වැලිඔය ඇඟලුම් සේවකයන් 148කට රැකියා අහිමි වෙයි; තවත් 275ක් අවදානමේ: කර්මාන්තශාලාවේ මෙහෙයුම් තවකාලිකව නවතා දැමීමට මැද පෙරදිග යුද්ධය හේතුවක් බව සමාගම පවසයි

ශානිකා අප හමුවීමට පැමිණියේ ඇගේ පියා මිය යාමට පෙර භාවිත කළ අබලන් තත්ත්වයේ පැවති යතුරුපැදියකින් ය.
ඡායාරූප ශීර්ෂ වැකිය, ශානිකා අප හමුවීමට පැමිණියේ ඇගේ පියා මිය යාමට පෙර භාවිත කළ අබලන් තත්ත්වයේ පැවති යතුරුපැදියකින් ය.
    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල, වැලිඔය සිට
  • කියවීමේ කාලය: මිනිත්තු 13

"මම 1996 ඉඳලා මහන්නේ. මම මේ රස්සාවට ගොඩක් ආදරෙයි."

මෙලෙස බීබීසී සිංහල සමග අදහස් දැක්වූයේ පසුගිය අප්‍රේල් විසිවන දා අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව තමා සේවය කරන කර්මාන්තශාලාවට පැමිණිවිට එම කර්මාන්තශාලාව ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු වෙනස් කොට ඇති බැවින්, තමා කළ රැකියාව අහිමිවීමේ අවධානමට ලක්ව සිටින ගීතිකා බණ්ඩාර ය.

වසර තිහකට ආසන්න කාලයක් ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත වූ ගීතිකා අලුත් අවුරුදු නිවාඩුව දක්වා සේවය කළ කර්මාන්තශාලාවේ දැනට වසර පහකට ආසන්න කාලයක් සේවය කොට තිබේ.

නමුත් ඇය දැන් සිය රැකියාව අහිමිවීමේ අවධානමකට ලක්ව සිටින අතර, එම ඇඟලුම් කර්මාන්තශාලාවේ පරිපාලනය පවසන ආකාරයට ඔවුන් මෙම තත්ත්වයට මුහුණ දීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මැද පෙරදිග කලාපයේ වර්තමානයේ පවතින යුදමය වාතාවරණයයි.

උතුරු පළාතේත්, උතුරු මැද පළාතේත් මායිමට ආසන්නයේ අතිශය දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති වැලිඔය ප්‍රදේශය අයත් වන්නේ මහවැලි එල් කලාපයට යි.

ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරා පැවති සිවිල් යුද්ධ සමයේ ද මායිම් ගම්මානයක් වූ වැලිඔය අදටත් සැලකිය යුතු මට්ටමේ ජල ගැටලුවක් පවතින ප්‍රදේශයකි. අලි මිනිස් ගැටුම ද මෙම ප්‍රදේශයේ බහුල ය.

කොළඹ සිට කිලෝමීටර් 300කට අධික දුරකින් මෙම ප්‍රදේශය පිහිටා තිබේ.

මෙම කාන්තාව ඇතුළු 438 ක පමණපිරිසක් සේවය කළ වැලිඔය සම්පත්නුවර කර්මාන්ත ශාලාවේ හදිසියේ මෙහෙයුම් කටයුතු වෙනස් කිරීම හේතුවෙන් මාස හයකට අඩු සේවා කාලයක් සහිත සේවකයන්ට රැකියාව අහිමි වී ඇති අතරේ, මාස හයට වඩා වැඩි සේවා කාලයක් සහිත අයට හදිසි ස්ථාන මාරුවක් ලබාදීම හේතුවෙන් ඔවුන්ට ද රැකියාව අහිමිවීමේ අවදානමක් මතුව තිබේ.

මැද පෙරදිග කලාපයේ වර්තමානයේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් ආයතනය මුහුණ දී ඇති ආර්ථිකමය ගැටලු මෙලෙස හදිසියේ මෙහෙයුම් කටයුතු වෙනස් කිරීමට හේතු වූ බව සේවකයින්ට දන්වා ඇති අතර, ඔවුන් සේවය කළ සීමාසහිත මිලා ෆැෂන් පුද්ගලික සමාගමට අනුබද්ධිත වෙනත් ඇඟලුම් කර්මාන්තශාලා දෙකක් සඳහා ඔවුන්ට ස්ථාන මාරු ලබා දුන් බවට ලිපි මගින් දැනුම් දී තිබේ.

ඇගේ නිල ඇඳුම සහ ආයතනික හැඳුනුම්පත පෙන්වන ගීතිකා

ඡායාරූප මූලාශ්‍රය, BBC | Amandika Cooray

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇගේ නිල ඇඳුම සහ ආයතනික හැඳුනුම්පත පෙන්වන ගීතිකා

'මම අවුරුදු හැට වෙනකන් වැඩ කරනවා කියලා හිතාගෙන හිටියේ'

පදවිය, බී යාය ප්‍රදේශයේ පදිංචි ගීතිකා බණ්ඩාර තිදරු මවකි. ඇගේ වැඩිමහල් දියණිය මේ වනවිට උසස් තාක්ෂණ ඩිප්ලෝමාවක් හදාරමින් සිටින අතර ඇගේ පුත්‍රයා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වෙමින් සිටියි.

