Facebook සහ Instagram සදහට ම වෙනස් කළ හැකි මෙටා සමාගමට එරෙහි දැවැන්ත නඩුව

Mark Zuckerberg, chief executive of Meta, wearing a dark blue suit with a dark red tie

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, කැලී හේස්
    • Role, තාක්ෂණික වාර්තාකාරිනී
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

යොවුන් පරිශීලකයන් ඉලක්ක කර ඔවුන්ට හානි සිදු කළේ යැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් මෙටා සාමාගම අධිකරණයේදී අඛණ්ඩව පරාජයන්ට මුහුණ දී ඇති නමුත් අඟහරුවාදා ආරම්භ වීමට නියමිත ජූරි සභා නඩු විභාගය එහි මෙහෙයුම්වලට මෙතෙක් එල්ල වූ විශාලතම තර්ජනය විය හැකි ය.

එය ළමුන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධ ෆෙඩ්රල් සහ ප්‍රාන්ත නීති රැසක් උල්ලංඝනය කර ඇති බව පවසමින් කැලිෆෝනියා සහ නිව් යෝර්ක් ඇතුළු ඇමෙරිකානු ප්‍රාන්ත 30ක් විසින් 2023 වසරේදී ගොනු කරන ලද නඩුවකි.

මෙම ප්‍රාන්ත 30 මෙටා සමාගමෙන් ඩොලර් ට්‍රිලියනයකට වැඩි මුදලක් ඉල්ලා සිටිනවා පමණක් නොව, ඉන්ස්ටග්‍රෑම් (Instagram) සහ ෆේස්බුක් (Facebook) වෙත වෙනස්කම් රැසක් සිදු කරන ලෙස ද ඉල්ලා සිටී. ඒවා අතර "Like" ගණන පෙන්වීම නතර කිරීම සහ ඉන්ෆිනිට් ස්ක්‍රෝල් (infinite scroll) ඉවත් කිරීම ද ඇතුළත් වේ.

මෙටා සමාගම අවසානයේ මෙවැනි මහා පරිමාණයේ නඩුවකින් පරාජයට පත්වුවහොත්, යොවුන් පරිශීලකයින් සමාජ මාධ්‍ය අත්විඳින ආකාරයේ මූලික වෙනස්කම් සිදු කිරීමට එය හේතු විය හැකි ය.

එමෙන් ම මෙම ප්‍රාන්ත, යෞවන යෞවනියන් සඳහා ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් තවත් බොහෝ වෙනස්කම් සිදු කරන ලෙස ද ඉල්ලා සිටී.

ඔවුන්ගේ ඉල්ලීම් අතර පහත සඳහන් වෙනස්කම් සිදු කළ යුතු ය:

  • යොවුන් පරිශීලකයන් සඳහා දෙමාපිය අනුමැතිය තහවුරු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම
  • "ඩොපමින් උත්තේජනයට බලපෑම් කරන නිර්දේශ ඇල්ගොරිදම (recommendation algorithms)" වෙනස් කිරීම
  • ඡායාරූපවල පුද්ගලයෙකුගේ පෙනුම වෙනස් කරන ෆිල්ටර්ස් රැසක් ඉවත් කිරීම
  • වීඩියෝ අන්තර්ගත ස්වයංක්‍රීයව ධාවනය වීම (autoplay) නතර කිරීම
  • ගිණුම් කිහිපයක් නිර්මාණය කිරීම තහනම් කිරීම
  • ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරීස් (Instagram Stories) වැනි මැකී යන හෝ "ඉතා කෙටි කාලයක් පවතින" පළ කිරීම් නතර කිරීම

මෙම සියලු විශේෂාංග මෙටාහි වේදිකාවල වර්තමාන පරිශීලක අත්දැකීම්වල මූලිකාංග වේ.

මෙම විශේෂාංග සැලසුම් කර ඇත්තේ, නව යොවුන් සහ ළමා ඇතුළු පරිශීලකයන් නිතර සහ හැකිතාක් වැඩි කාලයක් එම වේදිකාවල රඳවා තබා ගැනීමට බව ප්‍රාන්ත පවසයි. එමෙන් ම යොවුන් පරිශීලකයින් නැවතත් එම යෙදුම් වෙත පැමිණීමට පොළඹවන ආකාරයෙන් නිතර නොටිෆිකේෂන් යැවීම (notifications) වැනි ක්‍රම මගින් ඔවුන්ට එම වේදිකා භාවිතය අඩු කිරීම පවා මෙටා සමාගම අපහසු කර ඇති බවට ඔවුහු චෝදනා කරති.

