ජගත් වික්‍රමරත්න: NPP රජයේ දෙවන කතානායකටත් ඉල්ලා අස්වෙන්නැයි බල කරන්නේ ඇයි?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු පත් කරන ලද පළමු කතානායකවරයා වූ අශෝක රන්වලට සිය ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඇති වූ විරෝධය මත ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

ඔහුගේ ඉවත් වීමෙන් පසු කතානායක ධූරයට පත් කරන ලද වෛද්‍ය ජගත් වික්‍රමරත්නට ද මේ වන විට විපක්ෂයෙන් විරෝධයක් එල්ල වී තිබේ.

ඔහුට එරෙහිව (සැප්: 10) පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

එම තත්ත්වය ඇති වූයේ, වත්මන් කතානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව සිදු කරන විමර්ශනයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කළ ප්‍රකාශයක් හේතුවෙනි.

එහිදී, කතානායකවරයා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට කතා කිරීමට අවස්ථාව නොදීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය.

කතානායකවරයාට මෙම විරෝධය එල්ල වන්නේ, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කතානායකවරයාට භාර දීමට නියමිත අවස්ථාවක ය.

ඊට අමතරව, එම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් ද සිදු කිරීමට නියමිතව තිබේ.

රාජ්‍ය සම්පත් සහ වරප්‍රසාද අවභාවිත කර ඇති බවට වන චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විමර්ශනයක් පවත්වයි.

ජගත් වික්‍රමරත්න කතානායක ධූරය දැරීම සම්බන්ධයෙන් විරෝධය පළවන්නේ ඇයි?

වෛද්‍ය ජගත් වික්‍රමරත්න කතානායක ධූරය දැරීමට විපක්ෂය විරෝධය පළ කරන්නේ ඇයි? යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කතානායකවරයාට යොමු කර ඇති ලිපියෙහි සඳහන් කර තිබේ.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ, 'අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයක් පවතින අවස්ථාවක කතානායක ධූරය දැරීම, පාර්ලිමේන්තු කටයුතුවල මුලසුන දැරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පැන නගින නීතිමය, සාදාචාරාත්මක හා ආයතනික විශ්වාසවන්තභාවය පිළිබඳ ඉදිරිපත් කරනු ලබන වරප්‍රසාද ප්‍රශ්නය යි.

1953 අංක අංක 21 පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් 2018 මාර්තු මස 07 වන දින අනුමත කරනු ලදුව, 2018 අප්‍රේල් මස 15 වන දින සිට ක්‍රියාත්මක විය යුතුයැයි සම්මත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහය හා 2026 අප්‍රේල් මස 07 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් අනුමත කර සම්මත කරන ලද ස්ථාවර නියෝග 29 යටතේ පහත සඳහන් වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරනු ලැබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මා විසින් මෙම වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කිරීමේ එක ම අරමුණ වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගෞරවය, ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය, විනිවිදභාවය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම යි.

මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් AC/0356/2026 B-206 යන ගොනු අංකය යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් කතානායක ධූරයේ කාර්යයන් හා කර්තව්‍යයන් ඉටු කිරීමේදී භාවිතා කරනු ලබන රාජ්‍ය සම්පත් සහ පහසුකම් භාවිතයේදී සිදුකරන ලදැයි කියනු ලබන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව විමර්ශනයක් සිදුකරමින් පවතින බව 2026 සැප්තැම්බර් මස 04 වන දින 'ලංකාදීප, DAILY MIRROR හා දිනමිණ' පුවත් පත් මගින් වාර්තා කර ඇත.

'අල්ලස්, දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය සඳහා ව්‍යවස්ථාපිතව පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභාවක් විසින් විමර්ශනයක් සිදුකරමින් පවතින අවස්ථාවක, එම විමර්ශනයට අදාළ පුද්ගලයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා ඉහළ නිලධාරීන් පත්කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම සහ එකී විමර්ශනයට සම්බන්ධ සාක්ෂි සහ තොරතුරු ලබා දෙනු ලබන මෙම උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වශයෙන් තවදුරටත් කටයුතු කිරීම හේතුවෙන් නීතිමය, සදාචාරාත්මක, ආයතනික විශ්වාසවන්තභාවය සහ මහජන විශ්වාසය සම්බන්ධයෙන් පහත සඳහන් වැදගත් ප්‍රශ්න මතු වේ,' යනුවෙන් ද එම ලිපියෙහි දක්වා තිබේ.

කතානායකවරයාට යොමු කළ සම්පූර්ණ ලිපිය මෙසේ ය.

කතානායකවරයා ගෙන ඇති පියවර මොනවා ද?

කතානායකවරයාට එල්ල වී ඇති විරෝධය සම්බන්ධයෙන් අදහස් දැනගැනීම සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය උත්සහ කළ අතර, එහිදී ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ ඊට ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් විය.

එහිදී ඔහු සඳහන් කළේ, මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලයේ තාක්ෂණික මාර්ගෝපදේශය ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව ය.

"ඒක සම්බන්ධව විධිමත් වාර්තාවක් ඉදිරිපත් කරන්න කියල කතානායකතුමා ලේකම් මණ්ඩලයට දීල තියෙනවා. ඒ වාර්තාව අපට තාම හම්බ වෙලා නෑ. අපි ඒක බලාපොරොත්තුවෙන් ඉන්නව. ඒක සම්බන්ධයෙන් තාක්ෂණික මාර්ගෝපදේශය දෙන්න ඕනෙ පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය. ඒ තාක්ෂණික මාර්ගෝපදේශය එක්ක තමයි අපි ඉදිරි කටයුතු කරන්නෙ. කතානායකතුමා මෙතෙක් කිසි ම තීරණයක් අරගෙන නෑ. ඒ ගැන උපදෙස් දෙන්න කියල ලේකම් මණ්ඩලයට දැනුම් දීල තියෙනවා."

'ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා' - පාර්ලිමේන්තු මහ ලේකම්

අදාළ කාරණය සම්බන්ධයෙන් කතානායකවරයා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණදීර බීබීසී සිංහල සේවයට පැවසීය.

ඇය ප්‍රකාශ කළේ, මෙම ගැටලුව පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බව ය.

අධ්‍යයනය කිරීමෙන් පසු ලේකම් මණ්ඩලයේ නිර්දේශය කතානායකවරයාට භාර දෙන බව ඇය සඳහන් කළා ය.