22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය (දිනය 01): අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

Supreme Court

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 6

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය සැප්තැම්බර් 02 වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියම කළේ ය.

ඒ අනුව, පෙත්සම්කාර පාර්ශවයේ දේශන ඊයේ (සැප්. 01) රාත්‍රී 10.30ට පමණ අවසන් වූ අතර, වැඩිදුර දේශන අද (සැප්. 02) සිදු කිරීමට නියමිත ය.

අතරමැදි පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයා අද (සැප්:02) දිනයේදී කරුණු දැක්වීමට නියමිත ය.

අඟහරුවාදා සිදුවූයේ කුමක් ද?

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශව කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේ ය.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ, අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු කරන බවත් ය.

මෙම පෙත්සම් අද විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එස්.ඒ. සුමන්තිරන් මෙම ඉල්ලීම කළේ ය.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 67ක් ගොනු කර ඇති අතර අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සම් 05ක් ඉදිරිපත් කර තිබේ.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති ලෙස නම් කර ඇත්තේ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ය

ඡායාරූප මූලාශ්‍රය, LinkedIn

ඡායාරූප ශීර්ෂ වැකිය, පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති ලෙස නම් කර ඇත්තේ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ය

'ළබැඳියාවන් අතර ගැටුමක් මේ අවස්ථාවේදී උද්ගත වෙනවා'

පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්, "ස්වාමීනි.. මෙය කෙලින් ම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුකරන පනත් කෙටුම්පතක්. මේ හරහා අගවිනිසුරුවරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ වෙනවා. සෙසු විනිසුරුවරුන්ගේත් විශ්‍රාම වයස දීර්ඝ වීමක් සිදුවෙනවා. ඒ නිසා ළබැඳියාවන් අතර ගැටුමක් මේ අවස්ථාවේදී උද්ගත වෙනවා. එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලු ම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා," යනුවෙන් සඳහන් කළේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉන් අනතුරුව තවත් පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.

"ස්වාමීනි... යෝජිත පනත් කෙටුම්පත තුළින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කර තිබෙනවා. යුක්තිය ඉටුවෙනවා පමණක් නොව එය ඉටුවන බව පෙනෙන්නත් තිබිය යුතු යි. "බැංගලෝර් මූලධර්ම" අනුව අධිකරණ ක්‍රියාදාමයන් ස්වාධීන විය යුතු යි." එමනිසා මෙම පනත් කෙටුම්පත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසත් ජනාධිපති නීතිඥ ඉල්ලා සිටියේ ය.

ඊට අමතරව තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරු මෙම ඉල්ලීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වා සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනී.. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (3) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමේ අභිමතය පැවරී තිබෙන්නේ අගවිනිසුරුවරයාට ය. එම ප්‍රතිපාදනය ප්‍රකාරව අගවිනිසුරුවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් වශයෙන් දෙදෙනෙකුට වැඩි විනිසුරුවරුන් සංඛ්‍යාවක් නම් කළ හැකි යි. විනිසුරු මඩුල්ලේ සංයුතිය තීරණය කිරීමේ සම්පූර්ණ බලය අගවිනිසුරුවරයා වෙත පැවරී තිබෙනවා. ඊට බාහිර පාර්ශවයන්ට මැදිහත් වීමට හැකියාවක් නැහැ," යනුවෙන් පැවසීය.

අතරමැදි පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විනිසුරු මඩුල්ලක සංයුතිය සම්බන්ධයෙන් තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරුවරයා සතු වන බව පෙන්වා දුන්හ.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, අදාළ පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ය.

ඒ අනුව, පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය ඉදිරියට පවත්වාගෙන යන බවත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය ආරම්භ විය.

'යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත ව්‍යවස්ථා කිහිපයක් ම උල්ලංඝනය වෙනවා'

එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත ව්‍යවස්ථා කිහිපයක් ම උල්ලංඝනය වෙනවා. විශේෂයෙන් 03 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. මෙවැනි අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයක් සඳහා යොමු කිරීමට තීරණය කළ යුතු යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන උල්ලංඝනය කරන මෙවැනි සංශෝධන අනිවාර්යයෙන් ම ජනමත විචාරණයකට යොමු විය යුතු යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 ව්‍යවස්ථා ජනතා පරමාධිපත්‍යයට කෙලින් ම සම්බන්ධ වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන ව්‍යවස්ථාවට සිදු කරන සියලු වෙනස්කම් 03 වන ව්‍යවස්ථාවට බලපානවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 ව්‍යවස්ථාව තුළින් ජනතා පරමාධිපත්‍යය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හරහා ක්‍රියාත්මක වන බව දක්වා තිබෙනවා. වත්මන් අමාත්‍ය විජිත හේරත් මහතා විපක්ෂයේ සිටියදී පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට. නමුත් අධිකරණය සඳහන් කළා, ඊට ජනමත විචාරණයක් අවශ්‍ය බවට. 2022 වසරේ දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ තීන්දුවේ අධිකරණය ප්‍රකාශ කළා, විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට. අධිකරණ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 ව්‍යවස්ථාවේ අන්තර්ගත වන බව උපරිමාධිකරණ තීන්දුවක සඳහන් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාවේ අධිකරණය පිළිබඳව සඳහන් වෙනවා. එහි උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිබඳව සඳහන් වෙනවා. යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික පදනමට ඍජුව ම බලපෑම් එල්ල කෙරෙනවා. ඒ නිසා මෙම සංශෝධනය ජනමත විචාරණයකින් පවා අනුමත කරන්න බැහැ. මෙහි බරපතළභාවය ගැන නීතිඥ සංගමය බලධාරීන්ට ලිව්වා. නමුත් කිසි ම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. අවසානයේදී මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නීතිඥ සංගමයට මහ සභා රැස්වීමක් කැඳවීමට සිදු වුණා.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු විනිසුරුවරුන් හය දෙනෙක් විශ්‍රාම ගියා. අගවිනිසුරුවරුන් දෙදෙනෙක් විශ්‍රාම ගියා. මෙම සංශෝධනය සම්මත වුවහොත් අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වෙනවා." යනුවෙන් පැවසීය.

ඉන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ මහාචාර්ය ජී.එල්. පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස 63 ලෙසත් දක්වා තිබෙනවා. යෝජිත පනත් කෙටුම්පතේ අග විනිසුරුවරයාගේ ධුර කාලය සීමා කර තිබෙනවා. ඒ තුළින් ඍජුව ම ජනතා පරමාධිපත්‍යය හා ගැටීමක් සිදු වෙනවා. විනිසුරුවරුන්ට නිදහසේ සිය රාජකාරි ඉටු කිරීමට පරිසරයක් තිබිය යුතු යි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබූ පමණින් එම නිදහසට බාධා සිදුවෙන්න බැහැ. මෙම පනත් කෙටුම්පත තුළින් අධිකරණ ස්වාධීනත්වයට ඍජුවම බලපෑම් සිදුවෙනවා. ඒ හරහා ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වෙනවා. අධිකරණය ඉදිරියේ මෙවැනි කරුණු දැක්වීමක් සිදු කිරීමට සිදුවීම ගැන මා කණගාටු වෙනවා. මෙවැනි කරුණු දැක්වීමක් සිදු කිරීමට සිදුව තිබෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා යි. ඔබතුමන්ලාගේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන්. විධායකය මේ ආකාරයට ඔබ තුමන්ලාව අපහසුතාවට ලක් නොකළ යුතු යි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අඩු කිරීම පමණක් නොව එය ඉහළ නැංවීමෙන් පවා අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය වෙනවා. ශ්‍රී ලංකාව යනු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. අපට චීනයක් හෝ වියට්නාමයක් වීමට අවශ්‍ය නෑ," යනුවෙන් නීතිඥවරයා සඳහන් කළේ ය.

ඉන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කළ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත සංශෝධනය තුළින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බව සඳහන් කළේ ය.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණය කින් තොරව සම්මත කළ නොහැකි බවත් ඔහු සඳහන් කර සිටියේ ය.

තවත් පෙත්සමකාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.

"මෙම කෙටුම්පත තුළින් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීමට යෝජනා කර තිබෙනවා. කෙටුම්පත සම්මත කිරීමේ බලය පාර්ලිමේන්තුවට පමණක් ලබාදීම අතිශය භයානක යි. ඒ තුළින් අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වෙනවා. එම නිසා මෙය ජනතා අනුමැතිය සඳහා යොමු විය යුතු යි. ජනමත විචාරණයකින් තොරව එය පාර්ලිමේන්තුව තුළින් පමණක් අනුමත වුවහොත් ඒ තුළින් කෙලින්ම අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වෙනවා." යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, "යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් සෘජුව හෝ වක්‍රව මෙම අධිකරණයේ විනිසුරුවරුන්ට බලපෑමක් සිදුවෙනවා. නීතියේ ඉතා වැදගත් මූලධර්මයක් තිබෙනවා. විනිසුරුවරයෙකු තමන්ට බලපාන කරුණක් පිළිබඳව තමන් විසින්ම විනිශ්චයක් ලබාදීම නුසුදුසු බවට. මෙම පනත් කෙටුම්පත තුළින් මෙම අධිකරණ විනිසුරු වරුන්ට බලපෑමක් සිදු වන නිසා මෙම පෙත්සම් ඔබතුමන්ලා විසින් විමසීම සුදුසු නෑ. එසේ නම් ඊළගට තිබෙන විකල්පය කුමක් ද? ඒ තමයි ජනමත විචාරනය. මෙම පනත් කෙටුම්පත පිළිබඳ තීරණයක් ගැනීම ජනතාව හමුවේ තැබිය යුතු යි," යනුවෙනි.