තම පරිශීලක පදනම වර්ධනය කර ගැනීමට සහ සිය ව්‍යාපාරය පුළුල් කර ගැනීමට ළමා පරිශීලකයන් ඉලක්ක කර ගනිමින්, ඔවුන් තම වේදිකාවලට ඇබ්බැහි කර තබා ගැනීම සඳහා යොවුන් පරිශීලකයින් "හිතාමතා සූරාකෑමට" ලක් කළ බවට මෙටා සමාගමට චෝදනා එල්ල වී තිබේ. අද වන විට කොටස් වෙළෙඳපොළේ මෙටා සමාගමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක් පමණ වේ.

මෙටා සමාගම දිගින් දිගට ම එවැනි ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇත.

"මෙම චෝදනා අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර, යොවුන් පරිශීකලයින්ට සහය දැක්වීමට අප දිගු කලක් තිස්සේ කර ඇති කැපවීම සාක්ෂි මගින් තහවුරු වනු ඇතැයි අපට විශ්වාස යි," සමාගමේ ප්‍රකාශිකාවක් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා ය.

ප්‍රාන්ත සිය චෝදනා ඉදිරිපත් කරන්නේ, කැලිෆෝනියාවේ ප්‍රධාන ෆෙඩ්රල් විනිසුරුවරියක වන ඉවෝන් ගොන්සාලේස් රොජර්ස් හමුවේ ය. ප්‍රසිද්ධියට පත් ඊලොන් මස්ක් එදිරිව සෑම් ඕල්ට්මන් අතර නඩු විභාගයේ විනිසුරුවරිය වූ ඇය, වසර 20කට ආසන්න කාලයක් විනිසුරු ධූරය හොබවමින් තියුණු සහ ඍජු තීන්දු ලබාදෙන විනිසුරුවරියක ලෙස නමක් දිනාගෙන තිබේ.

'මහජන පීඩාවක්' බවට පත්වූ සමාජ මාධ්‍ය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙටා සමාගමට එරෙහිව මෑතකදී ලබාදුන් තීන්දුවකදී, නිව් මෙක්සිකෝවේ විනිසුරුවරයෙකු සමාගමට ඩොලර් මිලියන 942ක දඩයක් නියම කළ අතර, දැන් අනෙකුත් ප්‍රාන්ත ඉල්ලා සිටින ආකාරයේ වෙනස්කම් සිදු කරන ලෙස ද නියෝග කළේ ය.

වයස අවුරුදු 18ට අඩු පරිශීලකයන් සඳහා ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක්හි "Like" සංඛ්‍යාව පෙන්වීම ඉවත් කිරීම, යොවුන් පරිශීලකයන්ට එම වේදිකා හරහා නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ යැවීම හෝ ලබා ගැනීම තහනම් කිරීම සහ එම යෙදුම්වලින් ලැබෙන 'push notifications' දවසේ නිශ්චිත වේලාවන්ට සීමා කිරීම විනිසුරු බ්‍රයන් බීඩ්ෂයිඩ් නියෝග කළ වෙනස්කම් අතර වේ.

විනිසුරුවරයා මෙටා සමාගම "මහජන පීඩාවක්" ලෙස ද ප්‍රකාශ කළේ ය. එය මිනිසුන් හුස්ම ගන්නා වාතය දූෂණය කරන කර්මාන්ත ශාලාවකට සමාන කරමින්, සමස්ත ජනගහනයකට බලපාන "හානිකර බලපෑම්" එමගින් ඇති කරන බව ඔහු පැවසීය. මෙටා සමාගම එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව සඳහන් කළේ ය.

විනිසුරු බීඩ්ෂයිඩ්ගේ නියෝගය අනුව මෙටා සමාගමට වෙනස්කම් සිදු කිරීමට සිදුවන්නේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තය තුළ පමණක් වුව ද, සමාගමට එරෙහිව ගොනු කර ඇති අනෙක් නඩුවෙන් ප්‍රාන්ත 30 ජයගතහොත්, ඇමෙරිකාව පුරා සිය වේදිකාවල සැලකිය යුතු වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට මෙටා සමාගමට බොහෝ දුරට සිදුවනු ඇත.

මෙම නඩුවට සම්බන්ධ ප්‍රාන්තවල, ඇමෙරිකාවේ සමස්ත ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් වාසය කරති.

මෙටා සමාගම මෙවැනි වෙනස්කම් ක්‍රියාත්මක කළහොත්, එය එහි සැලකිය යුතු වෙනසක් ඇති කරන පියවරක් වනු ඇත.

A teenage girl wearing coloured bracelets sits outside looking down at her iPhone

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මෑතකදී ලබාදුන් ෆෙඩ්රල් අධිකරණ තීන්දුවකින්, යොවුන් පරිශීලකයින් අතර මානසික සෞඛ්‍යය පිරිහීමට බලපාන එක් සාධකයක් ලෙස සමාජ මාධ්‍ය හඳුනාගෙන තිබේ

උදාහරණයක් ලෙස, "Like" සංඛ්‍යාව පෙන්වීම මෙටා සමාගමේ ආරම්භක අවධියේ සිට ම පැවති විශේෂාංගයකි. එවකට සමාගම ෆේස්බුක් ලෙස හැඳින්වූ අතර, එහි තිබූ එක ම සමාජ මාධ්‍ය වේදිකාව ද ෆේස්බුක් විය.