ඇගේ තෙවන දියණිය ඇය සමග මෙම කර්මාන්තශාලාවේ සේවය සඳහා ගොස් තිබෙන අතර ඇය මාස හයකට අඩු කාලයක් සේවය කර තිබෙන සේවිකාවක වන බැවින් ඇගේ සේවය අත්හිටුවන බවට කර්මාන්තශාලාවෙන් ලියුමක් මගින් දැනුම් දී තිබේ.

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව නැවත සේවා ස්ථානයට පැමිණි සේවකයන් විසින් මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දමා ඇති බවටත්, ඔවුන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙසත් පවසන වීඩියෝවක ගීතිකා ද අදහස් දක්වන ආකාරය අපට දැක ගැනීමට හැකි විය.

බීබීසී සිංහල සේවය පදවිය ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවස සොයා ගියේ ඒ අනුව යි.

අනතුරට ලක්වූ ත්‍රිරෝද අසල සිටින ගීතිකාගේ සැමියා
ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරට ලක්වූ ත්‍රිරෝද අසල සිටින ගීතිකාගේ සැමියා

අප එහි යන විට ඇය මාස හයකට පමණ පෙර හදිසි අනතුරකට භාජනය වී පාදයේ ආබාධයකට ලක්ව සිටින සිය සැමියාට සාත්තු කරමින් සිටියා ය.

ඇගේ සැමියාගේ ත්‍රිරෝද රථය මීට මාස හයකට පමණ පෙර යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් ඔහුගේ පාදය ආබාධයකට ලක්ව තිබේ.

"මගේ මහත්තයාව හැප්පුණාට පස්සේ මගේ ආදායම විතරයි පවුලට තිබුණේ. ඊට පස්සේ තමයි මගේ දෙවැනි දුව මාත් එක්ක ගාමන්ට් එකේ වැඩට ගියේ," ගීතිකා පැවසුවා ය.

ඇගේ සැමියා කුලී වැඩවල නිරත වූ අයකු වන අතර දෙමාපියන්ගෙන් හිමිවූ මුදලකින් ඔවුන් මෙම ත්‍රී රෝද රථය මිලට ගෙන තිබේ. කෙසේ වෙතත් ගීතිකා එම පවුලේ ප්‍රධාන ආදායම උපයන්නා වූ බව ඇය පැවසුවා ය.

"මම හිතාගෙන හිටියේ අවුරුදු හැට වෙනකන් වැඩට යනවා කියලා. ඒ වැඩට ගිහිල්ලා මේ ගෙවල් දොරවල්වල වැඩ ඉවර කරගන්නවා කියලා," ගඩොලින් තනා ඇති අර්ධ වශයෙන් නිමකර තිබෙන සිය නිවස දෙස බලමින් ගීතිකා පැවසුවා ය.

ඩොලින් තනා ඇති අර්ධ වශයෙන් නිමකර තිබෙන ගීතිකාගේ නිවස

ඡායාරූප මූලාශ්‍රය, BBC | Amandika Cooray

ඡායාරූප ශීර්ෂ වැකිය, ගඩොලින් තනා ඇති අර්ධ වශයෙන් නිමකර තිබෙන ගීතිකාගේ නිවස

නිවසට පැමිණි ලිපිය

මේ සියල්ල ආරම්භ වන්නේ අලුත් අවුරුදු සමයේ ඔවුන්ගේ නිවසට ලැබුණු ලිපියකින් ය.

අලුත් අවුරුද්දට පෙර සිය කර්මාන්ත ශාලාව දින දහයකට වැඩි කාලයක් අලුත් අවුරුදු නිවාඩු ලබාදීමට යන බව සහ කර්මාන්තශාලාව වසා දැමීමට යන බවට ආරංචි මාර්ගවලින් දැන ගැනීමට හැකි වූ බව අප සමග අදහස් දැක්වූ මෙම කර්මාන්තශාලාවේ සේවය කරන කාන්තාවෝ පැවසූහ.

නමුත් ඔවුන් ඒ බව පරිපාලනයෙන් විමසීමේදී එවැන්නක් සිදු නොවන බවටත්, " අලුත් අවුරුදු නිවාඩුව සතුටින් ගත කර නැවත අප්‍රේල් විසි වන දින සේවයට පැමිණෙන ලෙසත්" එහි කළමනාකාරීත්වය ඔවුන්ට දැනුම් දුන් බව ඔවුහු පවසති.

කෙසේ වෙතත් අප්‍රේල් 18, 19 යන දිනවල මෙම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයන්ගේ නිවෙස් වලට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ලැබී තිබිණි.

දෙමළ ජාතික සේවකයන් 50 දෙනෙකු පමණ මෙම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කර ඇති අතර, ඔවුන්ට මෙම ලිපි ලැබී ඇත්තේ සිංහල භාෂාවෙන් බව ද අප සමග අදහස් දැක්වූ පිරිස පැවසූහ.

ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයන්ගේ නිවෙස් වලට ලියාපදිංචි තැපෑලෙන් ලැබී තිබුණු ලිපිය - පළමු පිටුව

ඡායාරූප මූලාශ්‍රය, Provided

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයන්ගේ නිවෙස් වලට ලියාපදිංචි තැපෑලෙන් ලැබී තිබුණු ලිපිය - පළමු පිටුව
ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයන්ගේ නිවෙස් වලට ලියාපදිංචි තැපෑලෙන් ලැබී තිබුණු ලිපිය - දෙවන පිටුව

ඡායාරූප මූලාශ්‍රය, Provided

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයන්ගේ නිවෙස් වලට ලියාපදිංචි තැපෑලෙන් ලැබී තිබුණු ලිපිය - දෙවන පිටුව
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අප්‍රේල් 10 දිනැති එම ලිපිය 'මෙහෙයුම් කටයුතු සම්බන්ධව දැනුම් දීම' යන ලිපි ශීර්ෂය යටතේ එවා තිබේ.

"වර්තමාන ලෝක තත්ත්වය තුළ ඇතිව ඇති ජාත්‍යන්තර ගැටුම් සහ එහි බලපෑම හේතුවෙන් ලෝක ව්‍යාපාරික පරිසරය දැඩි අභියෝගකාරී තත්ත්වයකට පත්ව ඇත," යනුවෙන් එහි සඳහන්ව තිබේ.

මේ හේතුවෙන්, "ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සහ ආනයන අපනයන ක්‍රියාවලින් දැඩි ලෙස අභියෝගයකට සහ තර්ජනයකට ලක්ව ඇති බවත්, නැව්ගත කිරීම් සහ ප්‍රවාහන ක්‍රියාවලින් ප්‍රමාද වී ඇති අතර ඒවායේ පිරිවැය සැලකිය යුතු ප්‍රමාණයන්ගෙන් ඉහළ ගොස් ඇති බවත්, ඉන්ධන මිල ගණන් අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් ඇති අතර එහි ආයතනික සියලුම මෙහෙයුම් වියදම් ඉහළ යෑමට සෘජු බලපෑමක් ඇතිකරමින් සිටින අතර ඇතැම් වියදම් ආයතනයට දැරිය නොහැකි මට්ටමකට පැමිණ ඇති බවත්," මෙම ලිපියේ සඳහන් කර තිබේ.

තවද, "කොළඹ සිට වැලිඔයට සහ වැලිඔය සිට කොළඹට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ වියදම් දරා ගත නොහැකි මට්ටමකින් දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් එම නිසා සමාගමේ සමස්ත මෙහෙයුම් වියදම් ඉහළ යාම හේතුවෙන් ව්‍යාපාරය වර්තමාන මෙහෙයුම් සිදු කරන ස්ථානයේ වැලිඔය ප්‍රදේශයේ තවදුරටත් පවත්වාගෙන යාම අතිශය දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති බවත්," මෙම ලිපියෙන් කළමනාකාරීත්වය සේවකයන්ට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් මෙම ලිපියෙන් මෙම සමාගම පෙන්වා දී ඇත්තේ කිසිලෙසකත් මෙම ව්‍යාපාරය වසා දැමීමක් සිදු නොවන බවත් වර්තමාන ගෝලීය තත්ත්වය හමුවේ සමාගමේ ව්‍යාපාරය සහ සේවකයන් ආරක්ෂා කිරීමේ අරමුණින්, සමාගම විසින් මෙහෙයුම් සංකේන්ද්‍රීකරණ ක්‍රියාවලියක් 2026 අප්‍රේල් 10 වන දින සිට ආරම්භ කරන ලද අතර, ඒ යටතේ දුරස්ථ මෙහෙයුම් ස්ථානවලින් තම ව්‍යාපාරික කටයුතු වෙනත් කාර්යක්ෂම ස්ථාන වෙත මාරු කිරීම සහ, සේවකයන් අනෙක් කර්මාන්තශාලාවලට යොමු කිරීම සිදු කරන බව යි.

මාස 6 ට අඩු සේවකයින්ගේ සේවය අත්හිටුවයි

දින 180ට අඩු සේවා කාලයක් ඇති සේවකයන් හට ඔවුන්ගේ සේවය අත්හිටුවන බවට එවන ලද ලිපිය

ඡායාරූප මූලාශ්‍රය, provided

ඡායාරූප ශීර්ෂ වැකිය, දින 180ට අඩු සේවා කාලයක් ඇති සේවකයන් හට ඔවුන්ගේ සේවය අත්හිටුවන බවට එවන ලද ලිපිය

මේ අතර දින 180ට අඩු සේවා කාලයක් ඇති සේවකයන් හට ඔවුන්ගේ සේවය අත්හිටුවන බවට ලිපියක් ලැබී තිබේ.

මෙම අභියෝගාත්මක ව්‍යාපාරික හා පාරිසරික තත්ත්වය යහපත් වූ වහා ම සුපුරුදු පරිදි නැවත සම්පූර්ණ මෙහෙයුම් වැලිඔය මිලා ෆැෂන් කර්මාන්ත ශාලවේදී ම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද මෙම ලිපියේ දක්වා තිබේ.

