඳහා ආයෝජනය කර තිබේ.
ව්යාපෘතිය අත්හිටුවීමෙන් ඇති වන මූල්ය බලපෑම
ගිවිසුම්ගත සමථ ගිවිසුමට අනුව, කොටස් හිමියන්ගේ ගිවිසුම සහ BOT ගිවිසුම ප්රකාරව අදාළ ව්යාපෘති සමාගම ව්යාපෘතිය සඳහා අදාළ සමාගමේ කොටස් හිමියන් විසින් සිදුකරන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 26ක ආයෝජනය, අදාළ බදු සහ ප්රමාද ගෙවීම් වගකීම් අඩු කිරීමෙන් පසුව, සමථ ගිවිසුමේ නියමිත ආකාරයට කොටස් හිමියන් වෙත ගෙවීමට ශ්රී ලංකා වරාය අධිකාරිය එකඟ වී ඇති බව 'චයිනා මර්චන්ට්ස් පෝට් හොල්ඩින්ග්ස් විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව, ශ්රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු එකතු කළ අගය මත බද්ද ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 3.9ක් ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් දැනටමත් නිරවුල් කර ඇති අතර, ප්රමාද ගෙවීම් වගකීම ලෙස ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් 195,000ක මුදල ද කඩිනමින් නිරවුල් කිරීමට පියවර ගනු ඇති බව එහි සඳහන් වේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉතිරි වන ඇමෙරිකානු ඩොලර් මිලියන 21.905ක මුදල, සමථ ගිවිසුමට අත්සන් කළ දින සිට දින 30ක් ඇතුළත, එක් වරක් ගෙවන එකතුවක් ලෙස ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් අදාළ සමාගම වෙත ගෙවනු ලබන අතර, එම මුදල අවසානයේ ෆෝචූන් සෙන්ටර් ගෲප් ලිමිටඩ්, ඇක්සස් ඉංජිනියරින් සහ ශ්රී ලංකා වරාය අධිකාරිය අතර පිළිවෙලින් 70%, 15% සහ 15% බැගින් බෙදා හරිනු ලැබේ.
ඊට අමතරව, 2025 දෙසැම්බර් 31 දිනට අදාළ ව්යාපෘති සමාගමේ විගණනය කළ මූල්ය ප්රකාශනවල සඳහන් වන, බෙදාහැරිය හැකි ඇමෙරිකානු ඩොලර් මිලියන 7.85ක මුදල් සංචිතය ද, සමථ ගිවිසුමට අත්සන් කළ දින සිට දින 30ක් ඇතුළත ෆෝචූන් සෙන්ටර් ගෲප් ලිමිටඩ්, ඇක්සස් ඉංජිනියරින් සහ ශ්රී ලංකා වරාය අධිකාරිය අතර පිළිවෙළින් 70%, 15%, සහ 15% බැගින් බෙදා හරිනු ඇත.
අදාළ බදු සහ ප්රමාද වී ගෙවීම් හේතුවෙන් පැන නගින වගකීම් අඩු කිරීමෙන් අනතුරුව, ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් ඉහත සඳහන් ඇමෙරිකානු ඩොලර් මිලියන 26ක මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 21.905ක් 2025 දෙසැම්බර් 31 වන දිනට ව්යාපෘති සමාගමේ විගණනය කරන ලද මූල්ය ප්රකාශනවලට අනුව බෙදා හැරිය හැකි මුදලක් ලෙස පවතින ඇමරිකානු ඩොලර් මිලියන 7.85ක් ද, ෆෝචූන් සෙන්ටර් ගෲප් ලිමිටඩ්, ඇක්සස් ඉංජිනියරින් සහ ශ්රී ලංකා වරාය අධිකාරිය අතර පිළිවෙළින් 70%, 15% සහ 15% යන අනුපාතයන්ට අනුව ගෙවනු ඇත.
