වැසි අඩු වන්නේ කවදා ද? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැහැදිලි කරයි

වර්ෂාව නිසා කුඩ දෙකක් ඉහළ ගෙන පාර පනින පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක්. ඒ අසල ත්‍රිරෝද රථයක් දක්නට ලැබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඊට යාබද දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ගැඹුරු පීඩන අවපාතයෙන් ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් එල්ල නොවුව ද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන් ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන් ම, උතුරු මැද පළාත සහ මන්නාරම දිස්ත්‍රික්කය තුළ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ ය.

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය,

ඉදිරි වැසි තත්ත්වය පිළිබඳ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ, පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය එළඹෙන හෙට (සැප්. 25) වන දා දක්වා පවතිනු ඇති බව ය.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන් ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

එමෙන් ම, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව ද ඔහු පැවසීය.

බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල ඉදිරියේදී සවස කාලයේ වැසි ඇති විය හැකි බවයි.

"දැනට පවතින වැසි තත්ත්වය අඩු පීඩන කලාපයේ වර්ධනයේ බලපෑම හේතුවෙන් ඇති වුවත්, අප තවමත් නිරිතදිග මෝසම් කාලයේ අවසන් අදියරේ පසුවනවා. ඒ නිසා දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල සවස කාලයේ වැසි අපේක්ෂා කරනවා. ඉන් අනතුරුව අන්තර් මෝසම් වැසි තත්ත්වයක් ද අපේක්ෂා කරනවා. මෙය එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඇති වූ තත්ත්වයක් නොවේ," යැයි ඔහු පැවසීය.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන් ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල ද විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

හැටන් බගවන්තලාව ප්‍රදේශයට සැප්:20 වැනිදා පස් කන්දක් කඩා වැටී අවහිරවී තිබු අයුරු.
ඡායාරූප ශීර්ෂ වැකිය, දිස්ත්‍රික්ක 14ක් සඳහා ඇම්බර් මට්ටමේ නාය යාම් අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි

නාය යාම් සහ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම්

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර, අදාළ ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස එම නිවේදනයෙන් දැනුම් දී ඇත.

ඒ අනුව, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්ට අයත් ප්‍රදේශ කිහිපයක් සඳහා තුන්වන මට්ටමේ (රතු) ඉවත් වීමේ නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මේ වන විට ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ රැසකට නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීමේ ඇම්බර් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.

මේ අතර, ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

මේ වන විට ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර සහ තවදුරටත් වැසි ලැබෙමින් පවතින අතර අද (සැප් : 24) අලුයම 2.30ට නිකුත් කර ඇති මෙම නිවේදන හෙට (සැප්. 25) අලුයම 2.30 දක්වා වූ කාලය සඳහා බලපැවැත්වේ.

එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ගිං ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24ක කාලය තුළ තවලම, නාගොඩ, බද්දේගම, වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

මේ අතර, නිල්වලා ගංඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ද ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24 තුළ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ්, කඹුරුපිටිය සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරුඇඟවීම් නිකුත් කර ඇත.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

ඩිංගි බෝට්ටුවක් ලොරි රථයකට පටවන නාවික හමුදා නිලධාරීන් පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy

ඡායාරූප ශීර්ෂ වැකිය, අද උදෑසන වන විට ආපදා සහන කණ්ඩායම් 14ක් දකුණු සහ බටහිර නාවික විධාන මගින් ස්ථානගත කර ඇති බව නාවික හමුදාව පැවසීය

ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාව සීරුවෙන්

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කරයි.

ඒ අනුව, අද (සැප්: 24) උදෑසන වන විට ආපදා සහන කණ්ඩායම් 14ක් දකුණු සහ බටහිර නාවික විධාන මගින් ස්ථානගත කර ඇති බව නාවික හමුදාව සඳහන් කළේ ය.

දකුණු නාවික විධානය විසින් තවලම ප්‍රදේශයේ ආපදා සහන කණ්ඩායම් දෙකක් ද, හිනිදුම, මාපලගම සහ නාගොඩ යන ප්‍රදේශවල කණ්ඩායම බැගින් එකක් ද ලෙස සමස්ත කණ්ඩායම් පහක් ස්ථානගත කර තිබේ.

එමෙන් ම, බටහිර නාවික විධානය විසින් නාවලපිටිය ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක්, යටියන්තොට ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක්, සීතාවක ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් සහ රත්නපුර ප්‍රදේශයේ කණ්ඩායම් තුනක් වශයෙන් සමස්ත ආපදා සහන කණ්ඩායම් නවයක් අවශ්‍යතාවමත ක්ෂණිකව යෙදවීම සඳහා ස්ථානගත කර ඇති බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ ය.