ස්ථිර සේවකයන්ට ස්ථාන මාරු

මාස හයකට වඩා වැඩි සේවා කාලයක් සහිත ස්ථීර සේවකයන් හට ආයතනික වෙනස්කම සම්බන්ධයෙන් දැනුම් දී ඇති ලිපිය සමග, තවත් ලිපියක් ලැබී ඇත.

එය ද අප්‍රේල් 10 දිනැති ලිපියක් වන අතර, එය 'සේවා ස්ථානයේ වෙනස් කිරීම සම්බන්ධවයි' යන ශීර්ෂය යටතේ එවා තිබේ.

එම ලිපියේ සඳහන් වන්නේ මෙම ආයතනයට අනුබද්ධිත අනුරාධපුරයේ හෝ නිකවැරැටියේ පිහිටි කර්මාන්තශාලා දෙකෙන් එකක සේවයට වාර්තා කරන ලෙස යි.

ලිපියේ සඳහන් වන ආකාරයට අනුරාධපුර පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවට වැලිඔය සිට කිලෝමීටර් 112ක් පමණ දුරක් පවතින අතර, නිකවැරැටියේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවට වැලිඔය සිට කිලෝමීටර් 191ක දුරක් පවතියි.

අප්‍රේල් 10 දිනැති 'සේවා ස්ථානයේ වෙනස් කිරීම සම්බන්ධවයි' යන ශීර්ෂය යටතේ එවා ඇති ලිපිය-පළමු පිටුව

ඡායාරූප මූලාශ්‍රය, Provided

ඡායාරූප ශීර්ෂ වැකිය, අප්‍රේල් 10 දිනැති 'සේවා ස්ථානයේ වෙනස් කිරීම සම්බන්ධවයි' යන ශීර්ෂය යටතේ එවා ඇති ලිපිය-පළමු පිටුව
අප්‍රේල් 10 දිනැති 'සේවා ස්ථානයේ වෙනස් කිරීම සම්බන්ධවයි' යන ශීර්ෂය යටතේ එවා ඇති ලිපිය-දෙවන පිටුව

ඡායාරූප මූලාශ්‍රය, Provided

ඡායාරූප ශීර්ෂ වැකිය, අප්‍රේල් 10 දිනැති 'සේවා ස්ථානයේ වෙනස් කිරීම සම්බන්ධවයි' යන ශීර්ෂය යටතේ එවා ඇති ලිපිය-දෙවන පිටුව

නවාතැන් දීමනාවක් වශයෙන් රුපියල් පන්දහසක මුදලකුත් සෑම ඉරිදා දිනකම වැලිඔයේ සිට අනුරාධපුර හෝ නිකවැරැටිය වෙත යාමට සහ සෑම සිකුරාදා දිනකම අනුරාධපුර හෝ නිකවැරැටිය සිට වැලිඔය වෙත පැමිණීමට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දෙන බවට ලිපියේ සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ගීතිකා ඇතුළු අප සමග අදහස් දැක්වූ කාන්තාවන් පවසන්නේ එපමණ දුරක් ගොස් සේවය කිරීම තමන්ට ප්‍රායෝගික නොවන විකල්පයක් බවයි.

"ඇත්තට ම මෙහෙම ළඟ තියෙන ෆැක්ටරියට අපිට වැඩට යන එක හරිම පහසුවක් වුණා. දරුවෝ ගැනත් බලලා ගෙදර වැඩත් බලලා හැමදේම හරි කරගත්තේ රස්සාව නිසා," ගීතිකා පැවසුවා ය.

'පොඩි ගැහැනු දරුවෙක්ව කොහොම ද තනියම දාලා යන්නේ'

දරුවා සමග තනිව ජීවත් වන ශානිකාගේ එක ම ආදායම් මාර්ගය වී ඇත්තේ මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ රැකියාව යි.

ඡායාරූප මූලාශ්‍රය, BBC| Amandika Cooray

ඡායාරූප ශීර්ෂ වැකිය, දරුවා සමග තනිව ජීවත් වන ශානිකාගේ එක ම ආදායම් මාර්ගය වී ඇත්තේ මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ රැකියාව යි.

37 හැවිරිදි ශානිකා දිල්රුක්ෂි අවුරුදු දහයක දියණියකගේ මවකි. ඇගේ දියණිය තවත් මාස කීපයකින් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සූදානම් වෙමින් සිටින බව ඇය පැවසුවා ය.

දරුවා සමග තනිව ජීවත් වන ඇයගේ එක ම ආදායම් මාර්ගය වී ඇත්තේ මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ රැකියාව වන අතර ඇය වසර දෙක හමාරකට ආසන්න කාලයක් මෙම ආයතනයේ සේවය කර තිබේ.

ඇය පෙන්වා දෙන්නේ ප්‍රායෝගිකව ඇයට සිය දියණිය ගමේ සිටියදී, ආයතනය විසින් යෝජනා කර තිබෙන කර්මාන්ත ශාලාවල රැකියාවට යාමට අපහසු බව යි.