ඒ අනුව, ෆෝචූන් සෙන්ටර් ගෲප් ලිමිටඩ් වෙත සහ ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20.83ක්, ඇමරිකානු ඩොලර් මිලියන 4.46ක් ඇක්සස් එන්ජිනියරිං සහ ශ්රී ලංකා වරාය අධිකාරිය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 4.46ක් වශයෙන් ලැබෙනු ඇති බව සඳහන් වේ.

ඡායාරූප මූලාශ්රය, Screen Shot
ව්යාපෘතිය අවසන් කිරීමට හේතු වූ කරුණු
තට්ටු පහකින් යුතු මෙම දැවැන්ත සැපයුම් සංකීර්ණය සඳහා 2023 දෙසැම්බර් මාසයේදී ශ්රී ලංකා රජය 'මූලෝපායික සංවර්ධන ව්යාපෘති' තත්ත්වය ලබා දුන් අතර, වසර 15ක කාලයක් සඳහා ආයතනික ආදායම් බදු සහ ලාභාංශ බදුවලින් නිදහස් කිරීම් ඇතුළු බදු සහන රැසක් ද ලබා දී තිබිණි.
බාහිර තත්ත්වයන්ගේ වෙනස්වීම්, ව්යාපෘතිය ක්රියාත්මක කිරීමේ පරිසරය සහ කාලරාමුව වෙනස් වීම් මෙන් ම පාර්ශවයන්ගේ වාණිජමය සැලකිලිමත්වීම් සැලකිල්ලට ගනිමින්, ව්යාපෘතිය අවසන් කිරීම සියලු පාර්ශවයන්ගේ යහපත උදෙසා වන බව සමාගම තීරණය කර ඇති බව චයිනා මර්චන්ට්ස් පෝට් හොල්ඩින්ග්ස් විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
"සුහද සාකච්ඡා සහ මධ්යස්ථ ලෙස කටයුතු කිරීමේ" මූලධර්ම මත පදනම්ව මෙම ව්යාපෘතිය අවසන් කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

ඡායාරූප මූලාශ්රය, Facebook
'අවුරුදු 04ක් ගියත් ව්යාපෘතිය ආරම්භ කළේ නැහැ'
කොළඹ වරායේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ සැපයුම් මධ්යස්ථාන ව්යාපෘතිය අවලංගු කිරීමට හේතුව අදාළ ව්යාපෘතිය භාර දී තිබූ චීන සමාගම වසර 04කට ආසන්න කාලයක් යන තෙක් එය ක්රියාත්මක කිරීමට කටයුතු නොකිරීම බව වරාය සිවිල් ගුවන් සේවා සහ විදුලි බල අමාත්ය අනුර කරුණාතිලක බීබීසී සිංහල වෙත පැවසීය.
මෙම ව්යාපෘතිය අවසන් කිරීමෙන් අනතුරුව නව ව්යාපෘතියක් ආරම්භ කිරීමට ඉඩ සැලසෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
"මේ ප්රොජෙක්ට් එක 2023 වෝට් කරලා තියෙන්නේ. හැබැයි 2023 දී එයාලා ඒකට වෝට් කළාට එතනින් එහාට කිසි ම දෙයක් කරලා තිබුණේ නැහැ. ලොජිස්ටික්ස් හබ් එකේ වැඩ කටයුතු ඉස්සරහට ගෙනියන්නේ නැති නිසා. මේකට මුදල් යොදවන්න මේ චීන සමාගම යි, ඇක්සස් ඉංජිනියරිං එක යි, ඊට පස්සේ ශ්රී ලංකා වරාය අධිකාරිය යි.
