ශ්‍රී ලංකා ක්‍රිකට්: ෂම්මි සිල්වාගේ සභාපති ධූරයට කුමක් වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ෂම්මි සිල්වා ඇතුළු පාලක මණ්ඩලය මෙම සතියේදී එම ධූරවලින් ඉවත් වීමට නියමිත බවට වාර්තා පළ වී තිබේ.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනය ඉවත් විය යුතු බවට වසර ගණනාවක් පුරාවට මෙරට ක්‍රීඩාලෝලීන් මෙන් ම දේශපාලඥයින් ද අදහස් දක්වා තිබෙන පසුබිමක ය.
ෂම්මි සිල්වා 2019 වසරේ සිට අඛණ්ඩව වසර 07ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින අතර ඔහුට තවත් වසරකට ආසන්න කාලයක් එම ධූරයේ කටයුතු කිරීමේ හැකියාව පවතී.
මේ අතර, අද (අප්‍රේල් 27) පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ කියා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයක් කිරීමට නියමිත බව ය.
ක්‍රිකට් ආයතනයට එල්ල වූ විරෝධතා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිගින් දිගට ම සිදුවූ පරාජයන් සහ පරිපාලන දුර්වලතා හේතුවෙන් ඉකුත් මාර්තු මාසයේදී කොළඹ පිහිටි ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා මාලාවක් පැවැත්විණි.
වත්මන් ක්‍රිකට් පරිපාලන නිලධාරීන් වහා ම ඉල්ලා අස්විය යුතු බවට සහ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නංවන ලෙස බලකරමින් භික්ෂූන් වහන්සේලා සහ සිවිල් ක්‍රියාකාරීහු මෙහිදී උද්ඝෝෂණය කළහ.
2026 ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මුල් වටයෙන් ම ඉවත්වීමට සිදුවීම ක්‍රිකට් ආයතනයේ පාලකයින්ට ඉවත්වන ලෙස එල්ල වන විරෝධතා දැඩි විමට ප්‍රධාන හේතුවක් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ෂම්මි සිල්වා ඇතුළු පාලක මණ්ඩලය අඛණ්ඩව වසර 07ක් තනතුර දරමින් සිටින අතර, එම කාල සීමාවේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමකට ලක්වූ බවට චෝදනා එල්ල වෙයි.
ක්‍රිකට් පරිපාලනයට එල්ල වූ දූෂණ චෝදනා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇති බව පැවසෙන දූෂණ සම්බන්ධයෙන් ද ෂම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් පාලක මණ්ඩලයට චෝදනා එල්ල වී තිබේ.
2022 වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවති ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ඔවුන්ගේ හිතවතුන්ට වියදම් දැරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවක් මගින් කරුණු හෙළිවී තිබිණි.
එමෙන් ම, සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ද ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් අවස්ථා රැසකදී කරුණු වාර්තා කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දේශපාලනික මැදිහත්වීම සහ ක්‍රිකට් තහනම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2023 වසරේ නොවැම්බර් මස 09 වන දා "ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඇතුළු දූෂිත නිලධාරීන් ඉවත් කිරීම" යන මැයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හමුවේ විවාදයක් පැවැති අතර එහිදී එම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.
එවකට ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් කටයුතු කළ රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ 2018 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණනයක් සිදුකරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුව හරහා නියෝගයක් ලබා දෙන ලෙස තමන් ඉල්ලා සිටින බව ය.
කෙසේ වුව ද 2023 වසරේ නොවැමබර් මස 05 වන දා එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබූ අතර, අර්ජුණ රණතුංග ඇතුළු පිරිසක් අතුරු පාලක කමිටුවක් ලෙස පත් කරනු ලැබූහ.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ අතුරු කමිටුවට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් අතුරු තහනම් නියෝගයක් ගනු ලැබූ අතර පසුව මෙම ගැටලුව විසඳීම සඳහා එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ විසින් අලි සබ්රි අමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් අනු කමිටුවක් පත් කරනු ලැබීය.
මෙම ගැටලුව හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ එම ධූරයෙන් ඉවත් කර හරීන් ප්‍රනාන්දු පත් කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අනතුරුව පියවර ගත්තේ ය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දුර්වල ප්‍රතිඵල හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා අතුරු පාලක මණ්ඩලයක් නම් කරනු ලැබීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 නොවැම්බර් මස 10 වන දා ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටවනු ලැබුවේ ය.
"ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම්, විශේෂයෙන් ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සහ රාජ්‍ය පාලනය, නියාමනය හෝ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව" ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරනු ලැබූ ලිපියේ සඳහන් විය.
කෙසේ වුව ද මාස 03කට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා තිබු තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේ ය.
ක්‍රිකට් ආයතනය කියන්නේ කුමක් ද?
මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා එම සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ ද යන්න පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා ඔහු දුරකතන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය අවස්ථා කිහිපයකදී ම උත්සහ කළ නමුත් ඔහු එම ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වූයේ නැත.
මේ අතර බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ විවිධ මාධ්‍ය මගින් වත්මන් සභාපතිවරයා ඉල්ලා අස්වන බවට වාර්තා කර තිබුණ ද ඒ පිළිබඳව නිල දැනුම් දීමක් මෙතෙක් සිදුවී නොමැති බව ය.
යම් හෙයකින් ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සිය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු සියලු නිලධාරීන්ට එම ධූරවලින් ඉල්ලා අස්වීමට සිදුවන බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ ය.
"මාධ්‍යවලින් නම් විවිධ දේ කියනවා. මේ වෙනකම් අපිට කිසි ම නිල දැනුම් දීමක් සිදුකර නැහැ. ඒත් ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමා ධූරයෙන් ඉල්ලා අස්වුණොත් පාලක මණ්ඩලයට සම්පුර්ණයෙන් ඉල්ලා අස්වෙන්න වෙනවා," එම නිලධාරියා කියා සිටියේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉඩ දෙයි ද?
ශ්‍රී ලංකාවේ 1973 ක්‍රීඩා නීතිය මගින් ක්‍රීඩා අමාත්‍යවරයාට පාලක මණ්ඩල විසුරුවා හැරීමට පුළුල් බලතල ලබා දී ඇති අතර, එය මීට පෙර ක්‍රියාත්මක කර ඇති විධිවිධානයකි.
2015 දී හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි අතුරු කමිටුවක ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, 2018 දී එවකට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, තිලංග සුමතිපාලගේ ධූර කාලය අවසන් වීමෙන් පසු කමල් පද්මසිරි නිසි බලධාරියා ලෙස පත් කළේ ය.
කෙසේ වුවද, ක්‍රිකට් අතුරු කමිටු පත් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පාලන රාමුවට අනුකූල නොවන අතර, ඔවුන් සිය සාමාජික මණ්ඩලවලට එල්ල වන දේශපාලන මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරයි.
නමුත් 2022 වසරේදී රමීස් රාජා පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරෙන් ඉවත් කිරීමෙන් අනතුරුව එරට ක්‍රිකට් පාලන කටයුතු වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කෙරිණි. 2024 වසරේදී පැවති නිලවරණයෙන් අනතුරුව වත්මන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය බලයට පත් විය.
මේ අතර 2026 අප්‍රේල් මස මුලදී පත් කරන ලද නව සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුත් තාවකාලික කමිටුවක් යටතේ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.
එවන් පසුබිමක 2023 වසරේදී ශ්‍රී ලංකාව අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට සාමාජිකත්වය අත්හිටවනු ලදී.
කෙසේ වුවද එවන් පසුබිමක් යටතේ නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එකඟතාවය හිමිවේද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ.
ඉකුත් මාර්තු මස 05 වැනිදා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මාධ්‍ය අමතමින් කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ පරිපාලනමය වශයෙන් වෙනස්කම් කිරිම සඳහා රජය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සම්බන්ධ වෙමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවය.
''ක්‍රීඩාව තහනම් කර ගන්නේ නැතිව අවශ්‍ය වෙනස්කම් සිදුකර ගන්න රජයක් හැටියට අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කරමින් ඉන්නවා. මොකද අද මේ සාකච්ඡාවලට ජනාධිපතිතුමාත් මැදිහත් වෙලා ඉන්නවා.'' යනුවෙන් අමාත්‍යවරයා එහිදී පැවසුවේය.


