"මගේ පුංචි තමයි මගේ දුව බලා ගන්නේ. මම උදේම නැගිටලා කෑම උයලා යනවා. පුංචි, දුවව ඉස්කෝලෙට එක්කගෙන යනවා, ඊට පස්සේ පන්ති වලටත් එක්කගෙන යනවා," ඇය පවසයි.

"ඒත් දුවව දාලා නිකවැරැටියට හරි අනුරාධපුරේට හරි ගිහින් වැඩ කරන්න බෑ. දරුවට තව මාස හතරකින් විභාගේ. ඒවගේ ම පොඩි ගැහැනු දරුවෙක්ව කොහොමද තනියම දාලා යන්නේ," ශානිකා පවසයි.

අප සමග අදහස් දැක්වූ මෙම අඟලුම් කර්මාන්තශාලාවේ සේවය කළ විසිතුන් හැවිරිදි තරුණියක් පැවසුවේ ඔවුන්ට ලැබෙන වැටුප අනුව අනුරාධපුරයට හෝ නිකවැරටියට ගොස් සේවය කිරීම ප්‍රායෝගික නොවන බව යි.

"අපේ බේසික් එක රුපියල් තිස් දාහයි. ඔක්කොම එකතුවෙලා පඩිය එනකොට උපරිම හතළිස් පන්දාහක් හම්බවෙයි. රුපියල් පන්දහට බෝඩිං හොයාගන්න නෑනෙ දැන්. අපි ගිහින් කන්න බොන්නත් ඕනේ. දැන් අපි ගෙදර ඉඳන් යන නිසා පඩිය ඉතුරු වෙනවා. ඒ වුණාට වෙන ම තැනක නැවතිලා වැඩකරන්න ගියොත් අපේ මුළු පඩියම අපට ජීවත් වෙන්න වියදම් වෙයි," නම හෙළි කිරීමට අකමැති වූ එම තරුණිය පැවසුවා ය.

එමෙන් ම ඇය පැවසුවේ ඇය ඇතුළු මෙම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කළ තරුණ තරුණියන් පිරිසක් උසස් අධ්‍යාපන කටයුතු හදාරමින් මෙම රැකියාවේ නිරත වන බැවින් ඔවුන් වෙනත් ස්ථානයක සිට සේවය කිරීමට ගියහොත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ද කඩාකප්පල් වන බව යි.

"ගාමන්ට් එකේ පඩිය විතරක් ජීවත් වෙන්න මදි නිසා ගොඩක් අය තව ආදායම් මාර්ගයක් එක්ක තමයි මේ රස්සාව කරන්නේ. ගොඩක් අය ගොවිතැන් එහෙම කරන ගමන් තමයි රස්සාවට එන්නේ. එතකොට ඒගොල්ලොන්ට ඒවා දාලා වෙන පැත්තකට ගිහින් වැඩ කරන්න බෑ. අඩු ගානේ පඩියවත් මීට වඩා වැඩියි නම් යන්න තිබුණා. ඒත් රුපියල් තිස්දාහක බේසික් එකක් අරගෙන තව පොඩි ගාණක් එක්ක පඩිය අරගෙන එහෙම ගිහින් වැඩ කරන එකේ තේරුමක් නෑ," ඇය පැවසුවා ය.

සේවක අර්ථසාධක අරමුදලට මුදල් බැර කිරීමේ ප්‍රමාදය

2024 වසරේ සිට 2025 වසර දක්වා සේවක අර්ථසාධක මුදල් මෙම ආයතනය විසින් ගෙවා නොමැති බව සේවකයන් එල්ල කරන තවත් චෝදනාවකි.

සේවක අර්ථසාධක මුදල්වලට අදාළ මුදල් ඔවුන්ගේ වැටුපෙන් අඩුකර තිබුණ ද එම මුදල් ගෙවීම සිදුකර නොමැති බවට ඔවුහු චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය මෙම ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ සාමාජිකයෙකුගෙන් විමසීමක් සිදු කරන ලද අතර, ඔහු එම චෝදනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේ ය.

"ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව එහෙම සේවක අර්ථ සාධක මුදල් නොගෙවා ඉන්න බෑ. ඒව ගෙවන්න ආයතනයක ඩිරෙක්ටර්ස්ලා සෘජුවම වගකියනවා. අපේ පුද්ගලික දේපළ විකුණලා හරි ඒවා සෙට්ල් කරන්න ඕනෙ. ඒක නිසා ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්. අනිත් එක ඕනම ආයතනයක මාසයක් දෙකක් ගෙවන්න මිස් වෙන්න පුළුවන් එතකොට එක්ස්ටෙන්ෂන් එකක් අරගෙන ආපහු ගෙවනවා. ඒ වගේ දේවල් ඕනම ආයතනයක තියෙනවා," ඔහු පැවසුවේ ය.

කෙසේ වෙතත් බීබීසී සිංහල සේවය විසින් සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ මෙම ආයතනය විසින් 2024 ජූලි මාසේ සිට 2025 ඔක්තෝම්බර් මාසය දක්වා කාලය තුළ සේවක අර්ථ සාධක මුදලේ දායකත්ව මුදල් ගෙවා නොමැති බවට කම්කරු දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇති බව යි.