අද වන විට "Likes" සමාජ මාධ්‍ය වේදිකාවල සෑම තැනක ම දක්නට ලැබෙන අංගයක් බවට පත්ව තිබේ. ඉන්ටර්නෙට්හි දකින පෙළ (text), ඡායාරූප සහ වීඩියෝ සමග පරිශීලකයන් අන්තර්ක්‍රියා කරන ප්‍රධාන ක්‍රමය ද එයයි.

එහෙත්, විශේෂයෙන් ම යොවුන් පරිශීලකයින් අතර, "Likes" ඍණාත්මක හැඟීම් ඇති කිරීමට හේතු වන සාධකයක් ලෙස වැඩි වැඩියෙන් සැලකෙමින් පවතී.

මෙම වසර මුලදී මෙටා සමාගමට එරෙහි නඩුවෙන් ජයගත් තරුණියක වන කැලී, අධිකරණයේදී සාක්ෂි ලබාදෙමින් තමන් යූටියුබ් (YouTube) සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් විශාල ගණනක් නිර්මාණය කළ ආකාරය විස්තර කළා ය.

තමන් නිර්මාණය කළ ගිණුම් පද්ධතිය භාවිත කරමින් තමන්ගේ ම පෝස්ට්වලට "Likes" ලබා ගැනීමට ඇය කටයුතු කළා ය. එසේ කළේ අනෙකුත් පරිශීලකයන් ආකර්ෂණය කර ගැනීමටත්, තමන්ට පිළිගැනීමක් සහ ස්වයංවටිනාකමක් දැනෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එවකට කැලීගේ වයස අවුරුදු නවයක් පමණි. විෂාදය ලෙස ඇයට අවුරුදු 10දී හඳුනා ගැනුණු එම මානසික තත්ත්වය, එකල තමන්ට දැනුණු බව මතකයේ පවතින්නේ යැයි ඇය පැවසුවා ය.

පසුගිය වසර කිහිපය තුළ සිදු කළ පර්යේෂණවලින් පෙන්නුම් කර ඇත්තේ, "Like" සංඛ්‍යාව වැනි අන්තර්ක්‍රියා මිනුම් දර්ශක (engagement metrics) යොවුන් වියේ පසුවන්නන් තුළ ප්‍රතික්ෂේප වීමේ හැඟීම් සහ විෂාදය වැඩි කිරීමට හේතු විය හැකි බව ය.

මෙටා සමාගමට එරෙහිව ප්‍රාන්ත විසින් ගොනු කරන ලද නඩුවේදී, තමන් ලේඛන මිලියන 2කට අධික ගණනක් භාර දී ඇති බව නීතිඥ සමාගම පැවසීය. එහිදී නීතිඥයෝ මෙටා සමාගම විසින් ම සිදු කරන ලද පර්යේෂණ හුවා දක්වමින්, "Like" සංඛ්‍යාව "සමාජ සංසන්දනය" වැඩි කරන බව පෙන්වා දුන්හ. එනම්, වෙනත් අයෙකුගේ රූප හෝ ජීවිතය සමග සසඳා තමන්ගේ වටිනාකම මැන බැලීමේ මානසික ක්‍රියාවලිය කි.

මෙටා සමාගමේ අභ්‍යන්තර පර්යේෂණවලට අනුව, ඉන්ස්ටග්‍රෑම් මගින් උත්තේජනය වන එම සමාජ සංසන්දනය "වැඩි තනිකමක් දැනීම, තම ශරීරය පිළිබඳ අහිතකර ආකල්ප ඇතිවීම සහ ඍණාත්මක මානසික තත්ත්වයන් හෝ හැඟීම්" සමග සම්බන්ධ වී තිබේ.

සමාජ මාධ්‍ය සමාගමක් "මහජන පීඩාවක්" ලෙස නම් කළ ප්‍රථම අවස්ථාව වූ සිය නියෝගයේදී විනිසුරු බීඩ්ෂයිඩ් සඳහන් කළ පරිදි, දශකයකට වැඩි කාලයක් පුරා මෙටාහි වේදිකා ක්‍රියාත්මක වූ ආකාරය නිව් මෙක්සිකෝවේ මෙන් ම වෙනත් ප්‍රදේශවල ද වර්ධනය වෙමින් පවතින "යෞවන මානසික සෞඛ්‍ය අර්බුදයක" කොටසක් වී තිබේ.

දැන් තවත් ප්‍රාන්ත 30ක නීතිඥයන්, විනිසුරු ගොන්සාලෙස් රොජර්ස් ද එම නිගමනයට ම පැමිණිය යුතු බවට අධිකරණය හමුවේ තර්ක කරනු ඇත.