'දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි යි': TISL ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Supreme court complex

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

එම පනත් කෙටුම්පතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති කිහිපයක් උල්ලංඝනය වන බව පවසමින් ඊට එරෙහිව අගෝස්තු 31 වන දා අදාළ පෙත්සම ගොනු කළ බව එම ආයතනය නිවේදනය කර ඇත.

"මෙම පනත් කෙටුම්පත මගින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට ගැටලුසහගත සංශෝධන කිහිපයක් යෝජනා කර ඇති බැවින්, මහජන ශුභසිද්ධිය මුල් කර ගනිමින් මෙම පෙත්සම ගොනු කිරීමට TISL ආයතනය තීරණය කර තිබේ," යැයි එම නිවේදනයේ දැක්වේ.

යෝජිත සංශෝධනවලින් ප්‍රධාන පනත දුර්වල වෙනවා ද?

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යනු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී බලාත්මක කිරීමේ රාමුව ශක්තිමත් කිරීම සඳහා ගෙන ආ සංධිස්ථානීය ප්‍රතිසංස්කරණයක් බව පෙන්වා දෙන TISL ආයතනය, යෝජිත සංශෝධන මගින් එහි දැඩි ප්‍රතිපත්තිමය පසුබැසීමක් සිදුවන බව මෙන් ම ප්‍රධාන පනත දුර්වල කරන බව පවසයි.

එමෙන් ම, යෝජිත සංශෝධනයෙන් සිවිල් සමාජ අවකාශය සීමා වන බව සේ ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට TISL ආයතනය අනතුරු අඟවා තිබේ.

"මෙම සංශෝධන මගින් දූෂණ විරෝධී උත්සහයන් ශක්තිමත් කරනවා වෙනුවට, වත්කම් ප්‍රකාශන පද්ධතිය දුර්වල කිරීම, අර්ථවත් තොරතුරු දැනගැනීමේ අයිතිය අහෝසි කිරීම සහ අධිකරණ අධීක්ෂණයෙන් බැහැරව නඩු නොපැරවීමේ අභිමතානුසාරී බලය අධිකාරියට ලබා දීම මගින් විනිවිදභාවය, වගවීම සහ මහජන විශ්වාසය අනතුරේ හෙළ යි," යනුවෙන් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Justice and law real estate concept. Lawyer or judge consult team meeting working with digital tablet computer. - stock photo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

'නීති බලාත්මක කිරීමේ බලතලවල විශ්වාසනීයත්වය අනතුරේ'

යෝජිත දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත එරෙහිව ගොනු කරන ලද පෙත්සමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අභියෝග එල්ල වන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දී තිබේ.

යෝජිත පනත් කෙටුම්පතේ 4 වන වගන්තිය හරහා සහයකයන්ට (නඩුවට සම්බන්ධ අනෙකුත් තැනැත්තන්ට) නඩු පැවරීම සම්බන්ධයෙන් වූ අධිකරණ අධීක්ෂණය ඉවත් කිරීම, දූෂණ නඩු පැවරීමේ අඛණ්ඩතාව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති බලාත්මක කිරීමේ බලතලවල විශ්වසනීයත්වය අනතුරේ හෙළීමක් බව පෙත්සමේ සඳහන් කර ඇත.

"ප්‍රධාන පනතේ 70 වැනි වගන්තිය සඳහා යෝජිත සංශෝධනය මගින්, සම්පූර්ණ තොරතුරු හෙළිදරව් කිරීමට යටත්ව, සහයකයන්ට එරෙහිව නඩු පැවරීමෙන් වැළකී සිටිය යුතු ද? නැද්ද? යන්න තීරණය කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයාගේ පූර්ව අවසරයකින් තොරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරීමට කොමිෂන් සභාවට බලය ලබා දෙයි," එහි සඳහන් කරයි.