එම මුදල කෝටි පහකට ආසන්න මුදලක් වන අතර පසුව එම ආයතනය සමාන වාරික දහයකින් එම මුදල ගෙවා දැමීමට එකඟ වී තිබේ.

ඒ අනුව ඔවුන් මේ වන විට එයින් වාරික තුනක් ගෙවා ඇති බව බීබීසී සිංහල සේවයට අනාවරණය විය.

මිලා ෆැෂන් ඇඟලුම් කර්මාන්තශාලාවේ ගේට්ටු වසා දමා තිබූ ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, BBC| Amandika Cooray

ඡායාරූප ශීර්ෂ වැකිය, මිලා ෆැෂන් ඇඟලුම් කර්මාන්තශාලාවේ ගේට්ටු වසා දමා තිබූ ආකාරය

'වන්දි දෙන්න නම් ආයතනය වහන්න එපැයි. ආයතනය වහලා නෑ'

මෙම ආයතනයේ ස්ථිර සේවකයන් 275ක් සේවය කර ඇති අතර, මාස හයට අඩු සේවා කාලයක් ඇති සේවකයන් 148 දෙනෙකු සේවය කර තිබේ.

ආයතනයේ පරිපාලනය සහ කළමනාකාරීත්වයේ සේවය කළ සියලු දෙනා ද ඇතුළුව මෙම කර්මාන්තශාලාවේ සේවය කර ඇති මුළු සංඛ්‍යාව 438කි.

මාස හයට අඩු සේවා කාලයක් ඇති අයගේ සේවය අත්හිටුවන බවට ඔවුන්ට ලිපි මගින් දැනුම් දී තිබේ.

අප්‍රේල් විසිවන දින ඇඟලුම් කර්මාන්ත ශාලාව ඉදිරිපිටට එක් රැස් වූ සේවකයන් පැවසුවේ ඔවුන්ට නිසි වන්දියක් ලබාදී ඔවුන්ව සේවයෙන් ඉවත් කිරීමට හෝ කටයුතු කරන ලෙස යි.

අප්‍රේල් 21 වන දින ද මෙම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නිරතවූ පිරිස් එහි ප්‍රවේශ මාර්ගය ඉදිරිපිටට රැස්ව සිටි ඇති අතර, මෙම කර්මාන්තශාලාවේ ගැණුම්කරුවෙකු බවට බීබීසී සිංහල වෙත දැනගැනීමට හැකිවූ Primark සන්නාමයේ මෙරට නියෝජිතයෙකු ද පැමිණ තිබේ.

ප්‍රයිමාර්ක් යනු පහසු මිල ගණන් යටතේ වේගවත් විලාසිතා (Fast fashion) රූපලාවන්‍ය සහ ගෘහ උපකරණ විකිණීම සඳහා ප්‍රසිද්ධ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර වෙළෙඳසැල් ජාලයකි. යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 19ක ඔවුන්ගේ වෙළඳසැල් 480 කට වඩා ක්‍රියාත්මක වේ.

ගැණුම්කාර සමාගමේ විගණන කටයුත්තක් සඳහා ඔහු එහි පැමිණි බවට එම නියෝජිතයා සේවක පිරිසට පවසා ඇති අතර, එම නියෝජිතයා තවදුරටත් පවසා ඇත්තේ කර්මාන්තශාලාවේ කටයුතු තාවකාලිකව නවතා ඇති බවට ඔහු ද දැනගත්තේ එම ස්ථානයට පැමිණීමෙන් පසුව බවයි.

අප සමග අදහස් දැක්වූ කාන්තාවන් පවසා සිටියේ දින හතක් ඇතුළත වැඩ භාර නොගන්නේ නම් ඔවුන් සේවය හැර ගියා සේ සලකන බවට ඔවුන්ට නිල නොවන ආරංචි මාර්ග වලින් දැන ගැනීමට හැකිව තිබේ.

ඒ අනුව ඔවුන්ට වෙනත් ප්‍රදේශවල කර්මාන්තශාලාවල සේවය කිරීමට යාමට නොහැකි හෙයින් ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට සුදුසු වන්දි මුදලක් ලබා දී එම රැකියාවෙන් ඉවත් කරන ලෙස යි.

කෙසේවෙතත් මෙම ආයතනයේ කළමනාකාරීත්වය පවසන්නේ එම ආයතනය වසා දමා නොමැති හෙයින් වන්දි මුදලක් ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැති බව යි.

"මිලා ෆැෂන් (පුද්) සමාගම කිසිදු අවස්ථාවක මෙහෙයුම් නතර කර නොමැති බව අපි නිශ්චිතවම පැහැදිලි කිරීමට කැමැත්තෙමු," යැයි එම සමාගම අප්‍රේල් 21වන දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙයි.