එතකොට මිලියන 29ක් මේකට මුදල් කොටස් දාලා තිබුණා හැමෝම. දැන් ප්රොජෙක්ට් එක ටර්මිනේට් වෙච්ච නිසා මේ මුදල නැවත ඒ ආයතනවලට ගෙවන්න තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. එතකොට බදු මුදලක් ඩිලේ පේමන්ට් එකෙන් අඩු කළා, යොදලා තිබ්බ මුදලෙන්. ඉතුරු මිලියන 21යි ගාණක් තමයි නැවත ගෙවන්න තීරණය කරලා තියෙන්නේ. එතකොට එයින් කොටසක් ශ්රී ලංකා වරාය අධිකාරියට එනවා. කොටසක් චයිනා මර්චන්ට්ස් පෝට් හොල්ඩින්ග්ස් එකට එනවා. කොටසක් ඇක්සස් ඉංජිනියරිං එකට එනවා.
එතකොට මෙහෙම කළේ, නැවත පාරක් ලොජිස්ටික්ස් හබ් එක පටන් ගන්න අවකාශය සලසා ගන්න තමයි තියෙන කලින් ගිවිසුම කැන්සල් කරන්නේ.
එහෙම නැතුව වෙන ප්රශ්නයක් නිසා නෙමෙයි. මොක ද චයිනා කම්පැනි එකයි වැඩේ පටන් ගත්තේ නැත්තේ. දැන් අවුරුදු 04කට ආසන්න කාලයක් වෙනවා මේ ව්යාපෘතිය පවරලා. දැන් අපි අලුත් විදිහකට මේක ඉස්සරහට කරන්න යන්නේ," අමාත්යවරයා පැවසුවේය.
ශ්රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ කුමක්ද ?
චයිනා මර්චන්ට්ස් පෝට් හොල්ඩින්ග්ස්' සමාගම කොළඹ වරායේ ස්ථාපනය කිරීමට යෝජිතව තිබූ සැපයුම් මධ්යස්ථාන ව්යාපෘතියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ශ්රී ලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඒ වෙනුවට රාජ්ය - පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) ආකෘතියක් යටතේ කොළඹ වරාය තුළ නව සැපයුම් මධ්යස්ථානයක් සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බව ය.
පෙර යෝජිත ඒකාබද්ධ ව්යාපාරය අත්හිටුවීමට තීරණය කළ ද, ජාත්යන්තර නාවික වෙළෙඳාම සහ සැපයුම් දාමයන්ගේ වෙනස්වන අවශ්යතා සපුරාලීම සඳහා කොළඹ වරාය තුළ නවීන ලොජිස්ටික් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා වරාය අධිකාරිය තවදුරටත් කැපවී සිටීන බව ඔවුන් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව, අවශ්ය අනුමැති ලබාගෙන, තරඟකාරී ලංසු කැඳවීමක් හරහා රාජ්ය - පෞද්ගලික හවුල්කාරීත්ව ආකෘතිය යටතේ නව සැපයුම් මධ්යස්ථානයක් ස්ථාපිත කිරීම අරමුණු කරගත් විකල්ප සංවර්ධන උපායමාර්ගයක් අනුගමනය කිරීමට ශ්රී ලංකා වරාය අධිකාරිය තීරණය කර ඇත.
මෙම ව්යාපෘතිය යටතේ කොළඹ වරාය තුළ විශාල භූමි ප්රමාණයක් භාවිත කරමින්, වරාය ආශ්රිත සහ අගය එකතු කරන ලද සැපයුම් ක්රියාකාරකම් රාශියකට සහාය විය හැකි අංගසම්පූර්ණ නවීන සැපයුම් මධ්යස්ථානයක් බවට සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන මගින් කොළඹ වරාය ප්රධාන වශයෙන් බහාලුම් ප්රතිප්රේෂණ මධ්යස්ථානයක් වීමෙන් ඔබ්බට ගොස්, නාවික හා සැපයුම් සේවා සපයන අංගසම්පූර්ණ සැපයුම් මධ්යස්ථානයක් බවට පරිවර්තනය කිරීමට දායක වනු ඇති බව ශ්රී ලංකා වරාය අධිකාරිය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.


