"මෙමගින් අධිකරණ අධීක්ෂණයක් සහ වගවීමක් නොමැතිව අධ්‍යක්ෂ ජනරාල් ධූරය වෙත අභිමතානුසාරී තීරණ ගැනීමේ බලය ඒකරාශී වන අතර, එම ධූරය අවභාවිතයන්ට, බාහිර තර්ජනවලට, දේශපාලන බලපෑම්වලට සහ දූෂණ අවදානම්වලට නිරාවරණය විය හැකි ය. අධිකරණ අධීක්ෂණය ඉවත් කිරීම මගින් දූෂණ නඩු පැවරීමේ අඛණ්ඩතාව සහ කොමිෂන් සභාවේ නීති බලාත්මක කිරීමේ බලතලවල විශ්වාසනීයත්වය අනතුරේ වැටේ," යැයි TISL ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

'මෙම සංශෝධනය එම පනතේ ප්‍රතිපාදන සමග ඍජුව ම පරස්පර වේ'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ප්‍රධාන පනතේ 80(1)(x) වගන්තිය සංශෝධනය කරමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතේ 6 සහ 18 වන වගන්ති, රාජ්‍ය සම්බන්ධිත සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ වගකීමෙන් නිදහස් වීමේ හැකියාව මෙන් ම තොරතුරු පනතට වන බලපෑම් ගැන ද පෙන්වා දී තිබේ.

"මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රධාන පනතේ 80(1)(x) වගන්තිය සංශෝධනය කරමින්, නිලධාරීන් විසින් වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය වීමට අදාළ රාජ්‍ය හෝ රාජ්‍ය සංස්ථා කොටස් හිමිකාරීත්වයේ සීමාව 25% සිට 50% දක්වා ඉහළ නැංවීමට යෝජනා කරයි. මෙම සංශෝධනය හේතුවෙන් රාජ්‍යය සතු කොටස් ප්‍රමාණය 50%කට අඩු රාජ්‍ය සම්බන්ධිත සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ වගකීමෙන් නිදහස් විය හැකි ය. මෙවැනි ආයතන පොදු කාර්යයන් ඉටු කරන අතර සැලකිය යුතු රාජ්‍ය වත්කම් සහ කොන්ත්‍රාත්තු කළමනාකරණය කරයි. එබැවින්, 50%ක ස්ථාවර හිමිකාරීත්ව සීමාවක් පැනවීම මගින් අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම් හෝ ඡන්ද හිමිකම් හරහා සිදුවන සැබෑ පාලනයේ තත්ත්වය නොසලකා හැරේ. තව ද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) පිළිබඳ පනතේ 25%ක හිමිකාරීත්ව සීමාවක් භාවිත කර ඇති බැවින්, මෙම සංශෝධනය එම පනතේ ප්‍රතිපාදන සමග ඍජුව ම පරස්පර වේ."

පනත් කෙටුම්පතේ 7 වන වගන්තියෙන් යෝජනා කර ඇත්තේ කුමක් ද?

පනත් කෙටුම්පතේ 7 වන වගන්තිය මගින් ප්‍රකාශනයට පෙර අවම වශයෙන් මාස හයක්වත් එක ම ගෘහස්ථයේ එකට ජීවත් වන සහකරුවන්ගේ, සහකාරියන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඇති බැඳීම ඉවත් කරමින්, ප්‍රධාන පනතේ 81(ඉ) වගන්තිය අහෝසි කිරීමට යෝජිත සංශෝධනය මගින් උත්සහ දරන බව TISL ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

කිසිදු සාධාරණීකරණයකින් තොරව එම විධිවිධානය අහෝසි කිරීම මගින් දූෂිත නිලධාරීන්ට තම නීතිවිරෝධී වත්කම් තම කලත්‍රයා හෝ යැපෙන්නන් නොවන, සහවාසයෙන් ජීවත්වන නිවැසියන්ගේ නම්වලින් ලියාපදිංචි කරමින් සඟවා තැබීමට ඉඩ සැලසෙන බව අවධාරණය කර තිබේ.

තව ද, ඒ හරහා ඵලදායී ලෙස වත්කම් පරීක්ෂා කිරීම සහ තහවුරු කර ගැනීම අඩාළ විය හැකි බවට ද TISL ආයතනය අනතුරු අඟවයි.

ප්‍රධාන පනතේ 88 වන වගන්තියට කර ඇති යෝජනා ගැන කනගාටුව

ප්‍රධාන පනතේ 88 වන වගන්තිය සංශෝධනය කරමින්, පුළුල් ලෙස තොරතුරු සංස්කරණය කිරීමේ බලතල සහ භාෂණයේ නිදහස භාවිත කිරීම අපරාධ වරදක් කිරීමට පනත් කෙටුම්පතේ 11 වන වගන්තියෙන් කර ඇති යෝජනා ගැන TISL ආයතනය කණගාටුව පළ කරයි.

"පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානි වන බව සලකන 'ඕනෑ ම තොරතුරක්' සංස්කරණය (මකා දැමීම හෝ වසා දැමීම) කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කිසිදු පදනමකින් තොර, පුළුල් සහ අත්තනෝමතික අභිමතානුසාරී බලයක් ලබා දෙයි. මෙම සීමාරහිත බලය නිසා, දූෂණ හෝ හෙළිදරව් නොකළ වත්කම් හඳුනා ගැනීමට අත්‍යවශ්‍ය වන ප්‍රධාන මූල්‍ය තොරතුරු අධික ලෙස සංස්කරණය වීමේ අවදානමක් පවතී," යනුවෙන් එම සංවිධානය පෙන්වා දෙයි.

"සංස්කරණය කරන ලද වත්කම් ප්‍රකාශන පිටපතක්, මහජනතාව විසින් පනතේ 86 වැනි වගන්තිය යටතේ හැර වෙනත් කිසිදු කාර්යයක් සඳහා භාවිත කිරීම අපරාධ වරදක් බවට පත් කරන අලුත් උපවගන්තියක් ඇතුළත් කර ඇත. මහජන තොරතුරු වෙනත් ඕනෑ ම ආකාරයකින් භාවිත කිරීම අපරාධයක් බවට පත් කරන අතර, එයට මහේස්ත්‍රාත් අධිකරණ නඩු විභාගයකින් පසුව රුපියල් 100,000 දක්වා දඩයක්, වසරක් දක්වා සිරදඬුවමක් හෝ යන දෙක ම නියම කළ හැක," යනුවෙන් TISL ආයතනය පවසයි.

තව ද, පොදු තොරතුරු භාවිතයෙන් මහජනතාවට කළ හැකි දේ සීමා කිරීම මගින් සිවිල් සමාජ අවකාශයට, මාධ්‍යවේදයට සහ නිදහස් මාධ්‍යයට දැඩි බියක් සහ බාධාවක් ඇති කරන බව එම ආයතනය පෙන්වා දෙයි.

'ජනතා පරමාධිපත්‍යය සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්'

එසේ ම ප්‍රධාන පනතේ 149 වැනි වගන්තිය අහෝසි කර වෙනත් වගන්තියක් ආදේශ කර ඇති බව පවසන TISL ආයතනය, ඇප ලබා දීම සුවිශේෂී තත්ත්වයක් ලෙසත්, රක්ෂිත බන්ධනාගාරගත කිරීම සාමාන්‍ය නීතිය පත් කර ඇති බවත් සඳහන් කර තිබේ.

"මෙම විධිවිධානය අපැහැදිලි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව අතිශය පුළුල්, නියමිත මගපෙන්වීම් නොමැති එකක් වන අතර, එය සමානුපාතිකත්වයේ මූලධර්ම සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පෙත්සමෙහි දැක්වේ."

යෝජිත සංශෝධනය හරහා සංශෝධන මගින් විශාල ප්‍රතිපත්තිමය පසුබැසීමක් නිරූපණය වන අතර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම් උල්ලංඝනය වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 12, 13, 14(1)(අ), 14අ, 126, 140 සහ 156අ(1)(ඇ) යන ව්‍යවස්ථාවන්ට පටහැනි බව මේ පෙත්සමේ සඳහන් කර තිබේ.

එමගින් ජනතා පරමාධිපත්‍යය සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටත්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සීමා වන අතර ම ජනතාවගේ අධිකරණ බලයට ද බලපෑම් එල්ල වන බව TISL ආයතනය සිය පෙත්සමෙන් පෙන්වා දෙයි.

"ඒ අනුව, පනත් කෙටුම්පතේ අදාළ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන විධිවිධානවලට පටහැනි බවට තීන්දු කරන ලෙස TISL පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින අතර, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකදී ජනතාව අනුමත නොකරන්නේ නම් මෙම විධිවිධාන නීතියක් බවට පත් විය නොහැකි බවට තීන්දු කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටී," යැයි TISL ආයතනය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

පෙත්සම් 14ක් විභාගය අරඹයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාග කිරීම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ආරම්භ කර තිබේ.

මෙම පෙත්සම් අද (සැප්: 03) ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනේ.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් පෙත්සම් 14ක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ජනතා පරමාධිපත්‍යය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව ය.

ඊට අමතරව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම මෙම පනත් කෙටුම්පත හරහා කප්පාදු වන බවත් පෙත්සම්වල සඳහන් වේ.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එය අනුමත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණය ඉල්ලා තිබේ.