"සැලසුම් සහගත සහ වගකිවයුතු ව්‍යාපාරික උපාය මාර්ගයක කොටසක් ලෙස, සමාගම දැනට තාවකාලික මෙහෙයුම් ප්‍රතිව්‍යුහගත කිරීමකට භාජනය වෙමින් පවතී. කෙටි කාලීන ව්‍යාපාරික තත්ත්වයන්ට බලපා ඇති ඇතැම් කලාපවල අස්ථාවරත්වය ඇතුළු අඛණ්ඩ ගෝලීය වෙළඳපොළ පීඩනයන්ට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගෙන ඇත," යැයි ඉංග්‍රීසි භාෂාවෙන් පළ කර තිබෙන එම නිවේදනය සඳහන් වේ.

බීබීසී සිංහල සේවය සමග දුරකථනයෙන් සම්බන්ධ වූ මෙම ආයතනයේ ඉහල කළමනාකාරීත්වයේ සාමාජිකකුගෙන් අප විමසා සිටියේ වෙනත් කර්මාන්තශාලාවක වැඩ භාර ගැනීමට අකමැති අයට වන්දි මුදලක් ලබාදීමේ සැලැස්මක් පවතින්නේද යන්නයි.

"වන්දි දෙන්න නම් ආයතනය වහන්න එපැයි. ආයතනය වහලා නෑ, අපි වහන්නේ නෑ ආයතනය. අපි මිලියන ගානක් වියදම් කරල ෆැක්ට්‍රියක් හදන්නේ නෑනෙ වහන්න," එම සාමාජිකයා පැවසුවේ ය.

සේවකයන් එල්ල කරන තවත් චෝදනාවක් වන්නේ අලුත් අවුරුදු නිවාඩු සමයේදී මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ගලවා ගෙන ගොස් ඇති බව ය.

"ඕනම ආයතනයක තියෙනවා රෙන්ට් එකට ගන්න මැෂින්. ඒවා අපි ආපහු රෙන්ට් එකට ගත්ත අයට රිටර්න් කරනවා. ආයතන තුළ මැෂින් හුවමාරු කරගෙන මහනවා. ඒක බොරු කතාවක්. ඒක වැරදි චෝදනාවක්," අප සමග අදහස් දැක්වූ නම හෙළි කිරීමට අකමැති ඉහළ කළමනාකාරීත්වයේ සාමාජිකයා පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කළ පිරිස් මුලතිව් කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණිලි කර තිබේ.

ඒ සම්බන්ධයෙන් රැස්වීමක් කොළඹදී අප්‍රේල් විසි හතරවන දින කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මිලා ෆැෂන් ආයතනයේ කළමණාකාරීත්වය අතර පැවැත්වෙන බව අපට දැන ගන්නට ලැබිණි.

මිලා ෆැෂන් (පුද්) සමාගම නිකුත් කළ මාධ්‍ය නිවේදනය

ඡායාරූප මූලාශ්‍රය, Mila Fashion (PVT) LTD

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මිලා ෆැෂන් (පුද්) සමාගම කිසිදු අවස්ථාවක මෙහෙයුම් නතර කර නොමැති බව අපි නිශ්චිතවම පැහැදිලි කිරීමට කැමැත්තෙමු,' යැයි එම සමාගම අප්‍රේල් 21වන දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙයි.

'එක ඇඳුමක් ගුවන්ගත කරලා යවන්න ඩොලර් අටක් ගියා'

මෙම මිලා ෆැෂන් සමාගම අයත් ඩිසයින් ස්ටුඩියෝ සමූහය 2002 දී සේවකයන් තිදෙනෙකුගෙන් ආරම්භ කළ විලාසිතා ව්‍යාපාරයක් බවට එහි නිල වෙබ් අඩවියේ දැක්වේ.

එය පවුලේ හිමිකාරීත්වය සහිත සමාගමක් බවද එහි දැක්වේ.

අප සමග දුරකථනයෙන් සම්බන්ධ වූ ඉහළ කළමනාකාරීත්වයේ සාමාජිකයා කියා සිටියේ මේ වන විට ඉහළ ගොස් ඇති ඉන්ධන මිලත් සමග කොළඹ සිට වැලිඔය දක්වා ප්‍රවාහන පහසුකම් සඳහා ගෙවීමට සිදුවන මුදල ඉහළ ගොස් ඇති බව යි.

"උදාහරණයක් විදිහට කොළඹ ඉඳලා කන්ටේනර් එකක් වැලිඔය ෆැක්ට්‍රියට ගෙනියන්න රුපියල් ලක්ෂ තුනක් ගන්නවා. එතකොට සුමානයකට කන්ටේනර් හතරක් විතර ගිහිල්ලා මාසයකට විස්සක් විතර යන්න ගත්තොත් සාමාන්‍ය අංක ගණිතය තේරෙන කෙනෙකුට තේරෙනවා මේ ඔපරේෂන් එක වයබල් නෑ කියලා."

එහිදී අප විමසා සිටියේ මැද පෙරදිග යුදමය වාතාවරණය ඒ අනුව මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ද යන්නයි.

