ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රාජකීය නාවික පුහුණුව: යෝෂිත සහ වසන්ත තමන් නිවැරදි බව අධිකරණය හමුවේ කියති; අද සිදුවූයේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
අල්ලස් කොමිසම ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද (නොවැ: 23) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
ඔවුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවිණි.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසම ගොනු කර තිබූ චෝදනා විවෘත අධිකරණයේදී විත්තිකරුවන්ට කියවා දීම සිදුකෙරිණි.
චෝදනා මොනවා ද?
2006 වසරේ නිසි සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට යොමු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා ය.
ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.
එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ අතර වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 10 වන දා දක්වා කල් තැබිණි.