ධනය උපයාගත් මූලාශ්‍ර පිළිබඳ ප්‍රශ්න මතු වීම නිසා Gen Z අරගලයෙන් පසු පත්වූ නේපාල රජයේ අභ්‍යන්තර කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto via Getty Images
සිය ධනය උපයාගත් මූලාශ්‍ර පිළිබඳව ප්‍රශ්න මතු වීමෙන් පසු "සදාචාරාත්මක හේතු මත" නේපාල අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුදන් ගුරුන්ග් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ගොර්කා 1 කලාපයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වූ ගුරුන්ග්, "තමාට අදාළ කරුණු සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම සහතික කිරීම උදෙසා සහ ධූරයේ සිටියදී ළබැඳියාවන් අතර ගැටුමක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා" ධූරයෙන් ඉල්ලා අස්වන බව සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේ ය.
නේපාල අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය සහ පර්යේෂණ විශේෂඥ දීපා දහල් පැවසුවේ, ගුරුන්ග් බදාදා අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා හමුවී ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බව ය. දීපා දහල් පවසන පරිදි අගමැති ෂා දැනට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඔහු යටතේ තබාගෙන ඇත.
ෂාගේ නායකත්වය යටතේ අමාත්‍ය මණ්ඩලය පත් කරන ලද දිනයේ ම ගුරුන්ග් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.
ගුරුන්ගේ වත්කම් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු, ඔහුගේ ආදායම් ඉපයුම් මාර්ග සහ ආයෝජන පිළිබඳව විවිධ ප්‍රශ්න මතු විය. ඒ අනුව අමාත්‍ය ධූරයට පත්වීමෙන් දින 27කට පසු ඔහු ඉල්ලා අස්විය.
වත්කම් ප්‍රකාශයේ හෙළි නොකළ කොටස් ආයෝජනවල මූලාශ්‍රය පිළිබඳව ප්‍රශ්න මතු වූ පසු ගුරුන්ග් මෙන් ම නේපාල අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ජාතික ස්වාධීන පක්ෂයේ (NIP) ඉහළ නායකත්වය දැඩි පීඩනයට ලක් විය.
වත්මන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වූ දෙවන අමාත්‍යවරයා වන්නේ ගුරුන්ග් ය. තම බිරිඳගේ පත්වීම සම්බන්ධ මතභේදයක් හේතුවෙන් දීපක් කුමාර් සාහ්ට අමාත්‍ය ධූරයට පත්ව සති දෙකක් ඇතුළත ඉල්ලා අස්වීමට සිදුවිය.
චෝදනා සම්බන්ධයෙන් ගුරුන්ග් පවසන්නේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, EPA/Shutterstock
වත්කම් විස්තර ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු, සිය ධනය ඉපැයුම් මාර්ග පිළිබඳ ඇතැම් තොරතුරු මග හැරුණු බවටත්, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින ව්‍යාපාරික දීපක් භාත් සමග ඔහුගේ සම්බන්ධයක් ඇති බවටත් චෝදනා එල්ල විය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ෆේස්බුක් සටහනක ගුරුන්ග් මෙසේ ලියා තිබිණි, "...මගේ කොටස් සහ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් පුරවැසියන් විසින් මතු කරන ලද ප්‍රශ්න, අදහස් සහ මහජන උනන්දුව මං බරපතළ ලෙස සලකනවා. මට, තනතුරට වඩා සදාචාරය වැදගත්. මහජන විශ්වාසයට වඩා විශාල වෙනත් බලයක් නැහැ."
"Gen Z ව්‍යාපාරය ද එම පණිවිඩය ම ලබා දී ඇත: රාජ්‍ය හා දේශපාලන ජීවිතය පිරිසිදු විය යුතු යි, නායකත්වය වගවිය යුතු යි. මගේ සහෝදර සහෝදරියන් 46 දෙනාගේ රුධිරය හා පරිත්‍යාගය මත ගොඩනැගුණු රජය ගැන යමෙකු ප්‍රශ්න කරන්නේ නම්, පිළිතුර සදාචාරය යි."
"මම මගේ පැත්තෙන් මගේ සදාචාරාත්මක වගකීම ඉටු කළා. දැන් මගේ ආයාචනය නම්, ආදරණීය මාධ්‍ය මිත්‍රවරුනි, සියලු ම නේපාල සහෝදර සහෝදරියනි සහ තරුණයිනි, අපට සැබවින් ම වෙනසක් අවශ්‍ය නම්, සෑම කෙනෙකු ම සත්‍යයේ, අවංකභාවයේ සහ ස්වයං-පවිත්‍රතාවයේ මාවත වෙනුවෙන් නැඟී සිටිය යුතු යි," ගුරුන්ග් පැවසීය.
මාධ්‍යවේදීන් ගැන පවා ප්‍රශ්න මතු කරමින් ඔහු පැවසුවේ, "මාධ්‍යවේදීන් කී දෙනෙකුට මුදල් නොගෙවා හිමි කර ගත් කොටස් තිබේ ද? ඒ පිළිබඳව සෙමින් හෙළිවනු ඇත" යනුවෙන් ඔහු පැවසීය.
Gen Z ව්‍යාපාරයෙන් පසුව සුදන් ගුරුන්ග් දේශපාලන කවයන් තුළ ප්‍රසිද්ධියට පත් විය. ඊට පෙර ඔහු 'හාමි නේපාලය' නම් සංවිධානයක සභාපතිවරයා විය.
මහජන විරෝධතා අතරතුර මහජන දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් ද මෙම සංවිධානයට චෝදනා එල්ල වී ඇත.
සුදන් ගුරුන්ග් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු දින, විමර්ශන කොමිෂන් සභා වාර්තාව ක්‍රියාත්මක කරමින් හිටපු අගමැති කේ.පී. ෂර්මා ඔලි සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
කෙසේ වෙතත්, ඔලි සහ රමේෂ් ලේඛක්ගේ පවුලේ අය ගොනු කළ රිට් පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔවුන් නැවත රඳවා නොගන්නා ලෙස නියෝග කළේ ය.
එහිදී නායකයන් දෙදෙනා ම අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබා නොගෙන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ තීරණයක් මත පදනම්ව ඍජුව ම අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවෙන් නිදහස් වුව ද, කිසිවෙකුට එරෙහිව තවමත් චෝදනා ගොනු කර නොමැත.
පළමුව සාක්ෂි රැස් කිරීමෙන් පසුව පමණක් එවැනි අපරාධවලට සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අනුගමනය කරන සාමාන්‍ය ක්‍රියාවලිය අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් ඇතැම් අපරාධ නීති විශේෂඥයින් රජය විවේචනයට ලක් කර තිබේ.


