"ඒක ප්‍රධාන හේතුවක්. දැන් දවස් හතළිහක් විතර යනවා ශිප්මන්ට් එකක් යන්න. අපි අන්තිමට මහපු ඕඩර්ස් ගුවන් ගත කරලා යවන්න සිද්ධ වුණා. ගුවන්ගත කරලා යවන්න කොස්ට් කරලා නෑනෙ. මේ පාර පරක්කු නිසා එක ඇඳුමක් ගුවන්ගත කරලා යවන්න ඩොලර් අටක් ගියා. ඇඳුම මහන්න ඒකෙන් හතරෙන් එකක්වත් හම්බවෙන්නේ නෑ," ඔහු පැවසුවේ ය.

"මෙහෙම දෙයක් වුණා ම කස්ටමර්ස්ලා වෙළඳපොළට ආසන්නයේ තියෙන තැන්වලට තමයි ඕඩර්ස් දාන්නේ. දුර තැන්වලට දාන්නේ නෑ. මොකද ඒකට හේතුව ඒකට ගතවෙන කාලය වැඩියි. ඒවගේ ම අපි මහන්නේ ෆාස්ට් ෆැෂන් ක්ලෝත්. මොකක් හරි කැට්වෝක් එකකින් ඇඳුමක් එළියට ආවට පස්සේ අපි මාස තුනක් ඇතුළත ඒක මහල ශිප්මන්ට් එකත් යවලා ඉවර කරනවා," ඔහු පවසයි.

මේ අතර මෙම කර්මාන්තශාලාව අයත් DESIGN STUDIO සමූහයේ නිල ෆේස්බුක් පිටුවේ අප්‍රේල් 24 දින සිංහල භාෂාවෙන් පළකළ නිවේදනයක් මඟින් නැවත අවධාරණය කොට ඇත්තේ "Mila Fashion (Pvt) Ltd තවදුරටත් ක්‍රියාකාරී ව්‍යාපාරික ආයතනයක් ලෙස පවතින අතර, එහි මෙහෙයුම් නතර කර නොමැති" බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ "සියලු තීරණ අදාළ නීති හා නියාමන රෙගුලාසි වලට අනුකූලව ගනු ලැබ ඇති අතර, ක්‍රියාවලිය පුරා අපගේ සේවක මහත්ම මහත්මීන්ට සාධාරණව, වගකීමෙන් යුතුව සහ සමාගමේ ප්‍රතිපත්ති හා නීතිමය වගකීම් අනුව කටයුතු කරන බව අප අවධාරණය කරමු." යනුවෙනි.

ගීතිකා මාස කිහිපයකට පෙර ගෙවීමේ ක්‍රමයට, භාවිත කළ ජුකී මැෂිමක් මිලදීගෙන තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ගීතිකා මාස කිහිපයකට පෙර ගෙවීමේ ක්‍රමයට, භාවිත කළ ජුකී මැෂිමක් මිලදීගෙන තිබේ.

'වන්දියක් හරි දුන්නනම් මම රෙදි කෑලි ටිකක් ගෙනැල්ලා මහලා හරි ජීවත් වෙනවා'

මෙම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කළ ගීතිකා මාස කිහිපයකට පෙර ගෙවීමේ ක්‍රමයට, භාවිත කළ ජුකී මැෂිමක් මිලදීගෙන තිබේ.

"අපට වන්දියක් හරි දුන්නනම් මම රෙදි කෑලි ටිකක් ගෙනැල්ලා මේකෙන් මහලා හරි ජීවත් වෙනවා," ඇය පවසයි.

"මම අවුරුදු තිහක් තිස්සේ කළේ මේ රස්සාව. මම කරන්න දන්නෙ මේ රස්සාව. වෙන රස්සාවක් කරන්න මම දන්නේ නෑ. ඒවගේ ම මම හරිම ආසයි මහන්න."

"මගේ මහත්තයටත් දැන් රස්සාවක් කරගන්න බෑ. පොඩි දුවත් ආපහු සැරයක් උසස් පෙළ විභාගය කරනවා. තව අවුරුදු තුනක් රස්සාව කරන්න තිබුණ නම් මගේ දරුවොන්ට උගන්නලා ඉවර කරගන්න තිබුණා. ඇත්තට ම මම දැන් හැමතිස්සේම කල්පනා කර කර ඉන්නේ මොකක්ද මම දැන් කරන්නේ කියලා," ගීතිකා පැවසුවා ය.

සිය දියණිය සමඟ ජීවත්වන ශානිකා ද මෙතෙක් කල් සිය සොහොයුරාගේ නිවසේ ජීවත් වී ඇති අතර, ඇයටත් දියණියටත් ජීවත් වීමට නිවසක් සාදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි මොහොතක මෙම සිදුවීම සිදුවූ බව ඇය අපට පැවසුවා ය.

"පොඩියට මැටියෙන් හරි ගෙයක් හදාගන්න තමයි හිතාගෙන ඉන්නේ. දැනුත් මම එතන වැඩ කර කර ඉඳලා ආවෙ. පොඩි වන්දියක් හරි ලැබුණනම් මට පොඩියට ඉන්න තැනක්වත් හදාගන්න තිබුණා," ශානිකා පැවසුවාය.

සංස්කරණය: ඉෂාරා ධනසේකර, සංස්කාරක බීබීසී සිංහල